වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පුංචි තල කැරැල්ලකින් ජීවිතය ජයගත් මයුරි
රුව ඇති දුවක් කට ඇති පුතුත් නිවෙසට වාසනාවකි. මේ කියමනට අර්ථකථන බොහෝය. ඇත්තෙන්ම දියණියක් නිවෙසට සිරියාවකි. මල් මල් ගවුම් පොඩිත්තක් අන්දවා පාට පාට කොණ්ඩ කටුවලින් හිස සරසා හැඩ බලනකොට හරිම ආදරණීයයි.
දූ පැටික්කියක් උපතින්ම සියුමැලියි. හුරුබුහුටියි. පුතකුගේ ඇති ශක්තිමත් බව ඇයගෙන් බලාපොරොත්තු නොවේ. එහෙත් පුතකු සේම හිතේ ශක්තියක් ගතේ සවියක් ගොඩනඟා ගත් දූවරු අපේ රටේ නැතුවාම නොවේ.
මීරිගම පුරවරයේ පුරන් කුඹුරු අස්වද්දන දියණිය ද එවන් විශිෂ්ට අයෙකි. ඒ විතරක් නොවෙයි අද දිරියට සවියක් විශේෂාංගයෙන් ඔබට හඳුන්වා දෙන මාතර මයුරි ශර්මිලාත් සැබෑම දිරිය දියණියකි.
“මම රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව විශේෂවේ දී උපාධිය හදාරනවා. විශ්වවිද්‍යාල වරම් ලැබුවාම මගේ අම්මටත් තාත්තටත් දැනුණු සතුට මෙතෙකැයි කියන්න බැහැ. ඒ දෙන්නම අසනීප තත්ත්වයෙන් පසුවෙන්නේ. මගේ උසස් පෙළ අධ්‍යාපනය සුබාවාදී වෙයි කියලා අපි කවුරුත් හිතුවෙ නැහැ. ඒ තරමටම ගෙදර අඟහිඟකම්. කිසිම ආර්ථික සවියක් නැති අපේ ගෙදරින් අමතර පන්ති යන්න මුදල් ඉල්ලන්න මට බැහැ. අනෙක් ගැහැනු ළමයින්ට වගේ ලස්සනට අඳින්න පලඳින්න, මේක්අප් දාන්න මුදල් වියදම් කරන එක මට හීනයක්. ඒත් මම වැටුණෙ නැහැ. කොහොමහරි හැමදේම ගොඩදාගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා.
මගේ අම්මාට කැවිලි හදන්න පුළුවන්. ගමේ ගෙවල්වල විශේෂ අවස්ථාවලදී කැවිලි ඇණවුම් ලැබුණේ අම්මාට. මේ අතර මාත් බෙලිඅත්තේ ලොකු අම්මලාගේ නිවෙසට යාබද ගෙදරක තල කැරැලි ඔතන්න ගියා. එක තල කැරැල්ලකට ලැබුණේ සත තිහයි. ඒ 2016 වර්ෂයේ. මම එහිදී තල ඔතන්න, තල කපන්න, ටිෂූ කපන්න, ලේබල් ගහන්න මේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. අන්තිමේදී මට හිතුණා මමත් මෙවැනි දෙයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා.
ඒ අනුව පිටබද්දර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් මාතර කුඩා ව්‍යාපාර අංශයට සම්බන්ධ වුණා. මගේ අවශ්‍යතාවය ඔවුන් හඳුනාගත්තා. මුලින්ම අවශ්‍ය අමු ද්‍රව්‍ය ගන්න ස්වශක්ති ණය පහසුකම ලබාදුන්නා. කැවිලි නිෂ්පාදනය පිළිබඳ පුහුණු ලබා දී ව්‍යාපාරය සැලසුම් කරන්න අපූරු සහයක් ලබාදුන්නා. නව්‍ය තාක්ෂණික සේවා, සන්නාම ප්‍රවර්ධනයට උපදෙස් රැසක් ලැබුණා. ඒ අනුව අංක 146/2 දෙහිගස්ප, පිටබැද්දර මගේ නිවෙසේ ලිපිනයට ‘ෂර්මි ස්වීට් හවුස්’ මගේම නමින් ලියාපදිංචි කළා. මේ හැමදේම වන්නේ විශ්වවිද්‍යාල ඉගෙනුම අතරතුරයි. විභාග තියෙන කාලෙටත් ඇණවුම් භාරගන්නවා. නැතිනම් විභාගයට යන්නවත් මුදලක් නැහැ. මුළු රාත්‍රිය පුරාම තල කැරැලි හදලා උදේම ඇණවුම සම්පූර්ණ කර විභාගයට මුහුණ දුන් අවස්ථා එමටයි. ඒත් ඉහළ සාමාර්ථවලින් අඩුවකුත් නැහැ.
අම්මාගේ, තාත්තාගේ බේත්හේත්වලට අවශ්‍ය මුදල් වගේම සම්පූර්ණ පවුලට වියහියදම් හොයාගන්නේ මේ පුංචි තල කැරැලි නිෂ්පාදනයෙන්. මේ වනවිට මසකට සැලකිය යුතු ආදායමක් මා ලබනවා. අන්තර්ජාල පහසුකමින්
හැම තැනින්ම ඇණවුම් ලැබෙනවා. මමයි අම්මයි හදන තල කැරැලි පාරිභෝගිකයා වෙත ගෙනයන්නේ තාත්තා. මේක දැන් අපේ පවුලේ ව්‍යාපාරයක් වෙලා. ලැබෙන මානසික සතුට නිසාම අම්මයි, තාත්තයි දැන් නිරෝගියි.
පුංචිම පුංචි තල කැරැල්ලක් මගේ ජීවිතය වෙනස් කළා. අද අපේ පවුලම සතුටින්.