වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සල්ලි වැවිය යුතු යුගයක ඉන්න අපි හම්බ කරන හැටි ඉගෙන ගත යුතුයි
කොරෝනා වසංගත සමය ඔබට ජීවිතයේ සැබෑ ස්වරූපය වටහා දෙනු ලැබිණි. මෙය මිනිසුන් සතු මානව ගුණයන් හරිහැටි හඳුනා ගන්නට හොඳම කාලයක්. ඒ වගේම තමන්ට තමන්ගේ තත්ත්වය ගැන මනා අවබෝධයක් ලබාගැනීමටද කොරෝනා ව්‍යයසනය හේතු විණි.
බොහෝ දෙනා නිවෙසින් රැකියාවටත් රැකියාවෙන් යළි නිවෙසටත් යන ජීවන රටාවෙන් සැබෑවටම හරි හම්බ කරගෙන ඇත්තේ මොනවාදැයි සිතන්නට ඉඩක් ලැබුණි.
රට තුළ සංචරණය සීමා කරද්දී අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ නිවෙසටම ආවත් ඒවා මිලදී ගන්නට අතේ මුදලක් නැතිකමින් සෝ සුසුම් හෙළුවන් ඕනෑ තරම්.
“ඇයි එහෙම වෙන්නේ....”
හරි හම්බ කරන දෙය නිසි කළමනාකරණයකින් තොරව පරිභෝජනය කිරීමෙනි. සකසුරුවම්කමෙහි වටිනාකම දැනෙන්නේ එවැනි අසරණ වූ මොහොතකයි. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර අංශය ඔබට සවිමත් ආර්ථක රටාවක් ගොඩනගා ගන්නට අවැසි මඟ පෙන්වීමට කටයුතු කරනු ලැබේ.
එමඟින් ලැබූ වටිනා උපදෙස් පිළිපදිමින් ඒ අනුව කටයුතු කරමින් ජීවිතය ජය ගත් දිරිය කතකි මේ. ඇය පොළොන්නරුවේ ඕනෑගම පදිංචි ශ්‍රියා කාන්ති යි.
“සල්ලි කියන දේ කොච්චර හම්බ කළත් මදි. කසාද බැඳලා දරුවො ලැබුණාම තියෙන වගකීම් එක්ක සල්ලිවල අගේ හොඳට දැනෙනවා.
“අල්ලපු ගෙදර මේනු අසූදාහක සෝෆාවක් ගෙනත්.”
“දැන් එහෙ තියෙන්නෙ කලින් ෆ්‍රිජ් එක නෙමේ. බලන්න එපෑයැ ෆ්‍රිජ් එකේ නැති දෙයක් නැහැ.”
“ෂෙහාන් ගිය සතියෙ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගෙනාවා. අනේ ඉතිං අපිට තමයි බැරි.”
ඔබටත් මෙවැනි සංවාද ඇසී ඇති බවට සැක නැත. එහෙත් අපි අන් අයගේ දියුණුව ගැන සිතා සෝ සුසුම් හෙළීම කිසිදු පළක් නොවෙයි. උත්සාහය, අධිෂ්ඨානය වෙතින් තම අරමුණ කරා යා යුතු වේ.
පුලතිසිපුර උපන් ශ්‍රියා කාන්ති සාමාන්‍ය පවුලක උපන් වැඩිමහල් දියණියයි. තම අම්මා, තාත්තා, නංගී, මල්ලි වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් හිතේ සැනසීමෙන් ජීවත්වන්නියකි. මෙවැනි අත්දැකීම් ඔබට කියන්නේ ඔබේ දිරියට සවියක් වනු පිණිසය.
“මගෙ අම්මා ගෘහණියක්. තාත්තා සාමාන්‍ය රැකියාවක් කළේ. සාමාන්‍ය පෙළින් පසුව මගෙ පාසල් ගමන නතර වුණා. ඉන්පසුව තාත්තා මාව පරිගණක පාඨමාලාවකට යොමු කළා. ඒත් ඒක අතරමඟදී නැවතුණා. නිකම්ම ගෙදර ඉන්නවට වඩා ගෙදරට යමක් කරන්න ඕනෙ කියලා හිතට ආවා. ඒ නිසා ගෙවල් ළඟ ගාමන්ට් එකකට ගියා. ඒ මගෙ මුල්ම රැකියාව. ඒත් ඉතිං ගාමන්ට් රස්සාව හිතන තරම් මට ලේසි වුණේ නැහැ. ටාගට් ඉල්ලනවා. බනිනවා, කෑගහනවා. හරි හැටි කෑමක් බීමක් නැහැ. ඒ කාලෙ ගාමන්ට් රස්සාව ගැන සමාජ පිළිගැනීමකුත් තිබුණෙ නැහැ. මේ හේතු නිසා මට ගාමන්ට් රස්සාව එපා වුණා.
