වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
වැරැදි පාරේ යන ඔබේ දරුවා උපක්‍රමශීලිව සුමඟට ගන්න
බුදුන් දවස සැවැත්නුවර ජීවත් වූ සුදත්ත සිටුතුමා මහා ධනවතෙකි. තමන් සතු ධනයෙන් ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී මගී යාචකාදීන්ට නිරතුරුව දානමාන ආදියෙන් සංග්‍රහ කළ නිසා මොහු පසුකලෙක අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ විය.
අටළොස් කෝටියක් ධනය වියදම් කොට ජේත නම් කුමාරයාගේ ඉඩම මිලට ගෙන අටළොස් කෝටියක් ධනය වියදම් කොට ජේතවනාරාම විහාරය කරවා බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කළේ ද මොහු ය. අනේපිඬු සිටුතුමා සැදැහැවත් ය. ගෞතම බුද්ධ ශාසනයේ
අග්‍රදායකයා වූයේ ද අනේපිඬු සිටුතුමා ය. එතුමාට මහා සුභද්‍ර, චූල සුභද්‍ර හා සුමනා නමින් දියණිවරු තිදෙනෙක් හා කාල නමින් එක් පුතණු කෙනෙක් වූහ. මහා සුභද්‍රා හා චූල සුභද්‍රා යන දියණිවරු දෙදෙනා සෝවාන් ඵලයට ද සුමනා දියණිය සකෘදාගාමී ඵලයට ද පැමිණ තිබූහ. එහෙත් කාල නම් පුත්‍රයා කිසි දිනෙක බුද්‌ධෝපස්ථාන, සංඝෝපස්ථාන නොකළේ ය. බුදුන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය දැකීමටවත්, දහම් පදයක් අසන්නටවත් කැමැත්තක් නො දැක්වූයේය. යහළු හිතමිත්‍රාදීන් සමඟ කෙළි දෙළින් කාලය ගත කළේ ය.
අනේපිඬු සිටුතුමා දිනපතාම තම පුතුට නිවැරදි මාර්ගයට පෙන්වීමට අවවාද අනුශාසනා කළ ද ඒ කිසිවක් මොහු නො ඇසුවේ ය. තම පුත්‍රයා මෙලෙස ක්‍රියා කළහොත් මරණින් මතු අනිවාර්යනේම අපාගත වන බව දැන මේ පිළිබඳ බලවත් සිත් වේදනාවෙන් මොහු නිවැරදි මාර්ගයට ගත යුත්තේ කෙසේ දැයි කල්පනා කරමින් සිටියේ ය.
දිනක් අනේපිඬු සිටුතුමා මේ සඳහා උපායක් කල්පනා කළා. නුවණ මඳ මිනිසා මිල මුදල් ම බලාපොරොත්තු වෙයි. එබන්දෙකුට මිල මුදල් ටිකක් දුන් විට ඔහු ලවා ඕනෑම වැඩක් කරවා ගත හැකි ය. එම නිසා මිල මුදල් ටිකක් දී මොහුගේ අදහස් වෙනස් කරමි යි සිතා “ පුත, නුඹ පන්සලට ගොස් සිල් සමාදන්ව බණ ටිකකුත් අසා ආවොත් ආ සැටියේම නුඹට කහවුණු සියයක් දෙන්නෙමි යි කීය. මෙය ඇසූ කාල සිටු පුත්‍රයා සතුටට පත්ව පෙහෙවස් සමාදන්ව විහාරයට ගොස් බණ ඇසීමෙන් වැඩෙක් නැතැ යි සිතා පහසු තැනක නිදාගෙන උදෑසනින් ම නින්දෙන් නැඟිට ගෙදර ගියේ ය. කාල සිටුපුත්‍රයා සිටු මාළිගාවට පැමිණි මොහොතේම අනේපිඬු සිටුතුමා “මගේ පුත්‍රයා පෙහෙවස් සමාදන්ව විහාරයට ගොස් ආවේ“ යැයි සතුටුව ඔහුට ආහාර පාන ගෙන එන්න යැයි සේවකයන්ට විධාන කළේ ය. නමුත් කාල සිටුපුත්‍රයා පොරොන්දු වූ මුදල ලැබෙන තුරු ආහාර නොගනිමියි ආහාර ප්‍රතික්ෂේප කළේ ය. මේ බව දැනගත් අනේපිඬු සිටු පුත්‍රයා තම පුතාට පොරොන්දු වූ මුදල දුන්නේ ය.
තම පුත්‍රයා පන්සලට යැවිය හැකි උපක්‍රමය දැනගත් අනේපිඩු සිටුතුමා තවත් දිනක තම පුත්‍රයාට මෙසේ පැවසී ය. “ පුතේ නුඹ පෙහෙවස් සමාදන්ව විහාරයට ගොස් බුදුන් වහන්සේගෙන් බණ අසා එක් බණ පදයක් මතක තබා ගෙන ආවොත් කහවුණු දහසක් දෙන්නෙමියි” කීය.
