මුල, මැද, අග දක්වා ම විවාහය රැකගත යුතුයි

සම සිතින් දෙදෙනාම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න
ජූලි 4, 2022

 

 

වර්තමානයේ ලංකාවේ පවුල් ආරවුල් වැඩි වී ඇත. අම්මා තාත්තා විරසක වූ විට ඉන් බැටකන්නේ අහිංසක දරුවන්ය. දික්කසාදය ගැන සරල විදියට හිතුවත් එය දරුවන් සිටින පවුලකට සංකීර්ණ ගැටලුවකි. ලොවේ එක සමාන අදහස්, ක්‍රියාකාරකම් ඇති කිසිවකු නැත. එබැවින් නො ගැළපීම් ගළපා ගනිමින් ඔබ ජීවත් විය යුතුයි. ප්‍රශ්න, කරදර හමුවේ ඒවාට විසඳුම් සොයමින් ආදරණීයව දෙන්නා දෙමහල්ලන් ජීවත් වෙනවා නම් අපූරු සුන්දරත්වයක් අත්විඳිය හැකියි.

 

මේ සඳහා මුල් විය යුත්තේ කාන්තා ඔබයි. ඔබ කුමන ආගමක වුව මේ උපදෙස් ඔබේ ජීවිතයට මහමෙරක් තරම් වටීවි. ඔබේ හෙට දවස යහපත් වීම, තරුණී අපේ පැතුමයි. සැමියා, බිරිය, දරුවන් පිරි සතුට සපිරි කැදැල්ලකට ආගමානුකූල උපදෙස් කිහිපයක් ලබා දෙන්නට සිතුවේ එබැවිනි. ගොතටුවේ උපපාරමී මෙහෙණින් වහන්සේත් වත්තල ශාන්ත ආනා බාලිකා මහ විද්‍යාලයේ, දොමිනුකාය නිකායේ් කාන්ති පෙරේරා පැවිදි සොයුරියත් මෙලෙසින් ධර්මානුකූල අවබෝධයක් ඔබ වෙනුවෙන්ම ගෙන හැර දක්වයි.

 

 

ඉපදීම දුකකි. මියයාම ද දුකකි. මේ දෙක අතර ජීවත් වීම ඊටත් වඩා දුකකි. ලාභ - අලාභ, දුක - සැප, නින්දා - ප්‍රසංශා, යස - අයස යන අට ලෝ දහම හමුවේ කම්පා වෙමින් යන මේ ගමනේ එක් කුටුම්භයකි විවාහය. තරුණයකුගේ තරුණියකගේ දිවිමඟේ දෙවැනි උපත යැයි සැලකෙන්නේ ද විවාහයයි.

 

වර්තමානයේ පවතින ආර්ථික අර්බුද හමුවේ පවුල් ආරවුල් පැන නැගී ඇත. පෙරදා නිවෙසේ අවශ්‍යතාවන් සියල්ල අකුරටම ඉටු කළත් අද දවසේ බොහොමයක් ස්වාමි පුරුෂයන්ට එය ඉටු කිරීමට නොහැකි වී ඇත. වැටුප වැඩි නොවන නමුත් නිවෙසට අවශ්‍ය කළමනාවල මිල දවසින් දවස වැඩි වේ. ඒ හා සමානවම සෙසු සියල්ලේම මිල වැඩියක් මිස අඩුවක් නොවෙයි. ඉහළ යන ජීවන වියදම ඔහුට දරා ගත නොහැක්කකි. මෙය බිරිය හොඳින් වටහා ගත යුතුම දෙයකි.

බිරියගේ කළමනාකාරීත්වය

පවුල නඩත්තු කිරීම ස්වාමිපුරුෂයාට වෙන්වී ඇති මුත් බිරිය තුළ මනා කළමනාකාරීත්වයක් තිබිය යුතුයි. ඇය ඔහු දුක් මහන්සියෙන් හරි හම්බ කර ගෙන දෙන දේ ඉතා අරපිරිමැස්මෙන් වියහියදම් කළ යුතුයි. අසල්වාසීන්, හිතවතුන්, නෑදෑයන් අනුකරණයට යාම නම් නුවණැති කරුණක් නොවෙයි. විශේෂයෙන් වර්තමානයේ එසේ නොකිරීමට වග බලා ගත යුතුයි.

