දෑවැදි ගෙනෙන කඳුකර මනාලිය…

සැප්තැම්බර් 19, 2022

තනි වගාවක් මෙන්ම මිශ්‍ර වගාවක් ලෙස සාදික්කා වවන්න පුළුවන්. පොල් වගාව අතරේ සාදික්කා හරි අපූරුවට වගා කරනවා. ජලය හොඳින් බැහැලා යන ටිකක් ගැඹුරු ආම්ලික පසක් තමයි සාදික්කාවලට හොඳටම ගැළපෙන්නේ. තද සුළං නම් එච්චර හොඳ නෑ. සාදික්කා පැළ ආකාර දෙකකට ලබා ගන්න පුළුවන්. එකක් බීජවලින් ලබා ගන්න පැළ. අනික බද්ධ පැළ. බීජ පැළ හිටවන්න හරිම පහසුයි.

දෑවැද්ද කියන්නේ, අතීත කාන්තාව පහත හෙළුපු අසාධාරණ චාරිත්‍රයක්. දෑවැද්ද නිසාම ජීවිතය අහිමි වුණ වගේම එය නරකාදියක් බවට පත් වුණු කාන්තාවන් එමට යි. ඒ හින්දා කාන්තාවක් ලෙස ඔබත් දෑවැද්ද ඉල්ලනවට විරුද්ධ වෙන්න. හැබැයි අද අපි කතා කරන්නේ ඒ චාරිත්‍රයට එහා ගියපු දෑවැද්දක් ගැන යි. ඒ කියන්නේ ගෙවත්තෙන් ගන්න පුළුවන් දෑවැද්දක් ගැන යි. පහුගිය කොවිඩ් - 19 වසංගතය පැතිරුණු දවස්වල නම් මේ ගැන බොහෝ ලෙස කතාබහ වුණා. ඉතිං අද අපි කතා කරන්නේ අපේ අම්මලා හොඳට ම දන්න දරුවකුගේ බඩේ ගායක දී පවා නොවරදවාම මතක් වෙන ‘සාදික්කා‘ ගැන යි.

 

ගුණ අගුණ...

 

සාදික්කා වගාව ගැන කතා කරන්න කලින් ඒකේ ගුණ අගුණ ගැන මෙන්ම ආර්ථික වාසි ගැනත් පොඩ්ඩක් දැන ගනිමු. සාදික්කා රුධිර පීඩනය පාලනය කරනවලු. ඒ වගේම මොළයේ සෛල උත්තේජනයටත් කදිම යි. සම, කියන්නේ ඔබ නිතර ම හිතන දෙයක්නේ. ඔන්න, සාදික්කා ඔබේ සම පෝෂණය කරනවා. ආහාර ජීරණය පහසු කරන්නත් සාදික්කා උදවු කරනවා කියලත් ඔබ හොඳට ම දන්නවනේ. හිසකෙස් වර්ධනයට මෙන්ම අක්මාවටත් මිතුරෙක් කියලයි කියන්නේ. හානිකර බැක්ටීරියා නැති කරන්න, කටේ දුඟද නැති කරන්න සාදික්කා හොඳ ඔසුවක්. ඒත් ඔන්න නො කිවුවැ’යි කියන්න එපා. ඇඟට ගුණයි කියලා වැඩිපුර ගන්නවා එහෙම නෙමෙයි. මොකද සාදික්කා වැඩිපුර ගත්තොත් සිරුරට විස වෙන්න පුළුවන් කියලයි විද්‍යාඥයෝ කියන්නේ. අනික ගැස්ට්‍රයිටිස් වැඩි කරන්න හොඳ ම උත්තේජකයක් තමයි සාදික්කා වැඩිපුර ගැනීම.

 

ලස්සන ගෙඩියක්

 

සාදික්කා ගහකින් අවුරුද්දකට ගෙඩි 10,000කට වඩා ගන්න පුළුවන්. අාදායමත් දහස් ගණනින් නෙමෙයි ලක්ෂ ගණනින් උපයා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ඒ කියන්නේ මහනුවර, මාතලේ, කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල සාදික්කා අපූරුවට හැදෙනවා. තෙත් කලාපේ අනෙක් දිස්ත්‍රික්කවලත් වගා කර ගන්න බැරිකමක් නෑ. ඉතිං ආර්ථික වගාවක් ලෙස කරනවා නම්, ඉහත ප්‍රදේශ ඉතා සුදුසු යි. අක්කරයකට සාදික්කා පැළ 100ක් හිටවන්න පුළුවන්. ආදායමත් ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසයි මම මුලින් ම කිවුවේ මේකට දෑවැදි ගේනවා කියලා. ඉතින් පින්තූර බලන්නකෝ.... සාදික්කා කියන්නේ හරිම ලස්සන ගෙඩියක්. හරියට මනාලියක් වගේ නේද?

