වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වැටුණු හැමතැනකදීම මට පිහිටවුණේ මගේ දෑතේ වීර්යයයි
ඇය වර්ජිනියා රෝස්. මේ නම තරුණී පාඨක ඔබට බොහෝ ළෙන්ගතුයි. ඒ ඇය තරුණී පුවත්පත ඔස්සේ ඇඳුම් නිර්මාණ උපදේශිකාවක ලෙසින් නිරතුරුවම අත්වැල් බැඳගෙන සිටින බැවිනි.
මේ වන විට අපේ රටේ සුවහසක් කතුන්ට ආර්ථිකය සවිමත් කරගැනීමට අවැසි වටපිටාවක් ගොඩනංවාලීමට මැහුම් ශිල්පයේ ගුරුහරුකම් කියන ඇයද සැබෑම දිරිය කාන්තාවකි.
පුරා 25 වසරක් තිස්සේ කාන්තා ඇඳුම් පුහුණු උපදේශිකාවක ලෙසින් මෙලෙස කටයුතු කරන ඇය රෝසමල් යහනාවකින් පැමිණි ගමන්මඟක හිමිකාරිණියක් නම් නොවෙයි. ජීවිතයේ ගැහැනියක විසින් විඳී දුක් ගැහැට සියල්ලක්ම පාහේ විඳ දරාගනිමිනුයි. අද යම් ස්ථාවරයකට පැමිණ තිබෙනුයේ. ඇගේ දිරිය කතාව ඔබට ශක්තියක් වනු පිණිස මෙසේ සටහන් කරන්නෙමු.
"දියණියක්ව උපන් මම මව්පිය සෙනෙහස ලබන්න පිං කරලා නැහැ. මම පුංචි කාලෙදිම මගේ අම්මයි තාත්තයි වෙන්වෙලා. එදා පටන් මා ඇතිදැඩි කළේ නුවර මගේ ආච්චි අම්මා. ඇය මට අම්මගේ ආදරයත්, තාත්තගෙන් ලැබිය යුතු ආරක්ෂාවත් දුන්නා. ඒත් ආච්චි අම්මාට මාව ජීවත් කරන්න හරිහැටි ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. අපි දෙන්නා නොවිඳීනා දුක් වින්දා. ඉන්නහිටින්න ස්ථිර නිවෙසක්වත් තිබුණේ නැහැ. ආච්චි අම්මායි මායි හිටියේ ආච්චි අම්මාගේ හිතවතෙක් ළඟ. ඔහු හදිසියේම මියගියා. එයින් පස්සේ අපි කබලෙන් ළිපට වැටුණා වගේ. ආච්චි අම්මා, මාමා ළඟට ගියා. මගේ අම්මා කොළඹ ජීවත් වුණේ. මට ඇය ළඟට යන්න සිදුවුණා. ඒත් ඒ වන විට අම්මා මාව අතහැරලා අලුත් ජීවිතයක් පටන් අරගෙන. අකැමැත්තෙන් වුණත් මම අම්මා ළඟ නතර වුණා.
දියණියකට මවකගේ තුරුල දෙව් විමනක්. ඒත් මම ජීවත් වුණේ ඇඬූ කඳුළින්. ඒ වන විට හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මට අම්මා ගෙදර වැඩ සියල්ල පැවරුවා. ළිඳෙන් වතුර අදින්න, උයන්න, ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන්න. මගෙන් නොගත්තු වැඩක් නැහැ. පුංචි මම ඒ ගෙදර මෙහෙකාරියක් වුණා.
මෙහෙම ඉන්නකොට මාව බලන්න නුවර නැන්දා කෙනෙක් ආවා. මම එයා එක්ක නැවත නුවර පදිංචියට ගියා. නැන්දා මාව පේරාදෙණිය විමලධර්මසූරිය විද්‍යාලයට ඇතුළත් කළා. නැන්දා මට අම්මා කෙනෙක් වුණා. අපිව අතහැරලා කොළඹ ගිය අම්මා නැවත නුවර පදිංචියට ආවා. ඇයත් සමඟ මට කුලී නිවෙසකට යන්න වුණා. අම්මා තේ පැක්ට්රියක වැඩට ගියා. ගෙදර කුලී ඇඳුම් මැහුවා. මේ වන විට මමත් තනියෙන් කපලා මහන්න හුරුවෙලා හිටියා. ආච්චිගෙ සාරි කපලා හිතට එන එන මෝස්තර අතේ මැහුවා. මුලින්ම හතරේ පන්තියේදී තමයි මම ගවුමක් මැහුවේ. මගේ බෝනික්කාට අන්දවලා හැඩ බැලුව හැටි තාම මට මතකයි. ඉන්පසුව මගේ පාසල් නිල ඇඳුම මම ම මසා ගත්තා.
