දියණියන් ලැබෙන්නේ බොරු කියන මවුපියන්ට ද?

ජුනි 20, 2022

 

මේ දිනවල ප්‍රසිද්ධ එක් ස්වාමින් වහන්සේ නමක් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබේ. එම ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයේ සාරාංශය වන්නේ “බොරු කියන මව්පියන්ට දූවරු ලැබෙනවා.” යන්නයි.

 

එවැනි කරුණක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ද? කියා කෙනෙක් ඇසුවොත් පිළිතුර වන්නේ, “ඔව් එවැනි කරුණක් චේතිය ජාතකයේ සඳහන් වෙනවා.” ඒ සඳහන් වන තැනටම යටින් “එවැනි මව්පියන්ට පුතුන් ලැබුණත්, ඔවුන් තැන තැන යති.” ලෙස සඳහන් වේ කියා පිළිතුරු දිය යුතු ය. එවිට පිළිතුර බොරු කියන මව්පියන්ට පිරිමි දරුවන් ද ලැබේ. යන්නයි.

 

කාන්තාවක්ව උපදින්නේ මව්පියෝ බොරු කිවුව නිසාමදැයි කෙනෙක් ඇසුවොත්, එය නිවැරැදි පිළිතුර නොවේ. එය දැනගන්න එම ජාතක කථාවේ සාරාංශයවත් දැන ගත යුතු ය.

අතීතයේ “උපචර” නම් රජ කෙනෙක් චේතිය රටේ “සොත්ථිවතී” නුවර රජකම් කළේ ය. එතුමාගේ පුරෝහිත වූයේ “කපිල” බමුණායි. කපිල බමුණා රජතුමාගෙන් අවසර ගෙන තමන්ගේ පුතාට තමන්ගේ පුරෝහිතකම භාර දී වනගතව තාපස කෙනෙක් විය. මේ “කපිල” තාපසතුමාගේ බාල සහෝදරයා වන “කෝරකලම්බට” පුරෝහිතකම දෙන්නට රජතුමා දැන දැනම බොරු කියන්නට විය. අතීතයේ මේ රජතුමා ලෙස උපත ලබා සිටියේ දේවදත්ත තෙරුන් වහන්සේ ය.

 

රජතුමා පළමු වරට බොරුව කියන වාරයක් වාරයක් පාසා, ඒ බොරු කීම වළක්වන්නට තාපසතුමා ගාථාවලින් උපදෙස් දුන්නේ ය. ඒ අතර පහත ගාථාව ද එයි.

 

“ථියොව තස‍්ස ජායන‍්ති

න පුමා ජායරෙ කුලෙ

යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං

අඤ‍්ඤථා නං වියාකරෙ.

 

මෙහි තේරුම :- “මහරජතුමනි, යමෙක් දැන දැන ම බොරු කියයි ද? ඔහුගේ පවුලෙහි ගැහැනුම උපදිති. පිරිමි නූපදිති.” යන්නයි. පින්වන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට බොහෝ දෙනා බැණ වදින්නේ මේ ප්‍රකාශය ඒ විදිහටම කී නිසයි.

 

මෙම ගාථාවටම යටින් එන ගාථාවේ මෙසේ සඳහන් වේ.

“පුත‍්තා තස‍්ස න භවන‍්ති

පක‍්කමන‍්ති දිසොදිසං;

යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං

අඤ‍්ඤථා නං වියාකරෙ.

 

තේරුම:- “යමෙක් දැන දැන ම වැරැදි දේ කියයි ද, ඔහුට පුත්තු නො ලැබෙත්. පුතුන් ලැබුණත්, ඔවුහු තැන තැන යති.” මෙහි “පුතුන් ලැබුණත්” ලෙස සඳහන් වීමෙන් එවැනි බොරු කියු මව්පියන්ට පුතුන් ද ලැබෙන බව එහිම සඳහන් වේ. රජවරුන් තමන්ගෙන් පසුව රජකම දෙන්නට පුතුන් ලැබීම ගැන වැඩිපුර හිතයි. රජුගේ බොරුකීම නවත්වන්නට රජු කැමැතිම දේවල් පෙන්වමින් තාපසතුමා තමන්ගේ දැනුමේ හැටියට උපදෙස් දෙයි.

මේ සාකච්ඡාව සිදු වෙන්නේ අතීතයේ චේතිය රජතුමාත් කපිල තාපසතුමාත් අතර ය. සෘර්ධිමත් කපිල තාපසතුමා බෝධිසත්ත්වයන් වහන්සේ වූවාට තවමත් බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කර ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී නැත. දේවදත්ත තෙරුන් වහන්සේ මහපොළොව පළාගෙන පණපිටින් අවීචියට ගිය සිදුවීමේදී කිවයුතු අතීත කථාව සිදු වූ ලෙසටම, ඒ දෙබස් සහිතව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබේ. මේ බුද්ධත්වයට පත් වන්නට පෙර සිදු වූ දෙබසකි. ජාතක කථාවල බුදුරජාණන් වහන්සේගේම දේශනාව ලෙස බොහෝ විට එන්නේ අවසන් ගාථාවන් ය. මෙය බුද්ධ දේශනාවක් නොවේ. බෝධිසත්වයන් වහන්සේගේ දේශනාවකි.

