ඔබේ නි‍ෙවස ලෝකයේ “සුන්දරම තැන” කරගන්න

ජූලි 8, 2024

 

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සාර්වකාලීන ය. එය පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතයේ සුභ සිද්ධිය පිණිස හේතු වේ.

 

සමාජයේ කුඩාම එ්කකය වන්නේ පවුල යි. පවුල් සංස්ථාව බිඳ වැටණහොත් මුළු සමාජ පද්ධතියම බිඳ වැටේ. එම නිසා පවුල් සංස්ථාව බිඳ නොවැටෙන ලෙස ස්ථාවරව පවත්වා ගෙන යා යුතු ය. ආර්ථිකයෙන් මහත් තත්ත්වයට පැමිණි යම් පවුලක් පිරිහීමට පත් වීමට බලපාන කරුණු සතරක් බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ කුල සුත්‍රයේ දී දේශනාකර ඇත. එම කරුණු සතර මෙසේ ය.

 

i. නැති වූ දේ පිළිබඳ සොයා නොබැලීම

ii. දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය නොකිරීම

iii.ආහාරපානයන්හි අසීමිත ගිජුකම

iv.නොහික්මුණූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නි‍ෙවසේ අධිපති වීම.

 

නැති වූ දේ පිළිබඳ සොයා නොබැලීම.

කාමභෝගී ගිහියාට ණය වීම දුකකි. ණය නොවී ජීවත්වීමට නම් උත්සාහයෙන් වීර්යෙන් බාහු බල ශක්තිය යොදවා දහඩිය මහන්සිය වගුරවා ධාර්මිකව ධනය ඉපැයිය යුතු ය. එමෙන්ම රැස් කරගත් ධනය අනවශ්‍ය ලෙස විනාස වෙන්නට නොදී ආරක්ෂා කර ගැනීම ද කළ යුතු ය.

 

නිවෙස්වල තිබෙන යම් යම් බඩු බාහිරාදිය අසල්වාසීන් ඉල්ලාගෙන යාම, හුවමාරුකර ගැනීම සුලබ කරුණකි. ඉල්ලා ගත් බඩු බාහිරාදිය උවමනාවෙන්ම අමතක කොට නැවත නොදීම ද ඇතමුන්ගේ ලක්ෂණයයි. එමෙන්ම නිවැසියන් ද ඇතැම් බඩු බාහිරාදිය පාවිච්චිකර ඒවා නිසි තැන නොතැබුවහොත් ඒවා අස්ථානගත විය හැකි ය.

කල්ගතවීමේදී ඒ ඒ භාණ්ඩ සොයාගැනීම අපහසුවන හෙයින් නි‍ෙවසේ ඇති වටිනා බඩු බාහිරාදිය පිළිබඳව දිනපතා සොයා බැලි ය යුතු ය. ඔබේ නි‍ෙවසේ බඩු බාහිරාදිය නැති නොවීමට යෙදිය හැකි උපක්‍රමයක් ලෙස, අසල්වැසියකුට යම් දෙයක් දෙන්නේ නම් ඒවා සටහන් කරගෙන ලබාදීම, එම කටයුත්ත අවසන් වූ විට නැවත සොයා බලා එය නැවත ගෙන්වා ගැනීම ආදිය පෙන්වා දිය හැකිය.

 

නි‍ෙවසේ ඇති මුදල්, රන්, රිදී, මුතු මැණික් ආදී වටිනා දේ නැතිවන්නේ නම් එයට ද හැකි ඉක්මනින් හේතු සොයා බලා එම හේතුන් නැති කළ යුතු ය. එසේ නොවුවහොත් නැවතත් එම බඩු බාහිරාදිය මිලට ගැනීමට සිදුවන හෙයින් නි‍ෙවසේ ආර්ථිකය පිරිහෙනු ඇත.

 

දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය නොකිරීම

ලෝකයේ පවත්නා සජිවී හා අජිවී සෑම දෙයකම ස්වභාවය වන්නේ ඇතිවීම, පැවතීම හා නැතිවීමයි. සජිවී හා අජිවී වස්තූන්ගෙන් නඩත්තු කළ හැකි, අලුත්වැඩියා කළ හැකි දේවල් නඩත්තු කිරීමෙන් හා අලුත්වැඩියා කිරීමෙන් බොහෝ කාලයක් භාවිත කළ හැකි වේ.

අපගේ ශරීරය වුව ද නිසි පරිදි නඩත්තු කළ යුතු ය. නිදසුනක් ලෙස අපගේ මුඛයේ ඇති දතක් දිරා ගොස් ඇත්නම් කැඩී ඇත්නම් එම දත පිළිබඳව සැලකිලිමත්වී ගලවා දැමීම හෝ පුරවා දැමීම මුල් අවස්ථාවේ දීම සිදු කළ යුතුය. එසේ නොවුනහොත් සියලුම දත් විනාශ වී යා හැකිය. එක් දතක් පිරවීමට රුපියල් පන්දහසක් යන්නේ නම් ඒ පිළිබඳ මූලික අධියරේදී ම පිළියමක් නොකළේ නම් රුපියල් ලක්ෂ ගණනක් ඒ සඳහා නිකරුනේ වියදම් කිරීමට ද සිදු විය හැකි ය.