අම්මා උපයන මුදල අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ. තනියෙන් පමුණුගමට ගිහින් රෙදි කෑලි ගෙනත් මම කුලී ඇඳුම් මහන්න පටන් ගත්තා.
මුල්ම ආදායම රුපියල් 20යි. හිතවතියකගේ පුතකුට කලිසම් පොඩියක් මහලයි ඒක ගත්තේ. ඒ ආරම්භයෙන් මම එක එක ඇඳුම් මෝස්තර මැහුවා. කිසිම හැදෑරීමක් කළේ නැහැ.
මට ඉගෙනගන්න මුදල් හොයාගත්තේ මේ විදිහට කෑලි ඇඳුම් මහලා. මොනතරම් කරදර බාධක තිබුණත් මම හොඳීන් ඉගෙන ගත්තා. වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුවා. ඒත් දෛවය මට උසස් අධ්‍යාපනයකට මං පෑදුවේ නැහැ. ඉගෙනීමට සමුදීලා මට ඉතාමත් අඩු වයසකදී විවාහ වෙන්න සිදුවුණා.
විවහයෙන් පසුව කිරිබත්කුඹුර සැමියාගේ ගමේ පදිංචියට ගියා. ඒ වන විට අපිට අපේම කියලා ගෙයක් හදාගැනීමේ හීනයක් තිබුණා. පුංචි කාලෙ පටන්ම ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය මා සතුයි. එබැවින් ස්වයං රැකියාවක් ලෙසින් කුලී ඇඳුම් මහන්න පටන්ගත්තා. මගේ පුතා ලැබෙන්න ඉන්න කාලෙදිත් රෑ එළිවෙනකල් මැහුවා. මේ අතරතුර මට මැහුම් පාඨමාලාවක් හැදෑරිය යුතුයි සිතුණා. ඒ අනුව නුවර ආයතනයකට සම්බන්ධ වෙලා රෙදිපිළි සහ ඇඳුම් මෝස්තර නිර්මාණ පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් හැදෑරුවා. මේ සඳහා සියලු මුදල් සොයාගත්තේ පමුණුවෙන් ගෙනා රෙදිකෑලි මූට්ටුකර මැසූ ආදායමින්.
ඒ වගේම අපි අපටම කියලා ඉඩමක් අරන් ගෙයක් තැනුවා. මගේ මැහුම් හැකියාව අපේ ආර්ථිකය සරු කළා. කාලයත් සමඟ මා රූපලාවණ්‍ය පාඨමාලා ගණනාවක්ම හැදෑරුවා. ඒ දැනුම ප්‍රයෝජනයට ගෙන 'රෝස් බියුටි සැලෝන්' එක විවෘත කළා.
නොසිතූ ලෙස මගේ දෛවය මාව යළිත් අතරමං කළා. ජීවිතයේ ලද අත්වැල මාව අතහැරියා. මම පුතා සමඟින් තනිවුණා. ඒ වන විට මා ඉපයූ සියලු මුදල් නිවෙස තැනීමට යොදවා තිබුණා. එබැවින් මාත් පුතාත් කුලී නිවෙසකට ගියේ අසරණ කමේ හිනිපෙත්තටම වැටිලයි. දෑතේ හැකියාව ගැහැනියකට ලොකු ශක්තියක්. වැටුණු හැමතැනකදීම මට පිහිටවුණේ මගේ දෑතේ වීර්යයයි.
මහන්න රෙදි ගන්න අතේ මුදලක් නොතිබූ බැවින් මා මැහුම් පංති ආරම්භ කළා. මගේ දැනුම බෙදාදෙමින් නුවර, ගම්පහ, නුගේගොඩ, මීගමුව, මාතලේ, රත්නපුරය, නාවලපිටිය ප්‍රදේශවල පංති පැවැත්වූවා.
අද මගේ එකම පුතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනවිද්‍යා උපාධිධාරියෙක්. මට මීට වඩා ලැබිය යුතු දිනුමක් නැහැ."