පැවිදි උතුමන්ගේ පාද ස්පර්ශ කොට වන්දනා මාන කිරීම කැප අකැප ද ?

ජුනි 13, 2022

 

දහම යනු අප ජීවත්වන විශ්වයේ ධර්මතාව අවබෝධ කිරීම මෙන්ම, දුක - ප්‍රීතිය බවට පරිවර්තනය කරන ක්‍රමය අවබෝධ කිරීමයි. ගසකට පොහොර එක්කළ විට එය අතුරිකිලි ලියලා මල් ඵල හට ගත යුතුය. එසේ නොවුණහොත් එහි ඇත්තේ පොහොර ලෙසට නම් කළ ව්‍යාජ ද්‍රව්‍යයකි. එලෙසම දහම ද ජීවිතයට එකතුවන විට ආශ්චර්යවත් පරිවර්තනයක් අත්විඳීමට හැකියි. දහම තමා තුළින් අත්විඳිය හැකි මුල මැද අග හේතුඵල සම්බන්ධය දැකිය හැකි දෙයකි.

 

හුදෙක් තරුණී පාඨක ඔබේ ජීවිතාවබෝධය පිණිස මනෝ උපදේශිකා, ආචාර්ය පඬුවස්නුවර ධම්මාසංඝමිත්තා මෙහෙණින් වහන්සේ සදහම් සෙවණ ඔස්සේ අද පටන් මෙලෙසින් කරුණු ගෙනහැර දක්වනු ඇත.

මෙහෙණින් වහන්ස, කාන්තාවක් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කිරීමේදී උන්වහන්සේගේ පාද ස්පර්ශ කරන අවස්ථා තිබේ. මෙය කෙතරම් දුරට සුදුසුවේද?

මගෙ රත්තරන් දුවේ, පුතේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි අප හිත් තුළ ඇති ගෞරවය අසීමාන්තිකයි. ඒ ගෞරවය, භක්තිය නිසාවෙන්ම අප බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ධර්ම ග්‍රන්ථ ස්පර්ශ කර වන්දනාමාන කරනු ලබනවා. එතැනින් නොනැවතී විහාරස්ථානයට ගිය අවස්ථාවලදී බුද්ධ පුත්‍රයන් වහන්සේලා එනම් පැවිදි උතුමන්ගේ පාද ස්පර්ශ කොට වන්දනාමාන කරනු ලබනවා. මෙවැන්නක් සිදු කිරීම කෙතරම් දුරට කැපද? අකැපද? යන්න දැන් පැන නැඟී ඇති ගැටලුවකි.

ඔව්, දුවේ පුතේ විහාරස්ථානයක හෝ ආරණ්‍ය සේනාසනයක වැඩ වසන ස්වාමීන් වහන්සේ නමක් දිවි ගෙවන්නේ සියලු සැප සම්පත් අතහැරමිනුයි. උන්වහන්සේලා සොයා යන පරම නිවන් මගේ දී සැපවත් කාමභෝගී ජීවිතයක් අකැපයි. අතීතයේ දී ගස් බෙනවල, ගල් ගුහාවල වැඩවාසය කරමින් ධර්ම කරුණු කාරණා කෙරෙහි පමණක් ම හිත් යොමු කළ උන්වහන්සේලා මේ වන විට ගිහියාගේ හිතසුව පිණිස ගම් නියම්ගම්වල විහාරස්ථානයන්හි වැඩ වසයි. තමන් වහන්සේලා නිවන් මඟ සොයා යන මේ චාරිකාවේදී විවිධ පුද සත්කාරයන් කරන්නේ ගිහියන් විසින්. ඒ අතර දානමාන පිංකම් නම් අති මහත්ය. ස්වාමීන්වහන්සේලාට ධර්ම කරුණු අවබෝධවීම පිණිස සහ පැවැත්මට ආහාර පූජාව, නිරෝගී සුවය පිණිස ඖෂධ පූජාව යහපත් සුව පහසු පැවැත්මට ආරණ්‍ය ඇතුළු සෙසු පුජාවන් සිදු කරනු ලබනවා.

ගිහියා විසින් පැවිදි උතුමන්වහන්සේලාට කරනු ලබන මේ සත්කාර පුජාවන්හීදී වඩාත් ප්‍රමුඛස්ථානය ගන්නේ උපාසිකාවන් ය. උදෑසනින්ම හීල් දානය රැගෙන යන්නටත් දහවල් දානය පූජා කරන්නටත් වගේම සවස ගිලන්පස පූජාවටත් උපාසිකාවන් තුළ ඇත්තේ මහත් උද්යෝගයකි. මේ අයුරින් පැවිදි ස්වාමීන් වහන්සේ නමක් තනිව හෝ කණ්ඩායම් වශයෙන් වැඩවාසය කරන ආරණ්‍යයකට, විහාරස්ථානයකට යන කාන්තාවක උන්වහන්සේ වෙත ඇති අසීමාන්තික භක්තිය හේතුවෙන් පසඟ පිහිටුවා වන්දනා කරන්නට පෙලඹෙයි. එසේම තවත් කාන්තාවන් පැවිදි උතුමන් වහන්සේගේ පාද ස්පර්ශය කොට වන්දනා කරයි. ඇතැම්විට මෙය ගණන් නොගන්නා කරුණක් වුවද තවත් අයකු මෙය වරදක් සේ දකී. නිවන කරා යන පැවිදි උතුමන්ට තමන්ගේ පැවැත්මට, නිවනට මෙය බාධාවක් වන අවස්ථා ද නැතුවා නොවේ.

