මහත්ඵල මහානිසංස දානයක් දිය යුත්තේ කෙසේද?

ජුනි 17, 2024

 

බුදුන් වහන්සේ චම්පා නගරයේ ගග්ගරා පොකුණු තෙර වැඩවසන කාලයේ චම්පා නගරවාසී උපාසකවරු සැරියුත් මහරහතන් වහන්සේ කරා පැමිණ,බුදුන් වහන්සේගෙන් බණ පදයක් අසන්නට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලූහ.

 

එවිට පොහොය දිනයේදී බුදුන් වහන්සේ හමුවීමට යමු යැයි සැරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නේය. පොහෝ දිනයෙහි පැමිණි චම්පා නුවර

උපාසකවරු සැරියුත් මහරහතන් වහන්සේ සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ගොස් බුදුන් වහන්සේ හමු වී වන්දනා මාන කොට බුදුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසීය.

 

බුදුරජාණන් වහන්ස, මහත්ඵල මහානිසංසවන දානයක් තිබේ ද? මහත්ඵල මහානිසංස නොවන දානයක් තිබේ ද?

 

එවිට බුදුන් වහන්සේ දේශනා කළේ මහත්ඵල මහානිසංසවන දානයක් හා මහත්ඵල මහානිසංස නොවන දානයක් ඇති බවයි.

 

මහත්ඵල මහානිසංස නොවන දාන 06 මෙසේ ය.

 

1. යම් පුද්ගලයෙක් තෘෂ්ණා සහිතව

සැප විපාක ලබන අදහසින් සසරට

රැස් කරනු පිණිස මෙම දානයේ

විපාක පරලොවදී අනුභව

කරන්නෙමියි සිතා දන් දෙන්නේ

නම් එම දානය මහත්ඵල

මහානිසංස නොවේ.

 

2. යම් පුද්ගලයෙක් අපේක්ෂා රහිතව,

විපාක ලබන අදහසක් නොමැතිව

සසරට රැස් කරන අදහසක්

නොමැතිව දානයේ විපාකය

පරලොවදී අනුභව කරන්නෙමි යි

අදහසක් නොමැතිව, දන්

දීම ලෝකයා විසින් අනුමත කරන

ක්‍රියාවක්, එම නිසා මම ද ඒ ලෝක

සම්මත ක්‍රියාව මඟ නොහැර

කරන්නෙමියි සිතා දන් දෙයි. එම

දානය ද මහත්ඵල මහානිසංස

නොවේ.

 

3. යම් පුද්ගලයෙක් අපගේ මව්පියන්

මුතුන් මිත්තන් විසින් පෙර සිටම

දන් දෙන ලදී. පෙර සිටම අපේ

පරම්පරාවේ අය දන් දුන් නිසා

මමත් ඒ සිරිත කඩ නොකොට

පුරාණ කුලවංශයට අයත් චාරිත්‍ර

ධර්ම ආරක්ෂාකර ගනිමියි

අදහසින් දන් දෙයි. එම දානය ද

මහත්ඵල මහානිසංස නොවේ.

 

4. යම් පුද්ගලයෙක් ‘මම නම්, මම

කැමති කැමති ආහාර උයාගෙන

කමි. මොවුහු ආහාර නොපිසිති.

ආහාර පිසින්නා ආහාර

නොපිසින්නන් හට නොදීම

නොගැළපෙන දෙයකි’ යි සිතා

අනුග්‍රහය පිණිස අනුකම්පාවෙන් දන් දෙයි. එම දානය ද මහත්ඵල මහානිසංස නොවේ.

 

5. පුරාණයේ සිටි සෘද්ධිවරු මහා යාග

කළේ ය, දන් පැන් පූජා කළේය

ආදී වශයෙන් අතීතයේ සිටි

දානපතියන් පිළිබඳ සිතමින් ඔවුන්

හා සම වීමේ අදහසින් ඇතැම්

පුද්ගලයෝ දන් දෙති. එම දානය

ද මහත්ඵල මහානිසංස නොවේ.

 

6. දන් දුන් පසු මාගේ සිත ප්‍රසන්න

වන්නේ ය. සිත ප්‍රසන්න වීමෙන්

පසු සොම්නස උපදියි. එම නිසා

දන් දෙමියි ඇතැම් පුද්ගලයෝ දන්

දෙති. එම දානය ද මහත්ඵල

මහානිසංස නොවේ.

 

ඉහත සඳහන් මුල් කාරණාවන් හයටම තෘෂ්ණාව හේතු වී ඇති නිසා ඔවුන් චාතුම්මහාරාජික දෙවියන් අතර උපත ලැබූව ද තෘෂ්ණාව මූලිකව දන් දුන් නිසා උපාදානය ද උපාදානය නිසා භවය ද භවය නිසා උපත ද සිදුවන නිසා නැවත නැවතත් සසර ගමනට වැටෙති.

 

මහත්ඵල මහානිසංසවන දානය

 

7. යම් පුද්ගලයෙක් දානය සමථ විදර්ශනා භාවනාවන්ට උපකාරවන චිත්තාලංකාරයකි. සිතේ දියුණුවට උපකාරයකියි සිතා දන් දෙන්නේ නම් එම දානය මහත්ඵල මහානිසංස වේ.සත්වැනි කාරණාවට අනුව තෘෂ්ණාදී සිතෙහි හටගන්නා කෙලෙස් යටපත් කොට සමථ විදර්ශනා වැඩිමේ අදහසින් දන් දී සිත පිරිසුදුභාවයට පත් කරගෙන ධ්‍යාන ද ආර්ය මාර්ගය ද උපදවාගෙන බ්‍රහ්මලෝකයේ උපදී. එහි ඉපිද ඒ කර්ම විපාකය ගෙවා අනාගාමි තත්ත්වයට පත්ව සසර ගමන කෙළවර කරයි.

 

දන් දුන් පමණින්ම දිව්‍ය ලෝකයේ උපත ලැබූව ද බ්‍රහ්ම ලෝකයේ දන් දුන් පමණින්ම ඉපදිය නොහැක. දන් දී බ්‍රහ්මලෝකයේ උපත ලබන්නට නම් එම දානයෙන් කෙලෙස් යටපත් කොට සමථ විදර්ශනා වඩා ගත යුතු වේ.

 

දානය සෑම ආගමකම උගන්වනු ලබන සෑම රටකම මිනිසුන් සිදු කරන යහපත් වූ ක්‍රියාවකි. බුදු දහම හැරුණූ කොට අනිත් සෑම ආගමකම උගන්වනු

ලබන්නේ දානාදී පින්කම් කොට සසර සැප විදීමයි. බුදු දහමේ දානය උගන්වනු ලබන්නේ තෘෂ්ණාදී අකුසල චෛතසිකයන් නැති කොට සසර ගමන

නැවතීමටයි. සසර ගමන නැවැත්මට නම් මෙම සූත්‍රයේ සඳහන් සත්වැනි කාරණාවට අනුව දීමනාව පුරුදු පුහුණූ කරන්න.

 

( අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා යඤ්ඤ වග්ගයේ දාන මහප්ඵල සූත්‍රය)

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.