ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නට ඔබත් උත්සාහ ගන්න

මැයි 8, 2023

ලෝක බෞද්ධයින් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ උතුම් මාසයේ දී මා දේශනා කරන්නට සූදානම් වන්නේ ශ්‍රද්ධාව නමැති වටිනා ධර්ම කාරණය පිළිබඳවයි.

 

මුතු මැණික් වැනි වටිනා වස්තුව පිරුණු මාර්ගයක මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. එක් අයෙකුට අත් දෙකම නෑ. අනෙකාට අත් දෙකම තියෙනවා.

 

කොයිතරම් වස්තුව මග දෙපස තිබුණත් දෑත් අහිමි කෙනාට ඒවා අරගන්න බෑ. ඒ ධනයෙන් සැපතක් ලබාගන්න බෑ. ඒත් දෑත තියෙන කෙනා දෝතටම ඒ වස්තුව පුරෝ ගන්නවා. අවශ්‍ය නම් ගෝනියකට හරි පුරවගෙන අරන් ගිහින් අඹු දරුවන් සමඟ සැපයට පත් වෙන්න පුළුවන්.

 

ඒ වගේම සංසාර ගමනේ සම්මා සම්බුද්ධ ශාසනයක් හමුවීම හරියට මාර්ගය දෙපස ධන නිධානයක් හමුවීමක් වගේ. ශ්‍රද්ධාවන්තයා ඒ සම්බුද්ධ ශාසනය තුළින් මුතු මැණික් වැනි බොහෝ කුසල් උකහා ගන්නවා. ශ්‍රද්ධාව නැති කෙනාට කිසිඳු කුසලයක් රැස්කරගන්නට බැරිව දුකසේ සසර ගමන් කරන්නට සිද්ධ වෙනවා.

 

හරියට ශ්‍රද්ධාව කියන්නේ සම්බුද්ධ ශාසනයක් තුළ ධන නිධාන වැනි කුසල් දහම් රැස් කරගන්න තියෙන අත් දෙකක් වගේ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ,

"සද්ධා හත්ථං"

 

ශ්‍රද්ධාව අතක් වගේ කියලා දේශනා කළා. කුසල් වඩන්න නිවන් මග ප්‍රගුණ කරන්න ශ්‍රද්ධාව මහා උපකාරයක් බවයි එයින් අදහස් කරලා තියෙන්නෙ.

 

නිවන් මාර්ගය තුළ කෙලෙස් නැසීමට මහා බලයක් වන නිසා 'සද්ධා බලය' ලෙසත්, නිර්වාණය කරා යන ගමනේ නායකත්වය ,අධිපතීත්වය දරණ නිසා 'සද්ධා ඉන්ද්‍රිය' ලෙසත් ශ්‍රද්ධාව අර්ථ ගන්වල තිබෙනවා.

 

නිවන් මගට මෙවැනි මහා උපකාරයක් සිදුකරන ශ්‍රද්ධාව පිළිබඳව අපි මැනවින් දැනකියා ගතයුතුයි.

 

ශ්‍රද්ධාව පිළිබඳව විමසද්දි 'සද්ධා, සද්ධාපතිරූපක' යනුවෙන් පද දෙකක් අපට හමුවෙනවා.

 

මෙහි සද්ධා කියන්නෙ සැබෑ ශ්‍රද්ධාව. සද්ධාපතිරූපක කියලා කියන්නෙ සැබෑ ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව වගේ එකක්. අන්‍යාගමිකයන් අතර තියෙන අන්ධභක්තියට ඔවුන් ශ්‍රද්ධාව කියා කීවත් එය සැබෑ ශ්‍රද්ධාව නොවෙයි ශ්‍රද්ධාව වැනි ප්‍රතිරූපකයක් පමණයි. එය නිවන් මගට උපකාරී වන්නේ නෑ.

 

ඊළඟට අපිට 'පසාද සද්ධා' කියලා වචනයක් බුදුදහම තුළ දකින්න ලැබෙනවා. අවබෝධය ඇතිව හෝ නැතිව ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන ප්‍රසාදය , සතුට , පැහැදීම මෙහිදී අදහස් කෙරෙනවා.

 

මෙය තිරිසන් සතුන්ට පවා සුගති මාර්ගය පිණිස හේතු වෙනවා.

 

අතීතයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අපූරු සිදුවීමක් සිදුවුණා. ඒ කාලය අලුත් අවුරුද්ද වැනි නැකැත් උත්සව සමයක්. ඒකාලේ විවිධ මස් වර්ගවලට හොඳ ඉල්ලුමක් ඇති වුණා. ගවමස්වලටත් එහෙමයි.

