සමාධි සුවයෙන් සිටින භික්ෂුවක් නො පෙනෙන ලෝකය පිළිබඳ කරන හෙළිදරව්ව

අගෝස්තු 8, 2022

 

ඔබවහන්සේ ඇසූයේ මාගේ නාමය නම් ස්වාමීනී, මං ගුරුමා. නමුත් ඔබ වහන්සේ ඇසූයේ මාගේ නාමය නොවනා බැවින් මට කිව හැක්කේ මා මනුස්සයකු නම් නොවන බවයි."

 

කදුරුකොටේ රජමහ වෙහෙර හැරදා වැඩි වාචිස්චර තෙරණුවන්ට, කිවුල කොනේ නුග රුක සමීපයේ කුඩා මැටි කුටියක් තනා දී තිබුණේ ගම්වැසියන් විසිනි. හුදෙකලාව සහ භාවනාව ප්‍රියකළ උන්වහන්සේ ධූතාංග කිහිපයක්ම සමාදන්ව තිබිණි.

 

රජමහ වෙහෙරක සුවය උන්වහන්සේට අවැසි නොවුණි. මැදි විය ඉක්මවා සිටි ඒ හිමියන් ජීවිතයේ පරම සත්‍යය කුමක්දැයි ප්‍රත්‍යක්ෂයෙන් දකින්නට සිත නැඹුරු කොට තිබිණි.

දිනකට එක්වරක් ගමෙහි පිඬුසිඟා හැසිරෙන උන්වහන්සේ ,පිදුරු සෙවෙලි කළ කුඩා කුටියේ හෝ නුගරුක මුල දැහැන්ගත වන්නට පුරුදුව සිටි සේක.

එදා ඇසළ පාළොස්වක වූයෙන් නුගපත් අතර සඳ රැස් වැටී විසිතුරු රටා මැවී තිබිණි. දෙනෙත් වසා සිටි තෙරණුවන්ට එහි රටා නො පෙනුණි. සියුම් ලා වැසිකුඩු පොදක් සඳරැසින් දිළිහි දිළිහී වැටෙයි. හිමියන්ගේ සිත නම් පුන්සඳ මඬලෙන් උකහාගත් ආලෝක නිමිත්තෙහි වඩාත් සන්සුන්ව රැඳී තිබුණේය. ලෝකය යනු අප දකිනා දේ හා අසනා, විඳිනා දේ පමණද? බණ පොතෙහි තිබෙනා දෙවියන්, යකුන්, භූතයන් මිත්‍යා පමණද ? එය විමසා දැනගන්නට බාහිරින් නොහැකිය. සත්‍යය ඇත්තේ බඹයක් පමණ වූ මේ සිරුර තුළමය. ලෝකය සමඟ වෙඳී බැඳී හෝ ගැටී වාදකරමින් කුමන ප්‍රත්‍යක්ෂයක් ලබන්නද? සෙවිය යුතුනම් සත්‍යය සෙවිය යුත්තේ ඒකාග්‍ර නිශ්චල සමාධි සයුර තුළ කිමිඳය.

එදින නම් තෙරණුවන්ගේ සිත වඩාත් ගැඹුරට සමාධිගත වෙමින් තිබුණි. හදිසියේම විහිදුණු සමාධි ආලෝකයත් සමඟ සිරුරෙහි සෑම අංශුමාත්‍රයක්ම සමාධි සුවයෙන් ආරෝපිතව ගියේය. සමාධි නිමිත්ත අවාච්‍ය වූ ඕභාෂයෙන් වඩාත් පැතිර තිබුණි. සැණෙන් ඒ මැද සියුම් චංචල බවක් පෙනිණි. තෙරණුවන් පහන් මනසින් එදෙස බලා සිටින්නට විය.

භාවනාවේ දී මායා රූප පහළ වීම පුදුමයක් නොවේ. ඒවා යෝගාවචරයන්ට හොඳටම පුරුදුය. නමුත් මේ මායා රූපයක්මදැයි නිශ්චය කරන්නට තෙරණුවන්ට නොහැකි වුණි.

