තිස්ස තෙරුන් නිසා තිරිසන් භවයෙන් මිඳුණු කුණ්ඩලී කුමරිය

අප්‍රේල් 15, 2024

 

අතීතයේ මේ ලංකාදීපයේ මාගම නම් පුරවරයක් තිබුණා. එහි බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ඉතාමත් සුප්‍රසිද්ධ තිස්ස නම් මහා විහාරයක් තිබුණා. එහි තිස්ස නම් සාමණේරයන් වහන්සේ නමක් වැඩ සිටියා.

 

තිස්ස සාමණේරයන් වහන්සේ ඉතාම සිල්වත් ගුණවත් හිමිනමක්. එතුමන් වහන්සේ වරින්වර ධර්ම දේශනා කරමින් ජනපද චාරිකාවේ වැඩම කරනවා. ඒ හෙළදිව මිනිසුන් හට උතුම් ශ්‍රී සද්ධර්මය වටහා දීම අරමුණු කරගෙනයි.

 

දිනක් මෙලෙස ජනපද චාරිකාවේ හැසිරී නැවතත් මාගම් පුරවරයට එන්නට සාමණේරයන් වහන්සේ පිටත් වුණා.

 

පාණව නමැති ගමෙන් පිණ්ඩපාතය ලබාගත් සාමණේරයන් වහන්සේ වැළඳීමට පහසු තැනක් සොයමින් වැඩම කරන්නට වුණා.

 

අතරමඟ මිනිසුන් හමුවූ විට කිට්ටුවම කුඹුකන් නම් ඔය ඇති බවත් ඒ ප්‍රදේශය ජල පහසුකම මෙන්ම සෙවණද ඇති ප්‍රදේශයක් බවත් දැනගන්නට ලැබුණා. සාමණේරයන් වහන්සේ දානය වැළඳීම පිණිස ඔය සමීපයේ සෙවණ ඇති තැනක කුඩා කළුගලක් මත වාඩි වුණා.

 

මේ ආසන්නයේ ගිරි දුර්ග ඇති වන ලැහැබක් තිබුණේ. මිනිසුන් යම් යම් කටයුතුවලට මේ වනපියසට එනවා යනවා. මිනිසුන් සමඟ මේ වන පියසට එන්නට පුරුදු වෙලා උන්නු බැල්ලක් පැටවුන් වදන කාලයේදී මේ ආසන්නයේ ගිරිප්‍රපාතයක මුල්ලක පැටවුන් බිහිකර තිබුණා.

 

තම පැටවුන්ට ඇති සෙනෙහස නිසා පැටවුන් හැරදා යා නොහැකිව දින ගණනාවක්ම බැල්ලට කුසගින්නේ සිටින්නට සිදු වුණා.

 

හැම අම්මා කෙනෙක්ම පාහේ දරු සෙනෙහස ළඟදි හැසිරෙන්නෙ එහෙමයි. මිනිස් වුණත් තිරිසන් වුණත් මවකගෙ දරු සෙනෙහසට වෙනසක් නෑ. ඈ කුසගින්නේ නමුත් තම පැටවුන්ට කිරිපොවමින් එහිම වැතිරී සිටියා.

 

ඒ මොහොතේ තෙරුන් වහන්සේගේ පාත්‍රයේ වූ ආහාරවල මිහිරි සුවඳ බැල්ලට ඉව වැටුණා. කුසගින්නෙ කෘශ වී සිටි බැල්ල අමාරුවෙන් අමාරුවෙන් ආහාර සුවඳ ඉව අල්ලමින් තෙරුන් වහන්සේ වෙත පැමිණියා. හිස පහත් කොට වලිගය වනමින් කෙඳිරි ගාන්නට වුණා.

 

තිස්ස සාමණේරයන් වහන්සේ හරිම කාරුණික උත්තමයෙක්. බැල්ල ගැන කරුණාවෙන් පළමු බත් පිඬම ළඟ වූ කුඩා කළුගල් පොත්තෙහි දැමුවා. බැල්ල ඉතා වේගයෙන් ආසාවෙන් එය කා අවසන් වී නැවතත් කෙඳිරි ගාන්නට වුණා. සාමණේරයන් වහන්සේට හොඳටම වැටහුණා බැල්ල සිටින්නෙ අධික කුසගින්නක කියා. නැවතත් බත් පිඬක් බැල්ලට කරුණාවෙන් දැමුවා. මේ විදියට පාත්‍රයේ තිබූ සියලුම ආහාර බැල්ලගේ කුසගිනි නිවීමට සාමණේරයන් වහන්සේ පරිත්‍යාග කරනු ලැබුවා.

 

එදා මුළු දවසම දුන් දානයේ සතුටින් කුසගින්නෙ සිටින්නට සාමණේරයන් වහන්සේට සිදු වුණා.

