පාළුව තනිකම මකාලන්න ඇරැඹූ ස්වයං රැකියාව නම ගිය ව්‍යාපාරයක් බවට පත් කර ගත් පානදුර චතුරි

නොවැම්බර් 4, 2020

මම ඉපදුණේ කුවේට්වල. ඒත් මම ශ්‍රී ලාංකිකයි. මගෙ අම්මා තාත්තා ශ්‍රී ලංකාවේ අය. ඔවුන් කුවේට් රටේ එයාලගෙම සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන ගියා. අයියයි මමයි ඉපදුණේ එහිදී. ඒත් අම්මාටයි තාත්තාටයි අපිට ලංකාවේ ඇති දැඩි කරන්න ඕන වුණා.

ඒ නිසා 1989 වසරේදී අම්මයි තාත්තයි අපිව අරන් ලංකාවට ආවා. ඒ ශ්‍රී ලංකාවේ පාසලකට අපිව යොමු කිරීම සඳහායි. මම පානදුර බාලිකාවට සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමයට ඇතුළත්ව අධ්‍යාපන කටයුතු කළා. උසස් පෙළ කලා අංශයෙන් සමත්.

පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවට යොමුවුණා. සුළු කාලයක් එම රැකියාව කර ඉවත් වීමට සිදු වුණා. පසුව තවත් පෞද්ගලික ආයතනයක වසර 9ක් රැකියාව කළා. මේ අතර මගෙ අම්මාගෙ යෙහෙළියකගේ පුතකුගෙන් විවාහ යෝජනාවක් ආවා. ඔහු රනෝෂ් ද සිල්වා. මා හොයන ගති ගුණ, ඇවතුම් පැවතුම් සියල්ල ඔහු සතුයි. එබැවින් එම යෝජනාවට මා කැමැති වුණා. අපේ විවාහය ඉක්මනින්ම සිදු වුණා විවාහයෙන් පසුව මා සැමියාගේ නිවෙසේ පදිංචියට ගියා. ඔහු මා තවදුරටත් රැකියාවක නිරත වනවාට කැමැති වූයේ නැහැ. ඒ නිසා මට රැකියාවට සමුදෙන්න සිදුවුණා. විදෙස් රටක ව්‍යාපාරිකයකු ලෙස සේවය කරන ඔහු විවාහයෙන් අනතුරුව යළිත් විදෙස් ගත වුණා.

සැමියාගේ නිවෙසේ හිටියේ අම්මා සහ තාත්තා පමණයි. අයියයි මල්ලියි හිටපු පවුලක එකම දියණිය ලෙසින් ආදරණීයව හැදුණු වැඩුණු මට එහිදී පාළුව තනිකම වඩාත් දැනුණා. එබැවින් මා නිවෙසේදීම කළ හැකි යම් ස්වයං රැකියාවක් පිළිබඳ සොයා බැලුවා. එහෙම සොයන අතර තමයි මට ඇඳුම් විලාසිතා ගැන සිත ගියේ. ඒ අනුව මා අන්තර්ජාලය භාවිතයෙන් ෆැෂන් ඩිසයිනර් පිළිබඳ මාස 6-7 ක් පමණ දැනුම එකතු කර ගත්තා. කියන්න සතුටුයි මහන මැෂිමක් ගැන කිසිම අවබෝධයක් නොතිබුණු මට හොඳට මහන්න දැනුම ලැබුණා. ඒ ලබපු දැනුම මට මහමෙරක්. මේ විදිහට රාත්‍රි 9 සිට පාන්දර 3.00 විතර වෙනකල් මා නිමි ඇඳුම් පිළිබඳ දැනුම ලබා ගත්තා.

 

විශේෂ ස්තූතිය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ පී. කේ. පතිරණ මහතාට

 

2020/11/04 තරුණි පුවත්පත බලන්න