මිනිස් ලොවට පැමිණි දිව්‍යාංගනාව

ජුනි 24, 2024

 

මේ කතාව ආරම්භ වෙන්නේ තව්තිසා දිව්‍ය ලෝකයෙන්. තව්තිසා දෙව්ලොව මාලාභාරී නම් දිව්‍යරාජයකු ඉපිද සිටියා. ඉතාමත් රූපත් ආලෝකයෙන් බබළන බොහෝම පුණ්‍යවන්ත දිව්‍යරාජයෙක්. දිනක් මේ දිව්‍ය රාජයා තමන්ගේ දිව්‍යාංගනාවන් සමඟ දිව්‍යමය මල් උයනට ගිහින් විනෝද ක්‍රීඩා කරන්නට වුණා.

සමහර දිව්‍යාංගනාවෝ මල් නෙළනවා. සමහර දෙවඟනන් මල්වලින් අලංකාර මාලා ගොතනවා. සමහරු දිව්‍යරාජයාව මලින් සැරසීම, දිව්‍යරාජයාට මල් පැලඳවීම සිදු කරනවා. එම පන්සියයක් දිව්‍යාංගනාවන් අතර ආයු ගෙවී ගිය එක දිව්‍යාංගනාවක් හදිසියේම චුත වුණා. ඈ සැවත් නුවර එක්තරා කුල ගෙයක මවකගේ කුස පිළිසිඳ ගත්තා. දසමාසය ගෙවී ගිහින් ඈ මේ ලෝකයට ලස්සන දියණියක් විදිහට බිහි වුණා. ටිකෙන් ටික වැඩෙද්දි ඇයට පෙර පින් බලයෙන් ජාතිස්මරණ ඥානය පහළ වුණා. එතැන් සිට ඈ නිතරම කල්පනා කළේ තමන් කොහොමද නැවත තමන්ගේ දෙව්ලොවට යන්නේ කියලා.

තමන්ගේ දිව්‍ය ස්වාමියා තමන් එනතුරු දුකින් වේදනාවෙන් බලා සිටිනු ඇතැයි ඇයට සිතුනා. ඉතින් ඇය සෑම මොහොතකම සම්බුද්ධ ශාසනය තුළ පින්කම් කරන්නට නැඹුරු වුණා. මහා සංඝයාට දානය පූජා කිරීම ආදී නොයෙකුත් මහා පින්කම් ඇය විසින් රැස් කරනු ලැබුවා. වයස අවුරුදු දාසයක් පිරුණහම ඈ විවාහ ජීවිතයටත් පිවිසුණා. විවාහ ජීවිතයට පත් වූ පසුවත් ඈ දානමානාදී නොයෙකුත් පින්කම් කරමින් නිරන්තරයෙන්ම තමන්ගේ ස්වාමියා ළඟ උපදින්නටම හේතු වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළා.

මෙම උපාසිකාව කුමන පින්කමක් කළත් තමන්ගේ ස්වාමියාවම ප්‍රාර්ථනා කරමින් එම පින්කම සිදු කරන නිසා මහා සංඝරත්නය විසින් මේ උපාසිකාව පතිපූජිකාව වශයෙන් නම් කරනු ලැබුවා.භික්ෂූන් වහන්සේලාට සලාක දානය පූජා කිරීම, ආසනශාලාවන් සූදානම් කිරීම, උදෑසනින්ම විහාරයට පැමිණ පැන් ආදිය ගෙනවුත් පුරවා තැබීම, විහාරය අවට සහ ධර්මශාලා ආදිය සුද්ධ පවිත්‍ර කිරීම, භික්ෂූන් වහන්සේලාට ගිලන්පස ආදිය පිළියෙල කරදීම ඈ ඉතා ශ්‍රද්ධාවෙන් සිදු කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත්, මහා සංඝරත්නයටත් දානය පූජා කරන්නට පැමිණෙන බොහෝදෙනා ඇයගේ ද සහාය ලබාගෙන ඒ දානයන් සාර්ථකත්වයට පත්කර ගන්නට හුරුපුරුදු වී සිටියා. එසේ අන්‍යයන්ගේ දානයන්ට පවා උදව් උපකාර කරමින් ඈ අප්‍රමාණ කුසල ශක්තියක් රැස් කර ගනු ලැබුවා. මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගතවෙලා ගියා. ඇයට පුණ්‍යවන්ත දරුවෙකුද ලැබුණා. ඒ දරුවා දුව ඇවිදින කාලයේදී දෙවන දරුවෙක්ද ,එම දරුවා දුව ඇවිදින කාලයේ තවත් දරුවෙක්ද වශයෙන් දරුවන් සතර දෙනෙක්ම ඇය බිහිකළා. ඈ දැන් පුතුන් සතර දෙනෙකුගේ මවක්.