 

මේ ජාතකයේම මේ ප්‍රකාශයට කලින් එන තාපසතුමාගේ ප්‍රකාශ කිහිපයටත් අවධානය යොමු කරන්න. බොරු කිවුවොත් “රජතුමනි, ඔහුට මාළුවකුට මෙන්, දිවක් නැති වේ.” “රජතුමනි, ඔහුගේ දිව උරගයකුගේ මෙන්, දෙකක් බවට පත්වේ.” “ඔහුගේ රටට, නොකල් වැසි වසී. සුදුසු කල්හි වැසි නොවසී.” “බොරු කියන ඔහු වෙතින් දෙවියෝ ඉවත් වෙති. ඔහුගේ මුවින් ද කුණු ගඳ වහනය වෙයි. සිටි තැනින් ද ඔහු ගිලිහෙයි.” වැනි ප්‍රකාශ කිහිපයක්ම කරයි. මෙය මිනිසුන් අතර උපතට අදාළව කියූවක් පමණක් නොවේ. බොරුකීමේ ඉහළම විපාකය වන සතර අපාගත වීමට ද අදාළව තාපසතුමාගේ අවබෝධයේ හැටියට කළ දේශනාවකි.

 

පරමාර්ථ ධර්ම නොදන්නා කම නිසා, කරුණු තේරුම් ගත නොහැකි බැවින් සමහරුන්ට ජාතක පොත ගැන සැක සිතී මෙසේ සිතිය හැකි ය. “එදා එය නොඇසූ චේතිය රජු බොරු කියා අවීචියට ගොස් නැවත සංසාරයේ ගසාගෙනවිත් දේවදත්ත තෙරුන් ලෙස උපත ලබන විට ඒ අන්තිම භවයේ දිවක් නැති වුණේත් නැත. දිව දෙකක් වූයේත් නැත. කටින් කුණු ගඳ වහනය වූ බවක් සඳහන් වන්නේත් නැත. එසේනම් ජාතක පොතේ එන එකම ජාතකයක, එකම තැන ගාථා කිහිපයක සඳහන් වන මේ කරුණු එකිනෙකට පරස්පර ඒවාද? ජාතක පොත පසු කාලයේද ලියවී තිබෙන්නේ. ජාතක පොත වැරැදිද? කියාත් කෙනෙක් ඇසිය හැකි ය.

 

පිළිතුර වන්නේ ජාතක පාලිය හෝ ජාතක අටුවා පොත් වහන්සේලාගේ කිසිම වරදක් නැති බවයි. මෙය තේරුම් ගන්නට අතීත බෝධිසත්වයන් වහන්සේගේ අතීත චරිත කථා දෙබස්වල සඳහන් වන කාරණා ඇතුළත් ජාතක පොත් වහන්සේ පමණක් ඇසුරු කර බැරි ය. ඒ සඳහා සම්බුද්ධත්වයෙන් පසුව දේශනා කළ ත්‍රිපිටකයත්, එහි අටුවා ටීකාදියේමත් පිහිට ලබා ගත යුතු ය.

 

එවිට ලැබෙන පිළිතුර වන්නේ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා සතෙක් සිවුපාවෙක්, දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක් වේවා මේ සියල්ලෝම උපදින්නට කුමන හෝ හේතුවක් තිබිය යුතු බවයි. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියක් නොවන කිසිවක් අපට හමු වන්නේ නැත. තුන් ලෝකයේම ඇති සජීවී අජීවී සියලුම සංස්කාරයෝ හේතූන්ගෙන්ම හට ගනී. කිසිවක් ඉබේ හටගන්නේ නැත. මැවීමක් වෙන්නේ ද නැත. ඉබේ වෙන්නේ ද නැත. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියක් අනුවම සිදු වේ. ඒ විවිධාකාර හේතූන් අතර කර්මජ හේතුව ප්‍රබල හේතුවක් වේ.

 

ඉහත ජාතකය අනුව බොරු කීම සතර අපා ගත වීම් සහ දිවක් නැති තැන්වල ඉපදීම, දිව දෙකක් ඇති තැන්වල ඉපදීම වැනි විවිධාකාර අකුසල කර්ම විපාක ලබන්නට හේතුවකි.

 

භූමි 31 න් යම් තැනක කෙනෙක් උප්පත්තිය ලබනවා නම් ඒ ප්‍රතිසන්ධිය ලබා දෙන විඤ්ඤාණයන් 19 ක් තිබේ. අහේතුක “උපෙක්ඛා සහගත අකුසල විපාක විඤ්ඤාණයෙන්” සතර අපායෙහි උපතත්, “අහේතුක උපෙක්ඛා සහගත කුසල විපාක විඤ්ඤාණයෙන්” මිනිසුන් සහ විනිපාතිකයන් අතර අහේතුක සුගති උප්පත්තියත්, කාමාවචර මහා විපාක විඤ්ඤාණ අටෙන් මිනිස් ලොව හෝ දෙව් ලොව ද්විහේතුකව හෝ ත්‍රිහේතුකවත්, රූපාවචර විපාක විඤ්ඤාණ පසෙන් රූපාවචර බ්‍රහ්මලෝකවලත්, අරූපාවචර විපාක විඤ්ඤාණ සතරෙන් අරූපාවචර බ්‍රහ්මලෝකවලත් උපත සිදු වේ. මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණවල ස්ත්‍රී පුරුෂ ලිංග භේදයක් නැත. ලිංගභේදය ලැබෙන්නේ භාව රූපයෙනි. ඒ ස්ත්‍රී භාව පුරුෂභාව රූපයන් ලැබෙන්නේ කර්ම බලයෙනි.

 

සත්ත්ව ශරීර ස්ත්‍රී, පුරුෂ, නපුංසක ලෙස වෙන වෙනම දැකිය හැකි ය. ඒ සත්ත්ව ශරීර වල මෙන්ම තණ්හාවේ ද ස්ත්‍රී පුරුෂ භේදයක් තිබේ. සත්ත්වයින් භවයෙන් භවයට නැවත ඉපදීමට හේතු අතර තණ්හාවත් බලවත් හේතුවක් වේ.

 

 

 

 

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ පලවේ....

 

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.