 

ඒ ප්‍රදේශයේ සිටි ගවමස් වෙළෙන්දාට මිනිසුන්ගේ ඉල්ලුමට අනුව ගවමස් සපයා දෙන්න අපහසු වුණා.

 

ගවමස්වලට වේලාසනින්ම මුදල් අත්තිකාරම් දීලා තිබුණ පිරිස ගවමස් වෙළෙන්දාට ඇවිත් මස් ඉල්ලා කරදර කරන්නට වුණා. මේ වදයෙන් බේරෙන්න කොහොම හරි තැනින් තැන ඇවිදල තරුණ ගවයෙක්ව වැඩි මුදලක් දීලා මිලදී ගෙන මරන්නට අරගෙන ගියා.

 

ගව පැටියට මරණ බිය හොඳටම දැනුණා. කිසිම කරුණාවක් නැති මස් වෙළෙන්දා ගවයාව පහර දිදී බලෙන් දක්කාගෙන යනවා. කිසිම පිහිටක් පිළිසරණක් නැති ගව පැටියගෙ ඇස් දෙකෙන්ම කඳුලු වැගිරෙනවා.

 

එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මාර්ගයේ වැඩම කරනවා. ඒ ආශ්චර්යමත් මහා පුරුෂයාණන් වහන්සේව නෙතින් දැක බලා ගන්නට, මලින් සුවඳින් පුදන්නට ප්‍රදේශයේ මිනිසුන් සාදුකාර දෙමින් මාර්ගය දෙපස පිරිවරා ගත්තා.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේව, අසූමහා ශ්‍රාවකයින් වහන්සේලාව තම නෙත් දෙකින්ම දැක බලාගන්නට , දෝතින් මල් පුදා වඳින්නට තරම් ඒ මිනිසුන් කොයිතරම් නම් භාග්‍යවන්ත වෙන්න ඇතිද?

 

මේ මාර්ගයේම අනිත් පැත්තෙන් තමයි මාරයෙකු වැනි ගව ඝාතකයා විසින් අහිංසක අසරණ ගව පැටියාව මරන්නට වධ දිදී ඇදගෙන එන්නෙ.

 

ඒ ගව පැටියා කාගෙන්ද මට පිළිසරණක් පිහිටක් තියෙන්නෙ කියලා වටපිට බල බලා කඳුළු වගුරනවා. එක පාරටම භික්ෂූන් පිරිවරා සවණක් ගණ රැසින් බබළ බබළා වඩින ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැක්ක. තිරිසන් සතෙකුට පවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසීමිත මහා කරුණා ගුණය දැනෙනවා. ඒ ගව පැටියට දැනුණා මට පිහිටක් පිළිසරණක් තියෙනවනම් මේ උත්තමයාගෙන් විතරයි කියලා. පුලුවන් තරම් ඒ දිශාවට දුවන්න උත්සාහ කළා. ඒත් මොනවා කරන්නද, ගව ඝාතකයා යන්නට නොදී කඹය තදින් අල්ලා ගත්තා.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් ගව පැටියා දෙස බලා සිටියා. සැදැහැවත් මිනිසුනුත් මේ සිද්ධිය හොඳින් බලාගෙන සිටියා.

 

ඒ අතරෙ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බලයෙන් අර කඹය කැඩිල ගියා. කඹේ කඩාගෙන වසු පැටියා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමීපයට දුවගෙන ආවා.

 

අනේ ලොව්තුරා බුදුරජාණන් වහන්ස, මාව බේරගන්න කියන්නා වාගේ සම්බුදු සිරිපතුල් ළඟ වැටිලා සිරිපතුල් ලෙවකන්නට සිඹින්නට පටන් ගත්තා.

 

මේ වෙලාවෙ දෙපස රැස්වෙලා සිටි මිනිසුන්ට ඒ සත්ත්වයා ගැන මහා අනුකම්පාවක් දැනුණා. ඒත් ගව ඝාතකයා නැවතත් ගවයා ළඟට ඇවිත් කඹය බැඳලා ගව පැටියාව මරන්න ගෙන යන්න අදිනවා.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම මහා මෛත්‍රී කරුණාව පතුරවන්නට වුණා. එවිට මිනිස්සු ඉදිරිපත් වෙලා මුදල් දීලා ගවයට අභය දානය දෙන්නට තීරණය කළා.

