සරුසාර එනසාල් වගාවකට සුදුසු පැළයක් තෝරා ගනිමු

දේශීය රසකාරක භෝග වගාව
දෙසැම්බර් 6, 2021

 

"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියල කතාවක් ඔබ අසා ඇති. හැබැයි එනසාල් පැළයට දෙපෙත්තක් නැති වුණත් මේ කතාව එනසාල් වගාවටත් වලංගුයි. මන්ද පැළයේ ගුණාත්මක තත්ත්වය එහි ඉදිරි වර්ධනයට වගේම වගාවේ අස්වැන්නටත් එකසේ බලපානු ලබනවා.

එම නිසා අද අපි එනසාල් වගාවට සුදුසු පැළයක් තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමු.

සාමාන්‍යයෙන් එනසාල් වගාවෙන් සරු අස්වැන්නක් ලබා ගන්නට නම් සිටුවීමට තෝරා ගන්නා පැළ හොඳින් වැඩුණු නිරෝගී පැළ විය යුතුයි.

එනසාල් වගාව ප්‍රධාන වශයෙන් මොරෙයියන් මඟින් මෙන්ම බීජ පැළ මගින් සිදු කරන්න පුළුවනි. මෙයින් වඩාත් ‍ප්‍රචලිත ක්‍රමය වන්නේ මොරෙයියන් යොදාගැනීමයි. සාරවත් ඒකාකාරී වර්ධනයක් සහිත වගාවක් ලබාගන්න වගේම, ඉක්මන් අස්වැන්නක් ලබා ගන්නත් මේ ක්‍රමය වඩාත් සුදුසුයි.

වගාවට සුදුසු මොරෙයියකු තෝරාගැනීම

හොඳින් වැඩුණු එනසාල් මව් පඳුරකින් වෙන් කරගත් සෙන්ටිමීටර් 6 - 10ක අතර ප්‍රමාණයේ භූගත කඳක්, එහෙම නැත්නම් රයිසෝමයක් සහිත අඩි 2ක් පමණ උස මොරෙයියකු, වගාව සඳහා අපිට යොදාගන්නට පුළුවනි. මෙහිදී වර්ධනය වූ කුඩා අංකූර එකක් හෝ දෙකක් සහිත මොරෙයියකු තෝරා ගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම මව් පඳුරෙන් මොරෙයියන් වෙන්කිරීමේදී තියුණු පිහියකින් කැපුමක් සිදු කිරීමට වගබලා ගැනීම තුළින් කැපුම් මුහුණතට හානි වීම නිසා සිදුවන රෝග ආසාදනයන් වළක්වා ගන්නට උපකාරී වෙනවා.

මොරෙයියන් සඳහා ප්‍රතිකාර කිරීම

ඕනෑම රෝගයක් වළක්වා ගැනීම එය සුව කිරීමට වඩා වැදගත්. අපට වගේම එනසාල් වගාවට වැළඳෙන රෝග සම්බන්ධයෙනුත් මේ කතාව සත්‍යයකි. මන්ද මව් පඳුරෙන් වෙන් කරගත් මොරෙයියන්ගේ කැපුම් මුහුණතෙහි තඹ අඩංගු දිලීර නාශකයක් ආලේප කිරීම හෝ එවැනි දිලීර නාශකයක මොරෙයියන් ගිල්වා තැබීම මඟින් ආසාදනයන් ඇතිවීම වළක්වා ගත හැකියි. මේ වනවිට අපි හැමෝම කාබනික ගොවිතැන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අතර වස විසෙන් තොර වගාව පරිසරයට මෙන්ම අපේ සෞඛ්‍යයටත් හිතකරයි. එම නිසා රසායනික දිලීර නාශකයක් වෙනුවට අපි කවුරුත් දන්න බෝඩෝ මිශ්‍රණය මේ සඳහා යොදාගත හැකියි.

බීජ පැළ

වාණිජ වගාවකදී ප්‍රමාණවත් තරමට මොරෙයියන් ලබාගැනීමේ අපහසුව නිසා බීජ පැළ භාවිතය වැඩි වශයෙන් සිදු කරනවා. වාණිජ වගාවකදී මෙන්ම අපේ ගෙවත්තෙත් බීජ පැළ සිටුවන්න පුළුවන්. මේ සඳහා මිලදී ගත්ත බීජ පැළයක් වගේම අප විසින්ම පැළ කරගත් බීජ පැළයක් වුවත් යොදා ගත හැකිවීම මේ බීජ පැළකිරීමේ එක් වාසියක්.

බීජ පැළයක් සාදා ගැනීම

ඔබ බීජ පැළයක් මගින් එනසාල් වගාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ බීජ සිටුවා ගැනීමට සුදුසු කාලයයි. මන්ද එනසාල් වගාවේ ප්‍රධාන වශයෙන් අස්වැන්න ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි දක්වා කාලයේදීයි. එම නිසා වගාවට සුදුසු බීජ ලබා ගැනීම මේ කාලයේදී ඉතාම පහසුයි.