 

තිරිසන් සතුන් මිනිසුන් මෙන් නොවෙයි. වංක ගති ඇති සතුන් නොවේ. බැල්ලගේ සිත තුළ තිස්ස සාමණේරයන් පිළිබඳව කළගුණ පෙරටු කරගත් මහා පැහැදීමක්, සෙනෙහසක් හටගත්තා.

 

දින ගණනාවක්ම කුසගින්නේ සිටි බැල්ලට ආහාර දිරවගන්නටත් අපහසු වුණා. ආයුෂත් ගෙවිලා තිබුණ බැවින් එදාම බැල්ල අජීර්ණයෙන් මරණයට පත්වුණා.

 

සමහර අවස්ථාවලදී මැරෙන සත්ත්වයින්ට ආසන්න කර්මය පුනර්භවය පිණිස ප්‍රධානම තීරකයක් බවට පත් වෙනවා. මේ බැල්ලටත් එහෙමයි වුණේ.

 

සාමණේරයන් වහන්සේ පිළිබඳව ඇති වූ චිත්ත ප්‍රසාදය හේතු කරගෙන එම බැල්ල දුක්ඛිත තිරිසන් භවයෙන් මිදී උතුම් වූ මිනිස් භවයක් ලැබීමට භාග්‍යවන්ත වුණා.

 

එම බැල්ල දඹදිව දේවපුත්‍ර නම් නුවර රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගෙන දසමස් ගෙවා මෙලොවට බිහිවුණා.

 

 

ඇගේ කෙස් අක්බමරුයි. කැරලි සහිතයි. අලංකාරයි. ඒ නිසා ඇයට කුණ්ඩලී කුමරියැයි දෙමාපියන් විසින් නම් තැබුවා.

 

ඈ රාජකීය යස ඉසුරු මැද ඉතාමත් සැපසේ වයසින් වැඩෙන්නට වුණා. සොළොස් විය පිරුණු ඉතා රූමත් කුමරියක වූ ඇය ඉතාමත් පිනට දහමට ලැදි තරුණියක් වුණා.

 

ලංකාදීපයේ වැඩ වාසය කළ තිස්ස සාමණේරයන් වහන්සේටත් ගුණ ධර්ම දියුණු කරමින් සොළොස් වසරක්ම ගෙවී ගියා.

 

සාමණේරයන් වහන්සේ නිරතුරුවම බුදුගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සති භාවනාව දියුණු කළ උතුමන් වහන්සේ නමක්.

 

දිනක් එතුමන් වහන්සේට සිතුණා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය සියැසින්ම දැක වැඳපුදා ගන්නට අවශ්‍යයි කියා.

 

ඒ සඳහා සාමණේරයන් වහන්සේ නැව් නැඟ දඹදිවට වැඩම කොට ගම් නියම්ගම් පසුකොට දේවපුත්‍ර නගරයට පැමිණියා.

 

සාමණේරයන් වහන්සේට තිබුණේ දුටු දුටුවන් පැහැදෙන ගමන් විලාසයක්. සිවුර ගැටවටු ගන්වා පාත්‍රා සිවුරු ගෙන පහතට යොමුකළ නෙත් ඇතිව ඉතාම තැම්පත්ව එතුමන් වහන්සේ වැඩම කරන්නට වුණා.

 

එදා කුණ්ඩලී කුමරිය උඩුමහලේ සීමැදුරු කවුළුවෙන් අවට සිරි නරඹමින් සිටියදී හදිසියේම තිස්ස සාමණේරයන් වහන්සේව දැක ගන්නට ලැබුණ.

 

මේ කුමරිය බැල්ලක්ව උපදින්නටත් පෙර භවයක මෙහෙණි සස්නේ පැවිදිව සිට, භික්ෂුන් වහන්සේ නමකට පන්හිඳක්, පොතක් හා පහන් තෙල් පූජා කොට ජාතිස්මරණ ඥානය උපදීවා කියා ප්‍රාර්ථනාවක් සිදුකොට තිබුණා. එම පුණ්‍ය බලය අනුසස් ලබා දෙමින් සාමණේරයන් දුටු මොහොතේදී කුණ්ඩලී කුමරියට අතීත භවය සිහිපත් වන්නට වුණා.

 

සාමණේරයන් වහන්සේ දුටු විට ඇයට පුදුමාකාර පැහැදීමක් හා හුරුපුරුදු බවක් දැනුණා. ඇස ඉවතට ගන්නට සිතුණේ නෑ. බොහෝම තැම්පත් සිතින් 'මේ හිමියන් කවුරුදැ'යි නැවත නැවතත් විමසද්දී පෙරභවය පිළිබඳව සියලු මතකයන් ඇයට ඉස්මතු වුණා.