චංචලය අතරේ අපැහැදිලි රුව ක්‍රමයෙන් සුපැහැදිලි රුවකට පරිණාමය වෙමින් තිබුණි. මිටි සිරුරකි. අත් පා කොටය. හැඩිය. දැඩිය. කෙස් බොහෝ දිගය. අපිළිවෙළය. නෙත් තියුණුය. දැඩිය. මොර සේය. මෙතරම් සුපැහැදිලි රුවක් මායාවක් වන්නේ කෙසේද ? ඝන කෙසින් හා රෝමයෙන් සියල් සිරුර වැසී තිබුණි. පෙනුනේ අමුත්තා නිරුවත් බවකි.

දෙයත පපු මට්ටමට ගෙන එක්කොට ,හිස පහත් කොට, දණ නැමූ හෙතෙම 'නමස්කාර වේවා" යි කීය.

මනසට ඇසුණු ඒ හඬට, 'සුඛී සුවපත් වේවා'යි සිතින්ම ආසිරි පැතූ තෙරණුවන් ,

' නුඹ කවුදැයි' ඇසුයේ කුහුලිනි.

"ඔබ වහන්සේ ඇසුයේ මාගේ නාමය නම් ස්වාමීනී, මං ගුරුමා. නමුත් ඔබ වහන්සේ ඇසුයේ මාගේ නාමය නොවනා බැවින් මට කිව හැක්කේ මා මනුස්සයකු නම් නොවන බවයි."

මේ අමනුස්සයා මා හමුවට ආවේ මන්ද? මොහු මා මුලා කරන්නට ආ මාර පාක්ෂිකයෙක් ද? තෙරණුවන් වඩාත් විමසිලිමත් විය.

" නැත ස්වාමීනී, මා පැමිණියේ ඔබ වහන්සේම එන්ට යැයි කී හෙයින්."

ඒ කවර වෙලාවක කොයි විදියකට දැයි අසන්නට සිතද්දීම හිමියන්ගේ සිත කියවූ අමුත්තා මෙසේ කීය.

"පසුගිය කීප දොහකම පාහේ පින්ගත් අයෙක් පැමිණ උපකාර කරන්න යැයි ඔබ වහන්සේ සිදුකළ පැතුම අප දෙවි රජුන්ට සැලව, දෙව්රජුන් එය මා ස්වාමියාට පවරා තිබුණෙන්, එතුමාණන්ගේ අණින් මා ඔබ වහන්සේ හමුවට පැමිණියෙමි"

සැබෑය. තෙරණුවන්ට මිනිසුන් නො දකින ලෝකය ගැන තොරතුරු දැනගන්නට උවමනා වී තිබුණි. සීල, සමාධි ගුණ පුරා ඒ පින් නො පෙනෙන සැමට අනුමෝදන් කොට එසේ පැතුයේ ඒ නිසාය.

" නුඹගේ දෙව් රජුන් ය කීවේ කාටද ? ස්වාමියාය කීවේ කාටද ?

" ස්වාමීනී , මාගේ දෙව් රජුන් ය කීවේ වෙසමුණි යක් රජුන්ටය. මාගේ ස්වාමියාය කීවේ ආර්ය නායක උතුමන්ටය"

ආර්ය නායක යනු කවරෙක්ද? තෙරණුවන් එවන් නාමයක් මින් පෙර අසා නො තිබුණි.

"ස්වාමීනී, මිනිසුන් අයියා නායක දෙවියැයි පුදපෙත් දෙන්නේ මාගේ ස්වාමියාටයි" අමුත්තා කීය.

නායක්කර් වංශික රජවරු, බිසෝවරු බමුණු දේව ඇදහිලි , හෙළ උපාසකයන්ට බලෙන් පටවන්නට බොහෝ උත්සාහ කළත්, එය එතරම් සාර්ථක නොවිණි. එවිට ඔවුහූ හෙළ දෙවිවරු සමඟ ඔවුන්ගේ මිත්‍යා දෘශ්ඨික දෙවිවරු ගළපා අවුල්කොට පටලවා දැමීය. ඉන් මුලා වූ නූගත් අනුවණ බොහෝමයක් මිනිසුන් ලොව්තුරා බුදු මඟට ගරහන මිසදිටු ඇදහිලි තමන්ගේ කරගති.

