කළමනාකාර උපාධියක් අරන් ස්වයං රැකියාවක් පටන් ගත්තා

කඩදාසි ආශ්‍රිත නිර්මාණ අලෙවියෙන් ජීවිතය ජයගත් ගාල්ලේ රදීකා නුවන්ති
පෙබරවාරි 3, 2021

 

රැකියාවෙන් ලබන මාසික වැටුපට වඩා අතට මුදලක් ලැබෙනවා

ගාල්ල නගරයේ කඩයක් ගානේ පයින් ඇවිද්දා කිසිම තැනකින් මගේ නිර්මාණ විකුණන්න බාර ගත්තෙ නැහැ

 

ඇය ගාල්ලේ වළහංදූව පදිංචි රදීකා නුවන්ති, දිරියෙන් නැගී සිටින්නට වෙර දරන තවත් එක් දිරිය කතකි. සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි කතුන් වටිනා සම්පත්ය.

විශේෂයෙන් පවුලේ ආර්ථිකයට අත්වැල් සපයන කාන්තාව සැමියාට ද අභිමානයකි. ඇය අද සිටිනා තැන ගොඩනගා ගෙන ඇත්තේ අසීමිත වූ උත්සාහයකිනි.

ගාල්ලේ බඳුන්ගොඩ ගම් පියසේ ගොවි පවුලක උපන් වැඩිමහල් දියණිය ඇයයි. ඇයට බාල එක් සහෝදරයෙකි. තාත්තා ගොවිතැන් කර උපයා ගන්නා මුදල් එදා වේල ගැට ගසා ගන්නට පමණක් සෑහේ. තම දරුවන් දෙදෙනාට ඉගැන්වීමට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් මුදලක් නොවිණි. ඒ බව වටහා ගත් රදීකා පාසල් අවධියේ පටන්ම මුදලක් හරි හම්බ කිරීමේ උවමනාවෙන් පසුවුණි. ඒ අනුව ඇය සතු දැනුම ප්‍රයෝජනයට ගනිමින් පහළ පන්තිවල සහෝදර සහෝදරියන්ට අමතර පන්ති පැවැත්වීය.

“මට මගෙ තාත්තා දුක් විඳින හැටි බලන් ඉන්න බැරි වුණා. මගේ අධ්‍යාපන කටයුතුවලට යන වියදම් මමම හොයා ගන්නවා කියලා හිතාගත්තා. කොහොමහරි ටියුෂන් කරලා ඒ සල්ලි හොයාගත්තා. අද මම රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. ඉගෙනීමේ නියම ප්‍රතිඵලය මල්පල දරන්නට සෑහෙන්න දුක් වින්දා. නිදිවරාගෙන පාඩම් කළ දවස්වලත් පසුවදාට අමතර පන්ති කළා. මට මහන්සියි. දැන් නිදිමතයි කියලා හිටියා නම් මට උපාධිය මඟහැරී යනවා.

කළමනාකරණ උපාධිධාරිණියක් වූ මට අභියෝගය වුණේ සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. මුලින්ම ගාල්ලේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක පුහුණු කළමනාකාරිනියක් ලෙස සේවය කළා. මුල්ම වැටුප රු. 3000 යි. කාලයේ විදිහට ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. කනස්සල්ලෙන් පසුවූ මට මගෙ මල්ලිගෙ යාළුවෙක් කරන පුංචි ව්‍යාපාරයක් ගැන දැනගන්නට ලැබුණා. ඒ ළමයා රෝද පුටුවක පසුවන ආබාධිත කෙනෙක්. පේපර් කුවිලිං ආශ්‍රිත නිර්මාණකර අලෙවි කරනවා. ඔහු ලොකු මුදලක් උපයනවා. එවැන්නකු මෙවැනි කර්තව්‍යක් සිදුකරනවා නම් මට මෙය මීටත් වඩා කළ හැකියි මා සිතා ගත්තා. ඒ අනුව අන්තර්ජාලයෙන් තොරතුරු සොයාගෙන නිර්මාණකරණයේ යෙදුණා. ඒත් ඒක හිතපු තරම් ලේසි වුණේ නැහැ.

මුලින්ම කාඩ් හදලා පොත් සාප්පුවලට ගෙන ගියා. මම ගාල්ල නගරයේ කඩයක් ගානේ ඇවිද්දා. එකතැනකින්වත් ගත්තෙ නැහැ. මහ පාරේ මට ඇඬුණා. අන්තිමේදී කාඩ් ටිකක් අරන් ගෙදර ආවා. මෙහෙම ඉන්නනකොට මගෙ යාළුවෙක් නිර්මාණ දැකලා ඉහළින් අගය කළා. මුල්ම නිර්මාණය රු. 100 ක් දීලා යාළුවා ගත්තා. ඒකත් මට සතුටක්. එයාගෙ මාර්ගයෙන් ගාල්ල නගරයේ පෙර පාසලකට සුබපැතුම් කාඩ් සැලකිය යුතු ප්‍රමාණයක ඇණවුමක් ලැබුණා. එයින් රුපියල් දහදාහක් ලැබුණා. මේ වනතුරු මා කිසිදු උපකරණයක් නොමැතිව අතේ ඇඟිලි භාවිත කරමිනුයි නිර්මාණ කළේ. ඒ ලැබුණු මුදලින් අවශ්‍ය උපකරණ ගත්තා. ඒක මට ලොකු දෙයක්.

ඉන්පසුව අන්තර්ජාලයෙන් අලෙවියට කටයුතු සූදානම් කර ගත්තා. දැන් ලංකාව පුරා ඇණවුම් ලැබෙනවා. මම හොඳ ආදායමක් ලබනවා.

වැටුණු තැන අතරමං නොවී නැගිටීම තුළිනුයි මා ජයග්‍රහණය කළේ. මේ විදිහට මගේ නිර්මාණ අන්තර්ජාලයෙන් ජනප්‍රිය වන විට කැලිෆෝනියාවේ වෙබ් සයිට් එකකින් පේපර් කුවිලිං ආශ්‍රිත නිර්මාණ තරගයක් පැවැත්වූවා. එම තරඟයෙන් මම ජයග්‍රහණය කළා. ඔවුන් ශ්‍රී ලංකාව හා ලංකාවේ තොරතුරු දැනගත්තේ මගෙන්. එබැවින් මා ලබපු ජයග්‍රහණයේ සතුට අති මහත්.

මේ සියලු ජයග්‍රහණ පසුපස ගාල්ල කුඩා ව්‍යාපාර අංශය සිටිනවා. ඔවුන් පැවැත්වූ වැඩමුළු මාලාවන් මඟින් මා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු දේ ඉගෙන ගත්තා.

අද මම සංවර්ධන නිලධාරිණියක් ලෙස කටයුතු කරනවා. එහෙත් මාසික වැටුපකට වඩා ඉහළ මුදලක් මගේ ව්‍යාපාරයෙන් උපයනවා. ඕනෑම කෙනෙක් පුංචි හෝ මුදලක් ඉපයීමට යම් ස්වයං රැකියාවක් කිරීම සැබැවින්ම වටී.