දානයෙන් ලබාගත හැකි පින කුණු කූඩයට දමන්න එපා

මැයි 23, 2022

 

මලින් ඵලින් පිරි වෙසක් මාසය වසරේ අනෙක් මාසවලට වඩා සුවිශේෂීය. දුකට පත් ලෝක සත්ත්වයන් දුකින් මුදා ගත් බුදුවරයකුගේ තෙමඟුල සිදු වූයේ මේ මාසයේ දී වීම එයට හේතුවයි. කුසල් සිතුවිලිවලින් පිරි ක්‍රියාවන් සිදු කිරීමට බෞද්ධයන් වැඩි වශයෙන් පෙලඹෙන්නේ ද මේ මාසයේ දී ය.

 

දන්සැල්, තොරණ්, වෙසක් සැරසිලි, ගිලානෝපස්ථාන ආදී නොයෙක් පුණ්‍ය ක්‍රියා සිදු කරන මේ වෙසක් සමය මෙවර තරමක වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. විවිධ වූ දුෂ්කරතාවලට මුහුණ දීමට ජනතාවට සිදු විය. වසංගත රෝග, ආර්ථික අපහසුතා, භාණ්ඩ හිඟකම, රටේ පවතින කලබල තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ඉතා අපහසුවෙනි.

එම නිසා දන්සැල් දීම ආදිය සිදු කිරීමට අපහසු ය. එහෙත් කුසලයට කැමැති අපට හැකි පමණින් කුසල් සිදුකර ගැනීමට මේ කිසිදු උපද්‍රවයක් හෝ අපහසුතාවක් බාධාවක් කරගත යුතු නැත.

දානය යනු දීමයි. නැතිනම් අතහැරීමයි. අප යමෙකුට යම් කිසිවක් දානය කරන්නේ ඒ පිළිබඳ ඇති ආසාව, තෘෂ්ණා සිත නැතිකර ගනිමිනි. එමනිසා එම දීමෙන්, දානයෙන් අපේ සිතට සතුටක් ඇති වේ. ඒ සතුටු සිතම අප කුසලය කරා රැගෙන යයි.

බුදුන්වහන්සේ දේශනා කළ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයේ දාන දාහතරක් පිළිබඳ සඳහන් වේ.

'චුද්දස ඛො පනිමානන්ද පාටිපුග්ගලිකා දක්ඛිණා. කතමා චුද්දස තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධේ දානං දේති අයං පඨමා පාටිපුග්ගලිකා දක්ඛිණා පච්චේක බුද්ධේ, තථාගත සාවකේ අරහන්තෙ අරහත්ථ ඵල සච්ඡිකිරියාය පටිපන්නේ, අනාගාමිස්ස, අනාගාමි ඵල සච්ඡිකිරියාය, සකදාගාමිස්ස, සකදාගාමි ඵල සච්ඡිකිරියාය, සෝතාපන්නෙ සෝතාපත්ථිඵල සච්ඡිකිරියාය, බාහිරකේ කාමේසු වීතරාගේ පුථුජ්ජනසීලවන්තෙ පුථුජ්ජන දුස්සීලො තිරච්ඡානගතෙ'

ආනන්දය, පෞද්ගලිකව පිරිනමන දාන පිළිගන්නා පුද්ගලයෝ 14කි.

1. තථාගත බුදුරදුන් විෂයෙහි දන්දෙයි.

එය පළමු පෞද්ගලික දක්ෂිණාවයි.

2. පසේ බුදු

3. මහ රහත්

4. රහත් ඵලය ශාක්ෂාත් කිරීමට පිළිපන්නා

5. අනාගාමී ඵල ලාභියා

6. අනාගාමි මාර්ගිකයා

7. සකෘදාගාමි ඵල ලාභියා

8. සකෘදාගාමී මාර්ගිකයා

9. සෝවාන් ඵල ලාභියා

10. සෝවාන් මාර්ග ලාභියා

11. වීතරාගී තාපසයා

12. පෘථග්ජන සිල්වතා

13. පෘථග්ජන දුෂ්ශීලයා

14. තිරිසන්ගත සත්ත්වයා

 

මේ දාන දීමේ දී කුසල් අත්වීම ද මෙහි ඇති පිළිවෙළටම සිදුවේ. නමුත් අද බොහෝ දෙනකු සිතා සිටින්නේ කුසල් අත්වන්නේ බුදුන් වහන්සේට, රහතන් වහන්සේලාට, මාර්ගඵල ලාභියකුට හෝ සංඝයා වහන්සේලාට පමණක් ලබා දෙන දානයන්ට කුසල් අත්වන බවයි.