ගෙදර නැවතිලා නැවත ටික කාලයකින් පොළොන්නරුව විද්‍යා හා තාක්ෂණ පුහුණු ආයතනයේ පාඨමාලාවක් හදාරන්නට ගියා. එහි මට කළ හැකි සියලුම පාඨමාලාවන් හැදෑරුවා. මට හිතෙන විදිහට ඔහේ පාවි පාවී තිබුණ ජීවිතයට අරමුණක් දුන්නෙ එතැනින්. එහිදී හදාරනු ලැබූ පාවහන් නිෂ්පාදන පාඨමාලාව මම හරිම උනන්දුවකින් කළා. ඒ වනවිට මට ගෙදර වගකීමක් දැනෙන්න ගත්තා. නංගිට මල්ලිට උගන්වන්න සල්ලි යොදවන විට අනෙක් වියදම්වලට මුදල් අමාරුකම් බොහොමයි. අම්මා තාත්තාගෙ හිතේ තියෙන බර අඩු කරන්න මම තීරණය කරගත්තා.
පාවහන් පාඨමාලාව හැදෑරුවත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න සල්ලි තිබුණෙ නැහැ. මට මතකයි මගෙ කිරි අම්මා සල්ලි වගයක් ගෙනත් දුන්නා.
“මේක පරෙස්සම් කරගෙන සෙරෙප්පු හදලා විකුණන්න බලන්න.”
ඒ වචන අද වාගේ මතකයි.
කිරි අම්මා හංගගෙන තිබුණ සල්ලි වගයක් මගෙ අත මිට මෙළෝපු හැටි මතක් වෙද්දි ඇස් දෙකට කඳුළු උණනවා. ඒ ලැබුණ මුදලින් තමයි මම මේ දුර ආවේ.
මුලින්ම හදපු පටි සෙරෙප්පු දෙක රුපියල් 250 කට අලෙවි කළා. මගේම කියලා මුදලක් අතට ලැබුණම දැනුණෙ කෝටි ගානක් හම්බ කළා වගේ. සෙරෙප්පු හදන්න ඉගෙන ගත්තත් ව්‍යාපාරයක් ලෙසින් කරගෙන යාමට අවැසි දැනුම මට තිබුණෙ නැහැ. එබැවින් මම පොළොන්නරුව කුඩා ව්‍යාපාර අංශයට යොමු වුණා. එමඟින් හොඳ අත්වැලක් ලැබුණා. ව්‍යාපාරයක් කරන්නෙ කොහොමද? පවත්වාගෙන යාම, තාක්ෂණය භාවිතය, ලියාපදිංචිය, වෙළෙඳපොළ හඳුනා ගැනීම, කාල කළමනාකරණය, මුදල් පරිහරණය, විධිමත් පාරිභෝගික ගනුදෙනුව වැනි වටිනා උපදෙස් රැසක් නොමිලයේම ලබා දුන්නා. අදටත් ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීම තුළයි මගේ ව්‍යාපාරය රැඳී තිබෙනුයේ.
විවාහයත් සමඟ දරුවන් ලැබීමෙන් පාරිභෝගික ඇණවුම් ලබාදීම තරමක් අපහසු වුණා. එබැවින් මා තවත් හිතවතියකගේ සහයෝගය ලබා ගත්තා. ඇයටත් වැටුපක් ලබාදෙමින් ඕනෑගම පිහිටි ‘ශ්‍රියා ෂූ ෆැෂන්’ වෙතින් පාරිභෝගිකයාට අවශ්‍ය ඕනැම පාවහන් යුගළක් පැය 24 ක් ඇතුළත සාදා දෙනු ලබනවා. නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ර්‍ණදතඪදඥ වෙතින් රටේ ඕනැම තැනකට මා නිෂ්පාදිත පාවහන් ඇණවුම් සිදු කරනු ලබනවා.
පසුගිය කොරෝනා සමයට පෙර මගේ සැමියා විදේශ ගත වුණා. එහෙත් හරි හැටි වැටුපක් ලැබුණෙ නැහැ. පවුලේ සියලු අවශ්‍යතා වෙනුවෙන් මා උපයන මුදල ප්‍රමාණවත් වීමට තරම් මා කටයුතු කිරීම අපේ පවුලට ලොකු ශක්තියක් වුණා. ස්වයං රැකියාවක අගය වචනයෙන් විස්තර කළ නොහැකියි. එය ඔබත් අත්විඳ බලන්න.