ඉතාම සෙනෙහසින් තමන්ගේ සැමියාටත් දරුවන් සිව්දෙනාටත් යුතුකම් ඉටුකරමින් ඈ පින්දහම්වල යෙදුනා. මැදිවියට පත් වෙද්දී ඒ දරුවන්ගේ යුතුකම් ද ඈ තම ස්වාමියාගේ සහාය ද ඇතිව ඉටුකර දුන්නා.

ටිකෙන් ටික ඈ වියපත් බවට පත් වුණා. නමුත් භික්ෂූන් වහන්සේලාට සිදු කරන සංඝ උපස්ථානය ඇය විසින් කිසි දිනක මග ඇරගත්තේ නැහැ. දැන් ඇයට වයස අවුරුදු සීයක්. ඒත් ඈ පෙර පින් බලෙන් බොහෝම නිරෝගීමත් වීර්යයවන්ත ශ්‍රද්ධාවන්ත කාන්තාවක් විදිහට භික්ෂූන් වහන්සේලාට දාන මානාදියෙන් උපස්ථාන කරනවා.ජීවිතයට මරණය එන්නෙ නොදන්නම දවසක. නොදන්නම විදිහට, නොදන්නාම ක්‍රමයකින්. මරණයට පත්වෙන බොහෝ දෙනෙක් එදා දවසේ තමන් මරණයට පත්වෙනවාය කියලා නිකමටවත් දැනගන්නෙ නැහැ. පතිපූජිකා උපාසිකාවගේ ජීවිතයටත් ටිකෙන් ටික මරණය ළඟා වෙලා තිබුණා. නීරෝගී ජීවිතයක් ගත කළ ඈ එදත් විහාරස්ථානයට ගිහින් ආසන ශාලාව බොහෝම උවමනාවෙන් සුද්ද පවිත්‍ර කළා. භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් පරිභෝග කිරීම සඳහා පැන් ගෙනැවිත් ඒ ඒ භාජනවල පුරවා තැබුවා. ආසන ද සුදුසු පරිදි පවිත්‍රව පනවනු ලැබුවා. ඉතාම ශ්‍රද්ධාවෙන් පිළියෙල කළ දානයත්, පිටතින් ගෙනැවිත් තිබූ දානයත් භික්ෂු සංඝයාට පූජා කරනු ලැබුවා. එදා නිවසට පැමිණි ඈ සවස් කාලයේ හදිසියේම හටගත් රෝගයකින් මරණයට පත්වුණා. ජීවිතය තුළ සිදු කරගත් මහා පුණ්‍ය බලය හේතු කරගෙන ඇය ප්‍රාර්ථනා කළ ආකාරයෙන්ම මල් නෙළමින් සිටි මාලාභාරී දිව්‍යරාජයාගේ දිව්‍යාංගනාවන් අතර ඕපපාතිකව සුන්දර දෙවඟනක්ව නැවත උපත ලැබුවා.

මාලාභාරී දිව්‍යරාජයා ඇයව උදෑසන සිට බොහෝ වේලාවක් නොදුටු නිසා ඇගෙන් මෙසේ විමසුවා.

"නුඹව උදෑසන සිට මම දුටුවේ නැහැ නුඹ කොහේ ගියාද?"
"ස්වාමීනි මාගේ ආයුෂ ගෙවී ගිහින් මම මරණයට පත්වුණා."
දිව්‍ය රාජයා නැවතත් ප්‍රශ්න කළා.
"එතකොට නුඹ කොහෙද උපත ලැබුවේ?"
"ස්වාමීනී මම මිනිස් ලොව සැවැත් නුවර එක් කුල ගෙදරක උපත ලැබුවා. සොළොස් වියට පත් වෙලා විවාහ ජීවිතය ද පිවිසුණා. ඒ විවාහය නිසා පුතුන් සතර දෙනෙක්ද බිහි කළා. ඔවුන්ගේ යුතුකම් ද වගකීම් ද ඉටුකරන අතරේ මම ත්‍රිවිධ රත්නය ඇසුරු කරමින් බොහෝ කුසල් දහම් රැස් කර ගත්තා. ඒ සෑම කුසල බලයකින්ම මම ප්‍රාර්ථනා කළේ මගේ සැමියා වූ ඔබතුමා ළඟ උපදින්නමයි. ඒ කුසල් බලයෙන් මම මරණයට පත්වෙලා අවසන නැවත ඔබතුමා ගාවම ඕපපාතිකව දෙවඟනක් විදිහට උපත ලැබුවා."