"අබෞද්ධ ගණදෙවියන්ට ද අයියානායකය නමක් තිබේ. නුඹ පවසන්නේ එතුමන් ගැන ද?" යනුවෙන් තෙරණුවන් ඇසුයේ සැකහැර දැනගන්නටය.

අමුත්තා නැගුයේ මඳ සිනාවෙකි. මුහුණෙහි රුදුරු බව මැකීමට නම් ඒ මදහස කිසිසේත් පමණ නොවිණි.

"නැත ස්වාමීනී, මාගේ ස්වාමි දෙවියන් වන්නියේ වේලාසියේ ඉපිද සිටි සිල්වත් උතුමෙකි. බෝසත් පැරකුම් රජ දවස සිට බුවනෙකබා රජ දවස දක්වා එතුමන්ගෙ ජීවන පුවත දිවෙයි. මාගේ දෙවියන් තථාගත සරණ සීලයෙහි පිහිටි උතුෙකු මිස මිසදිටු මිත්‍යාව බමුණකු නොවේ"

මිනිසුන් මැරී අන්‍ය සත්ත්වයන් සේම කර්මානුරූපීව සසර සැරි සරති. කුසලයෙන් සුගතියත්, අකුසලයෙන් දුගතියත් ඔවුනට හිමිවේ.

තෙරණුවන්ගේ සිත කුහුළින් පිරී ගියේ අයියනායක දෙවි වේලාසියේ උපන් අයකු බවට අමුත්තා කළ ප්‍රකාශයෙනි. හිමියන් සිතා සිටියේ වන්නියේ අදහන අයියනායක දෙවියන් දඹදිවින් මෙරට ගොඩබට ආර්යයකු බවයි.

"නුඹ කියන්නෙ අයියනායක දෙවි හෙළයෙක්ව ඉපිද සිටි බවද?"

" වේලාසි පරුමුකයන්ගේ දූ වූ උතුම් හෙළ උපාසිකාව , එතුමන්ගේ මව්තුමිය වූ බවයි. නමුත් පියතුමන් නම් ආර්ය ඨකුරක නම් දඹදිවින් මෙහි පැමිණ හෙළ සසුන නගාසිටවන්නට මහත් මෙහෙයක් කළ උතුම් සෙන්පතියකුයි.

ස්වාමීනි මා ද එකල ආර්ය ඨකුරක සෙන්පතියන් හා ඒ සසුන් මෙහෙවරට එක්ව සිටි කෙනෙක්මි."

අසන්නට බොහෝ දෑ තිබේ. දැනගන්නට ද දෑ අපමණය. කොතැනින් පටන් ගෙන කොතනකින් නිමා කරන්නද?

"පින්වත ,මේ දෑ කියා දීමෙන් නුඹ කරන්නේ මා හට උතුම් උපකරයක්.. එයට බොහෝ පින්..

මා හට සියලු තොරතුරු දැනගන්නට අවශ්‍යයි.

නුඹට හැකි ද එකින් එක මට සියලු දෑ පවසන්න." හිමියන් කීයේ කුළුණු බරවය.

ලෝකයේ කෝටියකින් එක් අයකුට හෝ නොලැබෙන ශ්‍රේෂ්ඨ ලැබීමක් වාචිස්චර තෙරණුවන්ට ලැබී තිබිණි. මිනිසුන් නොදකින, මිනිසුනට නොපෙනෙන මානයකට දැනුම සොයා යන්නට මං පෙත් විවර වී තිබේ.

"එසේය ස්වාමීනී.. මා මෙහි පැමිණ සිටින්නේ ඔබවහන්සේගේ සේවය සඳහාමයි".....

 

(මතු සම්බන්ධයි )

 

සම්බන්ධීකරණය

මධුර ප්‍රභාත් ගමගේ

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.