තම පියාණන් මීට පෙර තමාට පැවසූ පොරොන්දුව ඉටු කළ නිසා මෙවරත් මුදල්වලට ඇති ආශාව නිසා පෙහෙවස් සමාදන්ව බණ පදයක් මතක තබා ගත් මොහොතේම දම්සභා මණ්ඩපයෙන් පිටත්ව ගොස් පියාණන්ගෙන් මුදල ගනිමියි සිතමින් විහාරස්ථානයට ගොස් දම්සභා මණ්ඩපයේ ඉදිරියේම වාඩි විය..
කාල සිටුපුත්‍රයාගේ සිතුවිලි දුටු බුදුන් වහන්සේ ඔහු උගත් බණ පද අමතක වී අර්ථය පමණක් වැටහේවා යි ප්‍රාර්ථනා කළේ ය. පළමු බණ පදය අමතකව ගිය බැවින්, නැවැත ද බණ පදයක් මතක තබා ගනිමියි එහි ම සිට බණ ඇසී ය. කිසිදු බණ පදයක් මතක තබා ගැනීමට නොහැකි වූ කාල සිටුපුත්‍රයා තමාගේ සිත එක් අරමුණකට ගෙන ධර්මය ශ්‍රවණය කළේ ය. ධර්ම දේශනාව අවසානයේ දී කෙලෙස් ධර්මයන් යටපත්ව සෝවාන් ඵලයට පත් විය.
මෙම කතා පුවත මව්පියන්ට ඉතා වටිනා කතා පුවතක්. වර්තමානයෙත් පාප මිත්‍ර ආශ්‍රය නිසා, හොඳ නරක, පව පින තේරුම් ගත නොහැකි නිසා බොහෝ දරුවන් වැරදි මාර්ගයේ ගමන් කරති. එම නිසා බොහෝ මව්පියන් තම දරුවන් කරන කියන දේ නිසා සිත් තැවුලෙන් මානසිකව විඳවමින් ජීවත් වෙති.. වේළීච්ච දර කෝටුවක් නවන්න ගියහම කැඩෙන්න වගේ දරුවන් යොවුන් වියට පත් වූ පසු ඔවුන්ට නිවැරදි මාර්ගය, හොඳ නරක, පව පින කියලා දීම පහසු නොවේ. අමු දර කෝටුවක් අපිට අවශ්‍ය ආකාරයට නවලා සාදාගන්න පුළුවන් වගේ දරුවන්ටත් කුඩා කාලයේ දී නිවැරදි මාර්ගය, හොඳ නරක පෙන්වා දිය යුතු යි. එම නිසා බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ දී මව්පියන්ගෙන් ඉටුවිය යුතු මුල් යුතුකම් දෙක ලෙස දරුවන් පාපයෙන් වැළක්වීම හා දරුවා යහපතෙහි යෙදවීම පෙන්වා දුන්හ.
දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය සංස්කෘත ශ්ලෝකයක මෙසේ දැක්වේ.
ලාලයේත් පංච වර්ෂානි
දස වර්ෂානි තාඩයේත්
ආගතේ ෂෝඩගේ වර්ෂේ
පුතං මිත්‍ර වදා චරෙත්
මුල් අවුරුදු පහ දරුවා නැළවිය යුතු ය. එනම් උපතේ සිට පෙරපාසල් අවධිය දක්වා දරුවා නැළවිය යුතු ය. අවුරුදු දහයක් තැළීමෙන් හෝ සකස් කළ යුතු ය. එනම් එක වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවාට දඬුවම් කොට නිවැරදි මාර්ගය, හොඳ නරක, පව පින පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතු ය. වයස අවුරුදු දහසයේ සිට දරුවා සමඟ මිත්‍රයෙකු මෙන් ඇසුරු කළ යුතු ය. එනම් සාමාන්‍ය පෙළින් පසු දරුවා සමඟ මිත්‍රයෙකු මෙන් කටයුතු කළ යුතු ය.
හැඳී නොගා හදන කිරිහොද්ද කැටි ගැසී රසයෙන් අඩු වෙයි. එසේම නිසි පාලනයකින් නියමාකාරයෙන් සකස් නොවූ දරුවා මුරණ්ඩු විය හැකි අතර ඔහු අයහපත් සමාජ විරෝධි පුද්ගලයෙක් බවට ද පත් විය හැකිය.
එම නිසා අනේපිඬු සිටු පුත්‍රයා මෙන් දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සීමාව ඉක්මවා රළු හෝ මෘදු නොවී උපක්‍රමශිලිව කටයුතු කළයුතු ය. නිදසුනක් ලෙස බලු, බළල්, කොටි, සිංහ ආදී තිරිසන් සත්තු තම පැටවුන් බෙල්ලෙන් එල්ලාගෙන තම පැටවුන් ආරක්ෂිතව රැගෙන යයි. පැටියා රැගෙන යන විට පැටියාගේ බෙල්ල තදින් අල්වාගතහොත් පැටියාට හානි සිදු වේ. පැටියාගේ බෙල්ල බුරුලට අල්ලාගතහොත් පැටියා බිමට වැටේ. එලෙස දරුවන්ට ද අනවශ්‍ය ලෙස රළු ද මෘදු ද නො විය යුතුය. අවශ්‍ය තැන රළු බවින් හෝ මෘදු බවින් කටයුතු කොට දරුවා නිවැරදි මාර්ගයට ගත යුතු ය.
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