බුදු පහන තැබිය යුත්තේ කුමන දිසාවට ද?

ජූලි 1, 2024

අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ සියලු කෙලෙස් දුරුකොට බුද්ධත්වයට පත් වූ ශ්‍රේෂ්ඨ උතුමෙකි. බුදුන් වහන්සේ පහ වූ රාග, ද්වේෂ, මෝහ ඇති හෙයින් බිය නොවන ස්වභාව ඇති සේක. තැති නොගන්නා ස්වභාව ඇති සේක, පලායන ස්වභාව නැති සේක. (වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’ති.) මෙවැනි ගුණාංගයන්ගෙන් යුත් බුදුන් වහන්සේ තමන් වහන්සේට පුදපූජා පැවැත් වුව ද නොවුව ද තරහ ඇතිකර නොගනී. එහෙත් දෙව් ලොවට අධිපති ශක්‍රයා පහනොවූ රාග, ද්වේෂ, මෝහ ඇති නිසා බියවන ස්වභාව ඇත්තේ ය. තැතිගන්නා ස්වභාව ඇත්තේ ය. පලායන දුවන ස්වභාව ඇත්තේ ය. (අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරුඡම්‌භී උත්‍රාසී පලායීති.) එම නිසා යමෙක් ශක්‍රයාට පුදපූජා පවත්වා නතර කළහොත් තරහ ඇති කර ගනී. දෙවි දේවතාවුන් ද එසේම ය. මෙමඟින් බුදුන් වහන්සේගේ සහ දෙවි දේවතාවුන් අතර වෙනස මනාව පැහැදිලි වේ.

වර්තමානය වන විට කෙලෙස් සහිත දෙවි දේවතාවුන් වෙනුවෙන් භක්තිමත්ව සිදු කරනු ලබන පුද පූජා සහ කෙලෙස් රහිත බුදුන් වහන්සේට සිදු කරනු ලබන පුද පූජාවන් සමානස්ථානයෙහිලා ගෙන සිදු කරන හෙයින් ඇතැමුන් බුදුන් වහන්සේට බුදු පහන තැබීමේ දී ද එය නියමිත පරිදි නිසි වේලාවට සිදු කිරීමට නොහැකි වුවහොත් කරදර සිදුවේ යැයි අධික බියක් දක්වති. නමුත් පෙර සඳහන් කළ පරිදි කෙලෙස් සහිත දෙවි දේවතාවුන් මෙන් කෙලෙස් රහිත බුදුන් වහන්සේ පුද පූජා නොපැවැත්වූවාට කිසි දිනෙක තරහක්, වෛරයක් ඇති කර නොගනී. එහෙත් බුදුන් වහන්සේ සහ දෙවිදේවතාවුන් සියල්ලෝම සමාන යැයි සිතන බොහෝ පිරිස් බුදු පහන තැබිය යුත්තේ කුමන දිසාවේ ද? එය තැබිය යුත්තේ කීයට ද? නිසි පරිදි එය සිදු නොකළහොත් කිලිවලට හසුවේ ද? බුදුන් වඳ නි‍ෙව‌ස තුළ දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින්දීම සුදුසු ද? ආදී ප්‍රශ්න ගණනාවක දෝලනය වෙමින් සිටිති.

 

බුදු පහන තැබිය යුත්තේ කුමන දිසාවේ ද?

ත්‍රිපිටක හෝ අටුවා කිසිම ග්‍රන්ථයක මේ පිළිබඳව සඳහන් නොවේ. එහෙත් වර්තමානයේ ඇතැම් පිරිස් බුදු පහන මේ මේ දිශාවන්හි නොතැබිය යුතු යැයි විවිධ මතවාද ප්‍රචාරය කරති. බුදුන් වහන්සේ, පුද්ගලයා සිදු කරනු ලබන ක්‍රියාවේ ප්‍රතිඵලය තීරණය කරනු ලබන්නේ කරනු ලබන ක්‍රියාව දෙස නිරීක්ෂණය කිරීමෙන් නොව එම ක්‍රියාව සිදු කරන විට සිතෙහි ඇතිවන සිතුවිලිවල ස්වභාවය අනුව ය.

පැරණි චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ සිව් දිශාවේම බුදු පිළිම තැන්පත්කර ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ ද බුදු පිළිමය තැන්පත් කිරීමට නිශ්චිත දිශාවක් නොමැති බවයි. බුදු පහන කුමන දිශාවක තැබුව ද එය සිදු කරන්නේ අපිරිසුදු මනසකින් නම් එහි ප්‍රතිඵලය හීන ය. බුදු පහන කුමන දිශාවක තැබුව ද එය සිදු කරන්නේ පිරිසුදු මනසකින් නම් එහි ප්‍රතිඵලය මහත් ය. මේ අනුව බුදු පහන තැබීමේ දී එය තබන දිශාව නොව සිතෙහි ඇතිවන සිතුවිලි වැදගත් බව මින් පැහැදිලි වේ.

 

එය තැබිය යුත්තේ කීයට ද?

බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීමට නිශ්චිත වේලාවක් නොමැත. එහෙත් බුදුන් වහන්සේට දානය පූජා කරන්නේ නම් එය උදෑසන කාලයේ සහ මධ්‍යහ්නයට පෙර පූජා කිරීම ඉතා සුදුසු ය. ගිලන්පස උදෑසන කාලයේ සහ සන්ධ්‍යා කාලයේ දී පූජා කිරීම සුදුසු ය. පහන් දල්වන්නේ අඳුර දුරු කිරීමට නිසා පහන් පූජා කරන්නේ නම් එය අඳුර තිබිය දී සිදු කිරීම සුදුසු ය. පහන් පූජා කොට, දැල්වෙන පහන් සිලේ සසල බවත්, පහනේ තිරය තිබිය දී තෙල් අවසන් වී නිවී යාම, පහනේ තෙල් තිබිය දී තිරය අවසන් වී නිවී යාම, පහනේ තෙල් සහ තිරය තිබිය දී නිවී යාම, පහනේ තෙල් සහ තිරය අවසන් වී නිවී යාම යන අවස්ථාවන් දැක ජීවිතයේ අනියත බව ඔබ තේරුම් ගත යුතු ය. මල් පූජා කරන අවස්ථාවේ දී ද මල් මැලවී යන්නාක් මෙන් තම ශරීරය ද විනාශ වී යන බවත් මල්වලට වතුර ඉස මැලවීම වළක්වාගත නොහැකි සේ තමාට ද මරණ දුකින් ගැලවිය නොහැකි බවත් සිතිය යුතු ය. එසේ අවබෝධයෙන් මල්, පහන් පූජාව සිදු කරන්නේ ඔබට පහන් දැල් වූ පසු අඳුර දුරුවන්නාක් මෙන් සංසාරයේ අඳුර ද දුරුකර ගත හැකි වනු ඇත.

 

නිසි පරිදි එය සිදු නොකළහොත් කිලිවලට හසුවේ ද?

බුදු දහම කිසි ලෙසකත් කිල්ල යන්න පිළිනොගනී. මන්දයත් බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ හෙයිනි. නි‍ෙවසේ කාන්තාවන් ඔසප් වූ දිනයේ දී බුදුන්ට පුද පූජා නොපැවැත්විය යුතු බව ඇතැමුන්ගේ මතයකි. එවැනි මත බුදු දහමේ ඉගැන්වීම නොවන අතර එවැනි මත බ්‍රාහ්මණ ඉගැන්වීම් බව සිතෙහි තබා ගත යුතු ය. බුදු දහම චේතනාව අනුව පින - පව, කුසලය - අකුසලය තීරණය කරන හෙයින් ජීව විද්‍යාත්මකව සිදුවන ඔසප් වීම වැනි සාධක

බුදුන්ට පුදපූජා පැවැත්වීමට බාධාවක් නොවන බව පැහැදිලි වේ.

 

බුදුන් වැද නි‍ෙව‍‌ස තුළ දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින්දීම සුදුසු ද?

දසපුණ්‍ය ක්‍රියාවන්හි පින් අනුමෝදන් කිරීම පත්තානුමෝදනා යනුවෙන් හඳුන්වයි. පින යනු සිතෙහි ඇතිවන පිරිසුදු වීමයි. සිත පිරිසිදු වීමට නම් සිතෙහි ඇති ලෝභාදී කෙලෙස් යටපත් වී අලෝභ ආදී කුසල් සිතුවිලි ඇති විය යුතු ය. බුදුන් වහන්සේට පුදු පූජා පැවැත්වීමේදීත් ඔබගේ සිතේ ඇති අකුසල සිතුවිලි යටපත් වී කුසල් සිතුවිලි මතුව සිත පිරිසුදු වන්නේ නම් ඒ තුළින් පිනක් ලැබේ. එම පින ඔබට දෙවියන්‌ට මියගිය ඥාතීන්ට අනුමෝදන් කළ හැකි ය. ඔබ කළ පින අනුමෝදන් වීමට නම් ඔවුන් ද ඔබ කළ පින්කම දැක සිතේ පිරිසුදු භාවය ඇති කර ගත යුතු ය.

නි‍ෙවස තුළ දෙවියන්ට, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් නෙකළ යුතු බව ඇතැමුන්ගේ මතයකි. එම මතයට හේතුව කුමක්දැයි ඔවුනුත් නොදනී. ඔබ පිනක් සිදු කළ පසු එය දෙවියන්ට, මියගිය ඥාතීන්‌ට අනුමෝදන් කිරීමට නිශ්චිතව ඒ සඳහාම වෙන් වූ ස්ථානයක් නොමැත. එම නිසා නි‍ෙවස තුළ ඔවුන්‌ට පින් අනුමෝදන් කිරීමේ වරදක් නොමැත. නි‍ෙවසේ සිට වුව ද ඔබ පින් අනුමෝදන් කරන විට ඔවුන්ටත් එය අනුමෝදන් විය හැකි නම් ඔවුන් එය අනුමෝදන් වනු ඇත.

එමෙන්ම නූතනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගෘහ අලංකාරයට යොදා ගන්නා ආකාරයත් සුලබව දැකිය හැක. බුදුන් වහන්සේ යනු ප්‍රදර්ශන භාණ්ඩයක් නොවන නිසා එවැනි දෙයින් වැළකීම බුද්ධිගෝචර ය.

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