පැසුණු කහ පැහැයට හුරු කොළ පැහැයෙන් යුතු එනසාල් ගෙඩියක (ඵලයක) බීජ, පැළ නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවනි. ඔබේ ප්‍රදේශයේ එනසාල් වගාව ව්‍යාප්තවී නොමැති නම් නැවුම් ගෙඩි හොයාගැනීම අපහසු විය හැකියි. මෙවැනි අවස්ථාවකදී නිවෙසට මිලදී ගෙන එනු ලැබු වියළි එනසාල් ගෙඩියක බීජ යොදාගෙන වුවද පැළ ලබාගැනීමට හැකියාව පවතී.

හොඳින් පිරුණු මේරූ එනසාල් ගෙඩියක තද කළු පැහැයෙන් යුක්ත ඝනැති බීජ ඒ සඳහා තෝරා ගන්න. නමුත් මේ බීජ තෝරා ගැනීමේ ප්‍රධාන අවාසියක්ද පවතී. එනම් එක් එක් ප්‍රදේශයට ගැළපෙන එනසාල් වර්ගය වෙනස් කියලා පසුගිය සතියේදී අප පැවසුවා ඔබට මතක ඇති. වියළි එනසාල් ගෙඩියකින් එහි වර්ගය හරියටම හඳුනා ගැනීම අපහසු නිසා මෙවැනි බීජවලින් ලැබෙන පැළයක් ඔබේ ප්‍රදේශයට නොගැළපෙන්නත් වැඩි ඉඩක් තිබෙනවා.

බීජ පැළයක් නිවෙසේදීම සාදාගනිමු

තෝරාගත් එනසාල් ගෙඩියේ බීජ ඉවත්කරගෙන කහ කුඩු මිශ්‍ර ජල බඳුනකට දමන්න. ඉන්පසු උඩ පාවෙන බොල් බීජ ඇත්නම් ඉවත් කරන්න. දවස් දෙකක් පමණ මෙසේ ජලය තුළ ගිල්වා තැබු විට බීජයට ජලය උරාගෙන බීජ රෝපණය උත්තේජනය වේ. ඉන්පසු කළ යුත්තේ බීජ තවාන් කිරීමයි.

ඕකීඩ්, ඇන්තූරියම් වැනි බීජ තවාන් කොට ඹබට පුහුණුවක් තිබෙනවා නම් මෙය අපහසු කටයුත්තක් නෙවෙයි. මෙහිදී ඔබ කළ යුතු වන්නේ කොහුබත් මිශ්‍රණක් සහිත බඳුනක පොඟවා ගත් බීජ ඒකාකාරීව තැන්පත් කොට අවශ්‍ය පමණට ජලය යෙදීමයි. බඳුන උඩින් වීදුරු කෑල්ලකින් හෝ විනිවිද පෙනෙන පොලිතීන් කවරයකින් හෝ සීල්කර ප්‍රරෝහණ කුටීරයක තත්ත්වයන් ලබාදීම මඟින් පැළවීම ඉක්මන් වේ.

 

ඒ වගේම පැළවීමේ ප්‍රතිශතය වැඩි කරන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් මාස එකහමාරකින් පමණ ඔබට අඟලක පමණ උස පැළයක් ලබා ගත හැකියි.

එසේ ලබාගත් පැළ මතුපිට පස්, කාබනික පොහොර, වැලි සම ප්‍රමාණවලින් මිශ්‍ර කරගත් බඳුනක වෙන් වෙන්ව සිටුවන්න. මෙලෙස බඳුනක සිටුවා ගත් එනසාල් පැළය අඩියක් පමණ උසට වැඩුණු පසු ගෙවත්තේ සිටුවාගැනීම සුදුසුයි.

ඔබ බීජ පැළ නිෂ්පාදනයේ ප්‍රවීණයකු වුවහොත් ගෙවත්තේ එනසාල් වගාවක් ආරම්භ කිරීමට අමතරව සාර්ථක එනසාල් පැළ තවාන්කරුවකු ලෙස ස්වයං රැකියාවකට පිවිසෙන්නන් පුළුවනි. මන්ද එනසාල් පැළ සඳහා වර්තමානයේ වෙළෙඳපොළේ පවතින්නේ විශාල ඉල්ලුමක්.

පටක රෝපිත එනසාල් පැළ

එනසාල් මොරෙයියන් හෝ බීජ පැළ මඟින් වගාව ආරම්භ කිරීමට අමතරව පටක රෝපිත තාක්ෂණය මඟින් නිපදවනලද පටක රෝපිත එනසාල් පැළයක් සිටුවීමේ අවස්ථාවද දැන් ඔබට හිමිවෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු පැළ තවාන්වලින් ඔබට අවශ්‍ය පටක රෝපිත එනසාල් පැළ සීමිත ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව පවතී.

 

 

 

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (මාතලේ)

සමන්මලී අමරවංශ

 

 

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ

දිශාන්ති කොඩිතුවක්කු මහත්මියට

 

ඡායා - ලසන්ත අබේරත්න