 

 

සාමණේරයන් වහන්සේව රජ මැදුරට වඩමවා ඉතාමත් ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. මෙම උතුම් සාමණේරයන් පිළිබඳව ඇති වූ ප්‍රසාද චිත්තය නිසා මෙවන් රාජ සැපතක් තමන්ට ලැබුණ බවත්, දුක්ඛිත තිරිසන් අපායෙන් මිදී රජ කුමරියක වූ බවත් සිහි වූයෙන් ඈ සාමණේරයන් වහන්සේ අභියස වැඳ වැටුණා.

 

සාමණේරයන් වහන්සේ, කුමරිය විසින් තමන් වහන්සේට මෙතරම් ගෞරව කරන්නට හා හිතවත්කම් පෙන්වීමට හේතුව කුමක්දැයි විමසා සිටිවිට ඈ ජාතිස්මර ඥානයෙන් අතීත භවය පිළිබඳව සියලු තොරතුරු තෙරුන් වහන්සේට හෙළිකරන්නට වුණා.

 

සාමණේරයන් වහන්සේ සසරෙහි යථා ස්වාභාවය පිළිබඳව අවබෝධයෙන් යුතු කලකිරීම් නුවණක් උපදවා ගත්තා.

 

සංසාරයේ ස්වාභාවය පුදුමාකාරයි. කර්මයේ ස්වාභාවයද පුදුමාකාරයි.

චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන සතර අපායෙන් හා සසර දුකින් මිදෙනා තෙක් සැබෑ සැනසීමක් නම් අපහට ඇත්තේ නෑ.

 

කුණ්ඩලී කුමරිය සාමණේරයන් වහන්සේට කළගුණ සැළකිය යුතුයැයි සිතා පිය රජුගේද උපකාර ඇතිව මහත් විහාරයක් සකසා සාමණේරයන් වහන්සේට වැඩ සිටීමට සඟසතු කොට පූජා කරනු ලැබුවා. ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ වන්දනා කොට එහි පැමිණි සාමණේරයන් වහන්සේට දිවි ඇතිතෙක් එම විහාරයේ වැඩ සිටීමටද ආරාධනා කොට සියලු භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරනු ලැබුවා.

 

සසර දුක පිළිබඳව අවබෝධයෙන්, නැවත තිරිසන් භවයක් නොලැබෙන්නට පතමින් ඈ බොහෝ කුසල් රැස්කරමින් ධර්මය පුරුදු පුහුණු කළා.

 

හෙළදිවින් දඹදිව වැඩි ඒ තිස්ස තෙරුන් වහන්සේද ශ්‍රී සද්ධර්මයෙහි වඩවඩාත් පිහිටා බුද්ධානුස්සති භාවනාව මුල්කොට නිවන් මඟ වඩන්නට වුණා. උතුම් අරිඅටඟි මඟ කුළුගන්වමින් තිස්ස සාමණේරයන් වහන්සේ සියලු කෙලෙස් නසා උත්තරීතර විමුක්ති සුවය වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට සමත් වුණා.

 

කුණ්ඩලී කුමරිය පෙරභවයක භික්ෂුණියකව සිට නැවත භවයක තිරිසන් බැල්ලකව උපන් තැනැත්තියක්. තිස්ස සාමණේරයන් මුණ නොගැසෙන්නට ඈ තවමත් තිරිසන් භවයේ හෝ සතර අපායේ භවයක දුක් විඳින තැනැත්තියක්.

 

සසර ගමන් කරන සත්ත්වයන් අකුසල් නිසා සතර අපායට වැටෙමින් දුක් විඳිමින් ඉපදෙමින් මැරෙමින් එද්දි , කලාතුරකින් කරගත් කුසලයක් නිසයි මෙවන් සුගතියක උපදින්නෙ.

 

දිව්‍යමය වූ හෝ මනුෂ්‍යමය වූ හෝ සුගති ජීවිත සදාකාලික වූ ජීවත නොවෙයි. කුසල් ගෙවී ගියවිට නැවතත් අකුසල් ඉස්මතු වී සතර අපා උපත් කරා සත්ත්වයින්ට ගමන් ගන්නට වීම ස්වාභාවයකි.

 

සසර දුක උපදවන කර්ම සකස් වෙන්නෙ අවිද්‍යාව නිසයි. කර්ම සකස් වීම නතර වනතෙක් මේ සසර දුකින් ගැලවීමක් නම් නෑ.

 

ඒ නිසා මේ ලැබුණ උතුම් මිනිසත් භවය තුළ අපමණ කුසල් වඩන්නට සිතට ගත යුතු වනවා සේම චතුරාර්ය සත්‍යය අවබෝධය නමැති උතුම් විද්‍යාව උපදවා ගෙන, සැබෑ සැනසීමට පත්වීම පිණිසත් වඩවඩා වීර්යය වැඩීම සිදු කළ යුතුයි.

 

( සද්ධර්මාලංකාරය ඇසුරෙනි )

 

තෙරුවන් සරණයි !

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)