බැතිබර වෙසඟෙහි සැබෑම අරුත...

මැයි 20, 2024

සිදුහත් මහ බෝසතාණන් වහන්සේගේ උපතත් , පස්මරුන් පරදවා විශ්වයම අවබෝධ කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අනුපදිශේෂ පරිනිර්වාණයත් යන ත්‍රිවිධ මංගල්‍යයන් සැමරෙන උතුම් වෙසක් මංගල්‍යය උදාවී තිබේ.

ගමක් ගමක් පාසා, වෙහෙරක් වෙහෙරක් පාසා ඒ උතුම් තෙමඟුල සමරන්නට බොදුනුවෝ සැදී පැහැදී සිටිති. සමහර තැනෙක දන්සල්ය. සමහර තැනෙක තොරණය, කවිමඩුය. තවත් සමහර තැනෙක කැරකෙන පහන් කූඩුය. එකිනෙකා වෙසක් පොහොය සමරන විදිහ එකිනෙකට වෙනස්ය. වෙසක් පොහොය අර්ථවත් වන්නේ කෙසේ එය සැමරීමෙන්දැයි විමසා බැලීම ‍ෙමම ලිපියේ අරමුණයි.

සම්මා සම්බුදු කෙනෙකුන්ගේ පහළවීමෙහි අර්ථය කුමක්දැයි අප ප්‍රථමයෙන්ම විමසා බැලිය යුතුය.

අවිද්‍යාවෙන් මුලා වී කෙලෙසුන් නිසා දුකට පත් වී සිටින දෙව් මිනිස් ලෝකයා සසර අතරමංවී සිටිති. ඔවුනට අවිද්‍යාව නිසා ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ නොවන්නේය. අසීමිත වූ කෙලෙසුන් නිසා මොහොතක් මොහොතක් පාසා ජීවිතය තුළ දැවිලි තැවිලි ඇතිවන්නේය. භවයක් භවයක් පාසා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක්වලට මුහුණ දෙන්නට සිදුවන්නේය. වැඩිමනක්ම නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෙහි උපදින්නටත් කල්ගත කරන්නටත් වන්නේය. මෙය නොසිඳී පවතින මහා දුක්ඛ ප්‍රවාහයකි.

සිතක් තුළ පහළවන ජීවිත ආශාව හෝ තෘෂ්ණාව නමැති එකම සිතුවිල්ලකට මෙපමණ විපතක් කරත හැකියැයි මොහොතකටවත් අයෙකුට නොසිතෙන්නේය. එසේ සිතුණත් එම තෘෂ්ණාවෙන් මිදෙන අයුරක්, උපායක් සොයාගන්නට කිසිවෙකුට නොහැකි වන්නේය. එබැවින් සියලු සත්ත්වයෝම සසර අතරමංව අපමණ දුක් විඳිනා අසරණ‍ෙයා් වී සිටිති. ආස්වාදයක් ඇතිනම් ඒ ස්වල්පයකි. ආදීනවයම මහත්ය. අපමණය. මිනිසුන් පමණක් නොවේ දෙවියන්, බ්‍රහ්මයින් පවා ඒ දුකින් මිදීමට උපාය නොදැන සංසාර දුකෙහි වැටී ගැලී අසරණව සිටිති.

විශ්වයට අතිශයින්ම දුර්ලභ ලෙස පහළ වී වදාරණ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා කෙලෙස් නසා විද්‍යාව උපදවන සහ සියලු දුකින් මිදෙන උපාය අවබෝධකර ගනිති. අවබෝධ කරගෙන ඒ උතුම් උපායමාර්ගය නුවණැති ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරති. නුවණැති මිනිසුන්ට ද දෙවියන්ට ද සසරින් මිදී අසංඛත වූ නිර්වාණය සාක්ෂාත්කර ගන්නට ලැබෙන්නේ එවිටය.

සම්බුද්ධ ශාසනයක් මුණගැසීම අනන්ත සංසාර ගමන තුළ අතිශයින්ම දුර්ලභය. එබැවින් ලොව්තුරා බුදු සසුනක් සම්මුඛ වූ විට එම ක්ෂණ සම්පත්තියෙන් ගතයුතු උපරිම අභිවෘද්ධිය ජීවිතයට උදාකර ගතයුතුය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස් පන්සිය හැටඅට වසරකට පෙර කුසිනාරාවේ උපවත්තන සල්වනයේ පිරිනිවන් පානා මොහොතේදී දිව්‍යමය පුෂ්ප, දිව්‍යමය සුගන්ධ ද්‍රව්‍ය අහසින් වැටෙන්නට ආරම්භ විය. දිව්‍යමය තූර්ය නාදයන් පැතිරෙන්නට විය. ඒවා දෙවිවරුන් විසින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ දිව්‍යමය පූජාවන් විය.