සමාජයේ දී පීඩාවට පත්ව නිවෙසට ගොඩ වදින සැමියාගේ සිත නිවන බිරියක් විය යුතුයි. සෑමවිටම මිත්‍රලීලාවෙන් ඔහු හා ගනුදෙනු කරන්න. යහපත් බිරිය ඔහුට සෑමවිටම සහකාරියකි. “ විශ්වාසා පරමා ඥාතී” ඔහුට විශ්වාසනීයව සිටින හොඳම ඥාාතියා ඔබ වන්න. සැප වගේම දුක ඇති කාලවකවානුවක දී ද ඔහු හා සම සිතින් කටයුතු කළ යුතුයි.

ඔබ අද දවසේ නුවණ මතු කරගන්න. දරුවන් සමඟින් වෙනදාට වඩා සැමියාට ළෙන්ගතු වන්න. ඔහුගේ මනසට සහනයක් වන්න.

කර්මය අනුව සියල්ල

තම තමන් පෙර භවයේ රැස්කර ගත් පින හා පව මත මේ භවය තීරණය වී ඇත. මේ ඔබට ලැබී ඇත්තේ සසරේ ඔබ විසින්ම සිදු කරන ලද ක්‍රියාදාමයන්හි ප්‍රතිපලයි. එම කර්මයන් අනුව ජීවිතය ගත කරන්නට සිදුව තිබේ. විටෙක දුක, විටෙක සතුට පිරි මේ ලෝකය ඔබට රඟමඩලකි. ඔබේ භූමිකාව රඟ දක්වන විට තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන් මුණ ගැසේ. ඔවුන් ඔබේ මව - පියා, සැමියා - බිරිය, දුව - පුතා, සොහොයුරා- සොයුරිය, මිතුරා - මිතුරිය, අසල්වාසීන් විය හැකියි. මේ අයගෙන් වැඩිපුරම කාලය ගත කරනුයේ සැමියා හා බිරිය සමඟයි. ඉතිං ඔබ මේ නෑදෑකමට හොඳ අරුතක් දිය යුතුයි. නොබිඳෙන බැඳීමක් ඇති කරගත යුතුයි. ඉවසීම, අවබෝධය, අනෝන්‍ය විශ්වාසය යන ගුණාංගවල පිහිටා සිටිය යුතු වේ. තම අකුසලය දුරලාගෙන තවදුරටත් ලද දෙය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම කළ යුතුයි. සැමියාගේ වෙහෙසකාරි දවසේ ප්‍රබෝධය ඔබ විසින් ඇති කරලීමට උත්සුක වීමයි සිදුවිය යුත්තේ.

සැමියාගේ සිත නිවන්න

උතුම් මනු ලොව ඉපදුණ ඔබ මේ සසර ගනුදෙනුවට තෝරාගන්නා අනෙකා මෙලෙස බුදු දහමේ විස්තර කෙරේ.

*දෙවියකු දෙවියකු සමඟ වාසය කිරීම.

* මනුෂ්‍යයකු මනුෂ්‍යයකු හා වාසය කිරීම.

* දෙවියෙක් යක්ෂයකු හා වාසය කිරීම.

* මනුෂ්‍යයකු යක්ෂයකු හා වාසය කිරීම.

මේ අතරතුර ගෙවන ජීවිතය වෙහෙසකාරීයි. එහෙත් නුවණැති භාර්යාව සැමියාගේ සරතැස නිවාලාගන්නට සමත් විය යුතුයි. සැමියා කලහකාරි අයෙක් නම් ඔහුගේ වෛරය සංසිඳුවාලමින් මෛත්‍රිය කරන්නට පෙළඹිය යුතුයි.

එසේ නොමැතිව ඔහුගේ පීඩිත මනසට ඔබත් කඩා පැන්නොත් දිගින් දිගටම අකුසල් රැස් වේ. සසර ගමන් මඟ ද දිගු වේ.

“ මා කැමැති දේම මට ලැබෙන්නේ නැත” යන සිතිවිල්ල සිහි තබා ගන්න. උපේක්ෂාවෙන් සියල්ල දකින්න. තථාගත දහම එයයි. නොහික්මුණු හිත දමනය කර ගනිමින් ඔහුගේ සිතට සෙනෙහෙ පොදක් ඉසීම ඉතාම කාලෝචිතයි. කලහකාරී සැමියා ඔබට ආදරණීය වන්නේ ඔබේ සෙනෙහෙබර වදන් හමුවේයි. යුතුකම් ඉටු කරමින් සියල්ල සම සිතින් විඳ දරා ගනිමින් යන ගමනක් උරුම ගැහැනිය පවුලට සම්පතකි.

සැමියාට ආදරණීය බිරියකි.

 

 

අනුශාසනාව

ගොතටුවේ උපපාරමී මෙහෙණින් වහන්සේ