 

මස් වෙළෙන්දාගෙන් ගව පැටියා ඉල්ලුවත් ඔහු දෙන්නට කැමති වුණේ නෑ. නැවත නැවත පෙරැත්ත කරලා ඉල්ලද්දි ගවයාගෙ මිල දෙගුණයක් වැඩි කරලා ඔහු මිනිසුන්ට කීවා. ඒත් මිනිස්සු ගව පැටියා කෙරෙහි කරුණාවෙන් ඒ මුදල ඉක්මනින්ම එකතු කරලා ගව පැටියාව මරණයෙන් මුදා ගත්තා.

 

මරණයෙන් මිදිලා අභය දානය ලැබූ ගවපැටියා වේගෙන් දුවගෙන ඇවිත් කඳුලු වගුරවමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපා නැවත ලෙවකනවා ,සිඹිනවා. සැදැහැවතුන්ටත් සතුටට නෙත්වලට කඳුළු ආවා.

 

ගව පැටියා මඳ වේලාවකින් සතුටින් උඩ පැන පැන එතනින් ඉවත් වෙලා ගියා. යන ගමනුත් හරිම ප්‍රසාදයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙස හැරි හැරී බැලුවා.

 

ඒ වෙලාවේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් දන්තාග්‍රය පෙන්වා මද සිනා නගද්දි, සතර දළදා වහන්සේලාගෙන් සුදුපාට දීප්තිමත් බුද්ධ රශ්මියක් විහිදිලා දක්ෂිණාවෘතව කැරකිලා සිරස පිටුපසින් අතුරුදන් වෙනවා. ඒ අසිරිමත් බුද්ධ රශ්මිය දුටු ආනන්ද තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටියා.

 

එවිට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා,

 

"මේ ගව පැටියා සැදැහැවතුන් මුදල් දී නිදහස් කළා. ඒ නිසා මා ලොව්තුරා බුදු කෙනෙකු බව හඳුනා නොගත්තත් මා පිළිබඳව මහ ප්‍රසාදයක් ගව පැටියාගේ සිතේ ඇති වුණා.

 

ඒ පිනෙන් මොහු මරණින් මතු චාතුර්මහාරාජික දෙව් ලොව උපදිනවා. එහි ආයු ඇති තෙක් දිව්‍යමය සැප විඳලා තව්තිසාවෙ උපදිනවා. එයින් නැවත යාම දෙව් ලොව, සංතුසිත දෙව්ලොව , නිම්මානරති දෙව්ලොව, පරනිම්මිත වසවත්ති දෙව්ලොව යන දිව්‍ය ලෝකයන්හි උපත ලබනවා. මේ විදියට බොහෝ කාලයක් ආරෝහණ අවරෝහණ වශයෙන් දිව්‍ය ලෝකවල සැරිසරනවා.

 

අවසාන භවයේ දී මේ මිනිස් ලොව ඉපදිලා මා කෙරෙහි ඇතිකරගත් ප්‍රසාද මාත්‍රය නිසා අශෝකවර්ණ යන නමින් පසේ බුද්ධත්වයට පත්ව අමා මහ නිවනින් නිවී සැනසෙනවා"

 

යනුවෙන් ගව පැටියාගේ අනාගතය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා.

 

මෙතනදි අපිට තේරුම් ගන්න පුළුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිරිසන් සතෙක් තුළ පවා ඇති වූ ශ්‍රද්ධා මාත්‍රයක් කොයිතරම් සැපය පිණිස හේතුවෙනවද කියලා.

සසර දුක හඳුනන, නිර්වාණාවබෝධයට උත්සාහ කරන සියලු දෙනාම ශ්‍රද්ධාව බෝධි පාක්ෂික ධර්මයක් කියලා තේරුම් අරන් එය ක්‍රම ක්‍රමයෙන් දියුණු කරන්නට ඕනේ.

 

නිතර නිතර සත්පුරුෂයන් ඇසුරු කරමින්, ධර්මශ්‍රවණය කරමින්, අසන ධර්මය නුවණින් විමසමින්, ධර්ම ප්‍රතිපදාව පුරමින් ශ්‍රද්ධාව දියුණු කරන්නට ඕනේ.

 

එසේ දියුණුවන ශ්‍රද්ධාව දියුණු වන්නෙ ධර්මානුකූල ප්‍රඥාවත් සමඟ. ඒ නිසා එම ශ්‍රද්ධාව නොසෙල්වෙන , වෙනස් නොවන මට්ටමට දියුණු වූ විට සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය කරන්නට හැකි වෙනවා.

 

අද මේ ධර්ම දේශනාමය පිනත් ඔබ සැමට උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය .)

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