කාන්තා පාර්ශ්වයෙන් මිදී, කම්සැප අත්හැර තම කාලය ධර්මය අවබෝධ පිණිසම යොදවන උන්වහන්සේලාගේ සිත් වෙනත් මඟකට යොමුවන්නට ඉඩකඩ විවර වනවා යැයි ඇතැමුන් පවසන්නට වේ.

මේ අයුරින් කරුණු ගෙනහැර දැක්වීමේදී තවත් අයට මෙවැනි ප්‍රශ්නයක් පැන නඟී. එනම් යශෝදරාව බුදු සිරිපතුල ස්පර්ශ කරමින් හඬා වැටුණු පුවත. දුවේ, පුතේ එදත් සුද්ධෝදන මහ රජු යශෝදරාව බුදු සිරිපතුල ස්පර්ශ කරන එක වළකාලීමට උත්සාහ දැරුවා.

“යශෝදරාවනි, මේ මගේ පුතාවත් ඔබේ ස්වාමිපුරුෂයාවත් නොව, මේ වැඩ සිටින්නේ ලොව්තුරා බුදුන්.“

එහෙත් එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා සිටියේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන මේ භවයේ ද තමන් වහන්සේගේ බිරිය වී ඇය කටයුතු කළ අන්දමත් උන්වහන්සේට ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට හේතුවක් වූ බවයි. යශෝදරාව මේ මොහොතේ දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයෙන්, සෝ සුසුම් පිරුණු හදවතින් හඬා වැටෙන බවත් එයට ඉඩ නොදුනහොත් ළය පැළී මියැදෙන බවත් ය. එහෙයින් ඇගේ දුක තුනීවනතුරු බුදු පාමුල ස්පර්ශ කරමින් හඬා වැටෙන්නට ඉඩ දුනි.

ඒ වගේම මහා ප්‍රජාපතියට තම බුදු පුතාගේ පපු පෙදෙස බැලීමට මහත් ආශාවක් උතුරා ගිය දරු සෙනෙහසත් ඇති වෙනවා. එහිදී ද උන්වහන්සේ තමන් වහන්සේ හැදූ වැඩූ මවගේ ආදරණීය සිතුවිල්ලට ඉඩ ලබා දෙනවා.

පැවිදි ස්වාමීන් වහන්සේ නමකගේ පාද ස්පර්ශ කරමින් කාන්තාවක වන්දනා කිරීමේදී උපසම්පදා භික්ෂු නමකගේ උපසම්පදාවට හානියක් සිදුවන්නේ නැත. එහෙත් ද්වේශ සහගතව බලා සිටිමින් අවට සමාජයෙන් දෝෂාරෝපණයක් ගෙන දීමේ පරමාර්ථයෙන් යුතුව කාන්තාවක පැවිදි උතුමන් වහන්සේ නමකගේ පාද ස්පර්ශ කරන්නේ නම් එය බරපතළ පාප කර්මයක්. ඒ මොහොතේ පටන් ම අකුසල් රැස්වෙනු ඇත.

එසේම තරුණ කාන්තාවක් තමන්ගේ ස්වාමියා තමාවත් දරුවාවත් අතහැර වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බව ආරංචි වී ඒ දුක කීමට ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ පාද මූලයේ හඬා දොඬා වැටෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි අසරණ වූ කාන්තාවකට දුක තුනී වී යන තුරා හඬා වැළපීමට සානුකම්පිතව අවසර ලැබෙනු ඇත.

මෙවැන්නක් දකින පිටස්තරයකු වැරැදි නිගමනයට එළැඹේවි. විහාරස්ථානයට පිරිනමන දන් වේල අතහැර දමාවි. පිරිස් සංවිධානය කරමින් ස්වාමින් වහන්සේ නමව විහාරස්ථානයෙන් නෙරපා හරීවි. එහෙත් සිදුවිය යුත්තේ එය නොව,

“කෙනකුගේ අතේ තුවාලයක් තිබියදී එම අතින් විස ගත් විට තුවාලය හරහා ශරීරයට විස ඇතුළු වේ. තව අයකුට එවැනි තුවාලයක් නොමැති නම් පිරිසුදු අතකින් කොපමණ විස අතේ දරා සිටියත් ශරීරගත වන්නේ නැත.”

එම බුද්ධ කරුණ අපේ හිත් තුළට දැඩිව අවධාරණය කර ගනිමු. තමාගේ යහපත් කල්ක්‍රියාව යහපත් පැවැත්මට හේතුවේ.

අද වන විට ස්වභාව ධර්මයෙන්ම අපි අපිව ඈත්කර තිබේ. දයාව, කරුණාව, භක්තිය සිත් තුළ පහදාගෙන තම තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලන්නේ නම් සියල්ල යහපතටම හේතු වනු ඇත.

 

 

 

අනුශාසනාව

මනෝ විද්‍යා උපදේශිකා,

ආචාර්ය පඬුවස්නුවර ධම්මාසංඝමිත්තා මෙහෙණින් වහන්සේ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.