මේ කතාව ඇසූ මාලාභාරී දිව්‍ය පුත්‍රයාට පුදුම හිතුණා. උදෑසන සිට මේ මොහොත වෙනකල්ම මාලාභාරී දිව්‍යරාජයා දෙවඟනන් පන්සියයක් සමඟ උද්‍යාන ක්‍රීඩාවේ යෙදෙනවා. මේ දෙවඟන කියනවා ඈ දෙව්ලොවින් චුත වෙලා මිනිස් ලොව ඉපදිලා විවාහ වෙලා දරුවන් හතර දෙනෙක්ද බිහි කරලා, පින්කම් කරලා මරණයට පත්වෙලා ඉන්පසුව නැවත මෙතන උපන්නාය කියලා. දිව්‍ය රාජයාට ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගන්නට ඕනේ වුණා.

"ඉතින් දෙවඟන මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂ කොපමණද?"

"ස්වාමීනි සාමාන්‍යයෙන් මිනිස් ලොව මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු සීයක් වගේ කාලයක්."

මේ ඇසූ මාලාභාරී දිව්‍යරාජයා බොහෝම සංවේගයට පත්වුණා.

"ඉතින් දෙවඟන මිනිස් ලොව මිනිසුන් බොහෝම අප්‍රමාදීව වාසය කරන්න ඕන නේද? මිනිසෙක්ගේ පූර්ණ ආයු කාලය අපට එකම එක දවසක් පමණයි. ඒ නිසා පවට නැඹුරු වෙලා කෙලෙස්වලට වසඟ වෙලා මිනිස්සු ජීවත් වෙන එක හරිම භයානකයි."

දිව්‍යරාජයා දිව්‍යාංගනාව සමඟ එහෙම අදහස් ප්‍රකාශ කළා. සැවැත්නුවර ජේතවනාරාම වාසි භික්ෂූන් වහන්සේලා සුපුරුදු පරිදිම පසුදා උදෑසන ආසනශාලාවට දානය වැලඳීම පිණිස වැඩම කළා. නමුත් වෙනදා පරිදි එදා ආසන ශාලාව සුද්ධ පවිත්‍ර කරලා තිබුණේ නැහැ. වැලඳීම සහ පරිහරණය කිරීම සඳහා පැන් ගෙනැවිත් පුරවා තිබුනෙත් නැහැ. නිසියාකාරව අසුන් පනවා තිබුනෙත් නැහැ.
ඒ නිසා භික්ෂූන් වහන්සේලා පතිපූජිකා උපාසිකාව කොහේදැයි විමසා සිටියා.

"ස්වාමීනී ඊයේ සවස් කාලයේ ඈ මරණයට පත්වුණා."
යනුවෙන් ඒ පිරිස භික්ෂූන් වහන්සේලාව දැනුවත් කළා.එම භික්ෂූන් වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් පතිපූජිකාව පිළිබඳව තොරතුරු විමසා සිටියා.

ඇය කලින් භවයේ දෙව්ලොව දිව්‍යාංගනාවක් බවත්, උයනෙහි තම දිව්‍යරාජයා සමඟ මල් නෙළමින් සිටියදී චුතවීම සිදුවූ බවත්, ඉන්පසු මිනිස් ලොව උපන් ඈ තම දිව්‍යමය ස්වාමියා ප්‍රාර්ථනා කරමින් නොයෙක් පින්කම් කළ බවත්, එපින් බලයෙන් නැවත මාලාභාරී දිව්‍යරාජයා සමීපයේම දිව්‍යාංගනාවක්ව ඕපපාතිකව උපත ලැබූ බවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කොට වදාළා.