 

නි‍ෙවසේ වහල දිරා ගිය විටෙක වුවත්, දොරක්, ජනේලයක් කැඩි ඇති අවස්ථාවක වුවත් මුල් අදියරේදීම එය ප්‍රතිසංස්කරණය කළ යුතුය. එසේ නොවුවහොත් ඒ සියල්ලම ක්‍රමයෙන් විනාශ වී විශාල මුදලක් වියදම් කිරීමට සිදු විය හැකිය. වාහනයක වුවත් නිසි පරිදි අලුත්වැඩියා කිරීම කළ යුතුය.

 

කුමන දෙයක් වුවත් නිසි පරිදි සුදුසු කාලයේදී අලුත්වැඩියා නොකරන්නේ නම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් එය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වනු ඇත. එසේ වුවහොත් නැවතත් එම දේවල් මිලට ගැනීමට සිදුවන හෙයින් නි‍ෙවසේ ආර්ථිකය පිරිහෙනු ඇත.

 

ආහාරපානයන්හි අසීමිත ගිජුකම

සියලු සත්ත්වයෝම ආහාරයෙන් යැපෙන අතර කුසගින්න යනු මනුස්සයා පෙළෙන බරපතළම රෝගයයි. එහෙත් ප්‍රත්‍යාවේක්ෂා කොට ආහාරයෙහි පමන දැන සිහියෙන් ආහාර ගත යුතු බව බුද්ධ දේශනාවයි.

 

ආහාරයෙහි පමණ දැන අනුභව කිරීම‌ට පුරුදු නොවීම නි‍ෙවසක ආර්ථික පරිහානියට සෘජුවම බලපායි. ඒ මන්ද? විවිධ ආහාරපානවලට ගිජු වී සීමාවකින් තොරව ආහාර ගතහොත් ඒ ආහාර මිල දී ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදු වේ. එපමණක් නොව ආහාරයේ ගිජුකම නිසා විවිධ ලෙඩ රෝග ඇතිවේ. එවිට ජීවිතාන්තය දක්වාම බෙහෙත් ගැනීමට සිදුවන නිසා ඒ සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. කායික වශයෙන් ද දුර්වලවන නිසා එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට ද අපහසු වේ. එවිට වෙනත් පුද්ගලයෙකුගේ උදවු ලබා ගැනීමට සිදුවන නිසා එයට ද මුදල් වියදම් කිරීමට සිදු වේ. මෙසේ ආහාරයේ ගිජුකම නි‍ෙවසේ ආර්ථිකය පිරිහීමට බලපාන ආකාරය පැහැදිලි වේ. නොහික්මුණු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නි‍ෙවසේ අධිපති වීම.

 

නොහික්මුණු පුද්ගලයා යනු සීලයෙන් තොර පුද්ගලයාය. ඔවුන් පහසුවෙන්ම දුෂ්චරිත ක්‍රියාවන්ට යොමුවේ. එම නිසා යම් නි‍ෙවසක නොහික්මුණු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධිපතීත්වයට පත්වුවහොත් ඔහුගේ දුෂ්චරිත ක්‍රියාවන් නිසා සියලුම ධනය, වස්තුව විනාශ වෙයි. බුදුන් දවස සිටි මහධන සිටුපුත්‍රයාගේ පුතාගේ කතා පුවත මීට නිදසුන්ය. අසූ කෙළක් ධනය තිබූ මහධන සිටුවරයාගේ පුතා එවැනිම

 

අසූ කෙළක් ධනය ඇති ස්ත්‍රියක් විවාහකර ගත්ත ද අවසානයේදී පාරේ සිඟමනට වැටුණි.

 

එයට හේතුව වූයේ දෙදෙනාම සුරා සූදුවට ඇබ්බැහිවීමයි. නූතනයේ ද ඇතැම් පවුල් මෙසේ විනාශ වී යන අයුරු දක්නට ලැබීම ඉතා කනගාටුදායක ය.

 

එබැවින් පවුල් ජීවිතයක් ගත කරන සහ ගත කිරීමට බලාපොරොත්තුවන ඔබ කුල සූත්‍රයේ සඳහන් මෙම කාරණා 04 පිළිබඳ නිරන්තර අවධානය යොමු කොට ඒවායින් වැළකී කටයුතු කරන්න. එවිට ඔබට ඔබේ නි‍ෙවස “සුන්දරම නි‍ෙවස” බවට පත් කරගත හැකි ය.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.