ඒ දුටු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

"න ඛො ආනන්ද, එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා, යො ඛො ආනන්ද, භික්ඛු වා භික‍්කඛුණී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්ම පටිපන්නො විහරති සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අපචියති පරමාය පූජාය. තස්මාතිහානන්‍ද, ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො ති, එවං හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති"

පින්වත් ආනන්ද , මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර හෝ ගරුකාර හෝ මානන හෝ පූජා හෝ ගෞරව හෝ කරන ලද්දේ නොවේ.

පින්වත් ආනන්ද , යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපදාවේ හැසිරෙමින් වාසය කරයි ද, ඔහුම උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර කරයි. ගරු කරයි. බුහුමන් කරයි. පූජා කරයි, ගෞරව කරයි. පින්වත් ආනන්ද, එබැවින් මෙහි ලා අපි ධර්මානුධර්ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපදාවෙහි හැසිරෙමින් වසන්නෙමුයි, මෙසේ නුඹලා විසින් හික්මිය යුතුයි"යනුවෙනි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අර්ථය ලෝක සත්ත්වයාට යථාර්ථාවබෝධය ලබාදීමය. කෙලෙස් නසා නිකෙලෙස් වීමට මඟ පෙන්වීමය. සසරින් මිදීමේ උපාය කියා දීමය.

එම අර්ථය ශ්‍රාවකයින් ලෙස ජීවිතයට ළඟාකර ගැනීම සඳහා සෑම ශ්‍රාවකයෙකුම උත්සාහවත් වීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකරන උසස්ම පූජාව යැයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉස්මතු කොට පෙන්වා වදාළේ ඒ නිසාය.

මෙහි අර්ථය මල්, පහන් ආදී ආමිස පූජාවන් නොකළ යුතුය යන්න නොවේ. ඒවා ද පූජාමය. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපගෙන් අපේක්ෂා කළ උසස්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවමය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට දේශනා කළේ චතුරාර්ය සත්‍යය ධර්මයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේව ශාස්තෘත්වයෙන් සරණකොට ගන්නා සෑම ශ්‍රාවකයෙකුටම වගකීම් හතරක් තම ජීවිතය තුළ දැරීමට හිමිවේ. ඒවා නම්,

1. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළයුතු දුක නමැති ආර්ය සත්‍යයක් දේශනා කළ බැවින්, මොහොතක් පාසා එම දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කිරීමට වෑයම් කළ යුතුය.

2. ප්‍රහාණය කළයුතු දුකට හේතුව වන සමුදය ආර්ය සත්‍යයක් දේශනා කළ බැවින් එම තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට මොහොතක් පාසා වෑයම් කළයුතුය.

3. සාක්ෂාත් කළයුතු වූ නිරෝධ ආර්ය සත්‍යයක් දේශනා කළ බැවින් ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට මොහොතක් පාසා වෑයම් කළ යුතුය.

4. වැඩිය යුතු වූ ආර්ය මාර්ග සත්‍යයක් දේශනා කළ බැවින් ඒ උතුම් නිවන් මග වැඩීමට මොහොතක් පාසා වෑයම් කළ යුතුය.

මෙම වගකීම් හතර නිවැරදි ලෙස ඉටුකිරීමට සිතට ගත යුතුය. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිහිකරන වෙසක් පොහෝ දිනෙක සිදුකළ යුතු අර්ථවත්ම ප්‍රතිපත්ති පූජාවකි.

එය ඉටු කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙනි. නිවන් අපේක්ෂා කරනා බොහෝ දෙනෙක් එයට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි අසා ඇත. නමුත් එය වඩන්නෙ කෙසේදැයි බොහෝදෙනෙකුට අදහසක් නැත.

එය වැඩීම සඳහා විමුක්තායතන පහකුත්, ශික්ෂා තුනකුත් තිබෙනා බව බොහෝ දෙනෙක් නොදනිති.

1. නුවණින් විමසමින් අන්‍යයන්ට

ධර්මය දේශනා කිරීම.