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත්වුණා. බොහෝ භික්ෂූන් වහන්සේලාත් උපාසක උපාසිකාවෝත් සිතා සිටියේ, ඈ පින්කම් කොට ප්‍රාර්ථනා කරන්නේ මෙලොව ඇයගේ ස්වාමිපුරුෂයාව කියායි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ පසුවයි ඔවුන් කාරණය නිවැරදිව තේරුම් ගත්තේ. දෙව්ලොව ආයුෂ සමඟ සැසඳීමේදී මිනිස් ලෝකයෙහි ආයු කාලය ඉතාමත් ස්වල්පයක් බව උන්වහන්සේලාට තේරුම් ගියා. මිනිස් ලොව අවුරුදු සීයක් තව්තිසා දෙව්ලොවට එක් දිනයක්. ඒ දිනයෙන් දින තිහක් දෙව්ලොවට එක් මාසයක්. ඒ මාසයෙන් මාස දොළහක් තව්තිසා දෙව්ලොවට වසරක්. ඒ වසරෙන් අවුරුදු දාහක් තව්තිසා දෙවිවරුන්ට පූර්ණායුෂ තිබෙනවා. මිනිසුන්ගේ අවුරුදුවලින් ගණනය කළහොත් අවුරුදු කෝටි තුනකුත් හැට ලක්ෂයක් ඒ දෙවියන්ට ආයුෂ ලැබී තිබෙනවා. ඒ අනුව සසඳා බැලූ විට මිනිසුන් ජීවත් වන්නේ ඉතාම ස්වල්ප කාලයක්.

මෙහෙම සිතද්දී එම භික්ෂූන් වහන්සේලාට ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳව සිත නැඹුරු වුණා. එහි සිටි උපාසක උපාසිකාවන්ගේත් සිත යථාර්ථය කෙරෙහි නැඹුරු වුණා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කුසල් කිරීමේ අගයත්, කාමයන්හි පවත්නා ආදීනවත් ජීවිතයේ පවත්නා අනියත බවත් කෙලෙසුන්ගේ පවත්නා දරුණු බවත් පිළිබඳව පැහැදිලි කරන්නට වුණා. ශ්‍රාවක පිරිසගේ සිතෙහි කෙලෙස් ටිකෙන් ටික තුනී වෙන්නට පටන් ගත්තා. එවිට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සංසාරයේ පවතින දුක්ඛිත බවත්, තෘෂ්ණාව ඒ සසර දුකට හේතුව බවත්, තෘෂ්ණාව නැති කළ විට උතුම් නිර්වාණය සාක්ෂාත් කළ හැකි බවත්, ඒ තෘෂ්ණාව නැති කරමින් නිවනට පත්වීමට පවතින ප්‍රතිපත්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් පැහැදිලි කරමින් චතුරාර්ය සත්‍යය දේශනා කළා. ඒ උතුම් දේශනාව ශ්‍රවණය කළ භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් මාර්ග ඵලයන්ට පත් වී සතර අපා දුකින් සදහටම මිදුනා.

කුමන බලාපොරොත්තු එක්ක, කුමන ආසාවන් එක්ක අපි ජීවිතය ගත කළත්, අපිට තියෙන්නේ බොහෝම පුංචි ජීවිත කාලයක්. ක්‍රෝධය වෛරය හිතේ තියාගෙන පළිගැනීම් කරමින් ජීවත් වෙන එක හරිම දුක් සහිත භයානක ස්වභාවයක්. කෙලෙස් වලින් පිරුණු ජීවිතය සැනසිල්ලෙන් තොර වූ ජීවිතයක්. නොසන්සිදුනු ජීවිතයක්. අතෘප්තිමත් ජීවිතයක්. එහෙම ජීවිතයක් දුකසේ පීඩනයෙන් ගත කරලා, මරණයට පත්වෙලා නැවත අපි සසර දුකටම වැටෙනවා. නැවත නැවතත් ඉපදෙනවා මැරෙනවා දුක්විඳිනවා.අපිට තියෙන එකම පිහිට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය පමණයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් පමණයි අපට සසර ස්වභාවය නිවැරදිව තේරුම් ගත හැකි වෙන්නේ. කෙලෙසුන් නසන්නට සසරෙන් මිදෙන්නට උපදෙස් ලබාගත හැකි වන්නේ. ඒ නිසා අපට ලැබී තිබෙන ජීවිත කාලය ඉක්මී, ජීවිතය වියැකී යන්නට පෙර අපි හැකිතාක් ශ්‍රී සද්ධර්මයට නැඹුරු වෙලා ජීවිත ඒ ධර්මයට අනුව සකසා ගන්නට උත්සාහ ගන්න ඕනේ. එවිට මෙලොවත් සැනසුනු ජීවිතයක්. මරණින් මතු ජීවිතයත් සැනසුනු ජීවිතයක්. නිකෙලෙස් නිවනටත් ටිකෙන් ටික ළඟා වෙන්නට පුළුවන්කම ලැබෙනවා.

සැනසීමෙන් පිරුණු එවන් සුන්දර ජීවිතයක් ගොඩනඟා ගන්නට ඔබටත් ශ්‍රී සද්ධර්මය තුළින් භාග්‍ය වාසනාව ඒකාන්තයෙන් උදාවේවා !


අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය)

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