නමුත් සිල්වත් පෘථග්ජනයන්ට මෙන්ම දුශ්ශීල පෘථග්ජන පුද්ගලයන්ට දන්දීමෙන් ද කුසල් වැඩේ. තිරිසන් සත්ත්වයන්ට ආහාර පාන, ඉඳුම් හිටුම්, බේත් හේත් ලබාදීමෙන් ද කුසල් අත්වේ. මේ නිසා තමාට යමක් තවත් අයෙකු වෙනුවෙන් දීමට හැකි කුමන අවස්ථාවක්වත් පැහැර නොහැර කුඩා දෙයක් හෝ දීමෙන් කුසල් අත්කර ගත හැකිය.

පවතින කාලය දන්දීමෙන් කුසල් රැස්කර ගැනීමට සුදුසු ම කාලයකි. ඉතාමත් අසීරුවෙන් දිවි ගෙවන ඔබේ අසල්වැසියන්, ඥාතීන්, හිතමිතුරන් වෙයි නම් හැකි පමණින් ඔවුනට උදවු උපකාර කරන්න. ඔබේ වත්තේ ඇති යම් ඵලදාවකින් කොටසක්, හාල් ටිකක්,පොල් ගෙඩියක්, මිරිස් තුනපහේ ටිකක් වුවද ඔවුනට ඉතා වටිනා දේ විය හැකියි.

පාසල් යන දරුවන් සිටිනවා නම් ඔවුනට පොතක් පතක්, පෑනක් පැන්සලක් වුවද ලබාදීමට හැකිනම් එය කුසලයක් පමණක් ම නොවේ රට වෙනුවෙන් ද ඔබ කරනා අගනා මෙහෙවරක්, අනාගත ආයෝජනයක් විය හැකියි.

ඔබේ නි‍ෙවසේ වැඩි පාවිච්චියකින් තොරව ඉවත් කරන අැඳුම් පැලඳුම්, සපත්තු සෙරෙප්පු, මේස පුටු, වෙනත් ගෘහ භාණ්ඩ ආදිය වුවද පුළුස්සා දැමීමට, විසි කිරීමට ප්‍රථම එවැනි දෑ දීමට අවැසි අයෙක් වේදැයි සොයා බලන්න. තවදුරටත් භාවිතයට ගතහැකි එවැනි දේ ඔබට අවශ්‍ය නැති ලැයිස්තුවේ තිබුණ ද අනෙක් පුද්ගලයාට අවශ්‍ය බඩු විය හැකියි.

එමෙන්ම නිවාසවල ආහාර දැන් දැන් අපතේ නොයවයි. එසේ වුවත් යම් ආහාරයක් ඉතුරු වුවද ඒවා කුණු කූඩයට දමන පිරිස් කොතෙකුත් ඇත. එසේ කුණු කූඩයට දමන්නේ ඔබට සංසාරය පුරා ආනිසංස ලබාගත හැකි කුසලයකි. කුණු කූඩයට දමන ආහාරක් වුවද තිරිසන් සත්ත්වයකුගේ කුසට දින කිහිපයකින් වැටෙන ආහාරය විය හැකියි.

එම නිසා පාරේ සිටින සුනඛයකුට වුවද ආහාර කටක් ලබාදීම ඔබ ඔබටම කරගන්නා යහපතකි. එසේ ආහාර ඉතිරි නොවුණත් ඔබ වළං පිඟන් පිරිසුදු කරන විට එකතුවන කුඩා බත් ඇට ටික වුවද ලේනකුට, කුරුල්ලකුට, කූඹින්ට වුවද දිව බොජුනක් විය හැකියි.

කුසල් කිරීමට මිල මුදල් අත්‍යවශ්‍ය නැත. ඔබ සතුව කුසලයට බර සිතක් තිබේ නම් ඔබට දානයෙන් සිත සතුටුකර ගැනීමටත් සංසාර දුකෙන් මිදීමට එක් පියවරක් හෝ ඉදිරියට තැබිය හැකිය. මේ වෙසක් මාසය එය ඇරැඹීමට හොඳම කාලයයි.

 

ස්තුතිය -

ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ ආචාර්ය

ශාස්ත්‍රපති පූජ්‍ය මාපලගම

නන්දසිරි හිමි