2. නුවණින් විමසමින්

ධර්ම දේශනා ශ්‍රවණය කිරීම.

3. නුවණින් විමසමින් ධර්ම සාකච්ඡා කිරීම.

4. නුවණින් විමසමින්

ධර්මය ඉගෙන හඬනඟා කියවීම.

5. සමථ විදර්ශනා භාවනා වැඩීම.

යනු ඒ විමුක්තායතනයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනා ශික්ෂා තුන වන්නේ ත්‍රිශික්ෂාවයි.

එය ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් දක්වා තිබේ.

ශීල ශික්ෂාව තුළින් ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව යන අංග තුන පූර්ණත්වයට පත්වේ. එහිදී පුද්ගලයා වෑයම් කළ යුත්තේ මානසික සංසිඳීම , කුසල සමාධිය ඇතිකරන අයුරින් ශීලයක පිහිටීමටය. එනම් ශීලය හුදෙක් ශීල සංවරය පිණිසම නොවේ, කෙලෙස් යටපත් කොට සමාධිය වැඩීම පිණිසයි වටහාගෙන ක්‍රියා කළයුතුය.

එසේම භාවනා කරමින් සමාධිය දියුණු කළ යුත්තේ ද, ආර්ය ප්‍රඥාව උපදවා ගැනීම පිණිස උපකාරයක් ලෙස යැයි වටහාගෙන කටයුතු කළ යුතුය. එම සමාධි ශික්ෂාවෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංගයන් පූර්ණත්වයට පත් වීම සිදුවේ.

එම සමාධිය මත පිහිටා ස්කන්ධ, ධාතු, ආයතන යන ධර්මයන් විදර්ශනා කරමින් ප්‍රඥාව දියුණු කොට කෙලෙස් නසා යථාර්ථාවබෝධය ලැබීමට ද උත්සාහවත් විය යුතුය. එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගයගේ සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංගයන් වර්ධනය සිදුවේ. ඒවා පූර්ණත්වයට පත් වීමේදී සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංගයන් සන්තානය තුළ පහළ වීමද සිදුවේ. එයම උතුම් සත්‍යාවබෝධයයි.

" මග්ගෝති පටිපදා"

" මාර්ගය යනු ප්‍රතිපදාවයි "

යනු අටුවා අර්ථකථනයයි. එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු අංග අටකින් යුත් උතුම් වූ ප්‍රතිපදාවකි. ප්‍රතිපත්තියකි. ඒ උතුම් ප්‍රතිපත්තිය නොපුරා ක්‍රෝධය , වෛරය, ඊර්ෂ්‍යාව , මානය සිත් තුළ පුරවාගෙන සල්පිල් කිරීම, කුසුම්බඳුන් වෙන්දේසි කිරීම හෝ කවිමඩු කිරීම ආදිය නියමාකාරයෙන් වෙසක් තෙමඟුල සැමරීමක් නම් නොවේ.

බොහෝවිට සමහර බෞද්ධයන් ප්‍රතිපත්ති පුරනවා තබා, එම ප්‍රතිපත්තීන් විස්තර කෙරෙන ශ්‍රී සද්ධර්මය ඇතුළත් ත්‍රිපිටකය හෝ කුමක්දැයි දැක හෝ නොමැත. එහි අර්ථය නම් ඔවුන් තවමත් නියමාකාරයෙන් බෞද්ධයන් බවට පත්වී නොමැත. අනවබෝධයෙන් බුදුසරණ යෑම නියම බෞද්ධයෙකු වීමේ ක්‍රමය නොවනා බැවිනි. එබැවින් වෙසක් තෙමඟුල සැමරීම වඩාත් අර්ථවත් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අසා දැනගත් තරමටය. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අනුව කටයුතු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපන්නව කටයුතු කළ තරමටය. සෑම ක්‍රියාවක්ම චතුරාර්ය සත්‍යය අවබෝධයට ළංවන ආකාරයෙන් අර්ථවත්ව සිදුකළ තරමටය.

එබැවින් මේ උතුම් වෛශාක්‍ය මංගල්‍යයෙහි බොදුනුවන් සියල්ලෝම ආමිස පූජාවටත් වඩා උතුම් ප්‍රතිපත්ති පූජාවම ගරුකොට ගනිත්වා! ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහිම හැසිරෙත්වා!

තෙරුවන් සරණයි !