 

බද්ධ පැළ හොඳයි

 

තනි වගාවක් මෙන්ම මිශ්‍ර වගාවක් ලෙස සාදික්කා වවන්න පුළුවන්. පොල් වගාව අතරේ සාදික්කා හරි අපූරුවට වගා කරනවා. ජලය හොඳින් බැහැලා යන ටිකක් ගැඹුරු ආම්ලික පසක් තමයි සාදික්කාවලට හොඳට ම ගැළපෙන්නේ. තද සුළං නම් එච්චර හොඳ නෑ. සාදික්කා පැළ ආකාර දෙකකට ලබා ගන්න පුළුවන්. එකක් බීජවලින් ලබා ගන්න පැළ. අනික බද්ධ පැළ. බීජ පැළ හිටවන්න හරිම පහසුයි. ඒත් බීජ පැළවලින් හම්බවෙන්නේ, පිරිමි සහ ගැහැනු ලෙස වර්ග 2ක පැළ. ඉතිං මේකේ 50%ක් පිරිමි පැළ වුණාම, අස්වැන්නට ගැටලුවක් වෙනවා. මොකද අස්වැන්න දෙන්නේ ගැහැනු පැළ විතරයි. අවුරුදු 4ක් 5ක් ගිහිල්ලා මල් පිපෙන කල් ම පිරිමි පැළ හොයා ගන්නත් බෑ. ඉතිං මේ ප්‍රශ්නයට හොඳ ම විසඳුම තමයි බද්ධ පැළ සිටුවීම. බද්ධ පැළයකින් අවුරුදු 3කින් විතර අස්වැන්න ගන්න පුළුවන්. අනික ගොඩක් උස යන්නෙත් නෑ. ගෙවත්තකටත් හරිම ලස්සනයි. පොඩි පර්චස් ගණනක ගෙවත්තකට වුණත් බද්ධ සාදික්කා පැළයක් විසිතුරු පැළයක් ලෙස වගා කරන්න පුළුවන්. අස්වැන්න ගන්න කාලයට හරියට බල්බ් එල්ලලා වගේ සාදික්කා ගහක් ගෙඩිවලින් පිරිලා තියෙන කොට හරිම ලස්සනයි. සාදික්කා වගා කරන මුල් කාලයේ සෙවණ අවශ්‍යයි. හැබැයි අස්වැන්න දෙනකොට නම් හිරු එළිය හොඳට ඕනි.

 

සාදික්කා වවමු...

 

අඩි 2½ක් දිග, පළලින් හා උසින් යුත් වළක් කපා ගන්න. එයට මතුපිට පස්, ගොම හා කොම්පෝස්ට් මිශ්‍ර කරලා වළ පුරවා ගන්න. රොක්පොස්පේට් පොහොර හොයා ගන්න පුළුවන් ද? පුළුවන් නම් ග්‍රෑම් 200ක් විතර දාන්න. දැන් පැළය හිටවන්න. මතකයිනේ... පොලිතින් කවරය අයින් කරන්න ඕනි කියලා. ඔබ පැළ රාශියක් හිටවනවා නම්, පැළ අතර පරතරය අඩි 20ක් තබන්න. මුල් කාලයේ සෙවණ දෙන්න ඕනි කියලා මම මුලින් ම කිවුවනේ. ගිනිසීරියා වගේ ගස් මේ සඳහා සුදුසු වෙනවා. පැළය අවට හැකිතාක් වල් පැළ ඇති නොවීමට වග බලා ගන්න. කටු රහිත නිදිකුම්බා වගා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම නයිට්‍රජන් බහුල කොළ වර්ග යොදන්න උත්සාහ කරන්න. බද්ධ පැළයකින් අවුරුදු 3කින් අස්වැන්න දෙන හින්දා ඔබට බද්ධ පැළයක් හොයා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. කොහොමද හොයා ගන්නේ. ඔන්න ගැටලුව. ළඟම තියෙන අපනයන කෘෂිකර්ම කාර්යාලයෙන් විමසන්න. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවාන්වල සාදික්කා පැළ තියෙනවා. ලොකු මිලක් නැහැ.

වැඩුණු ගහකින් ගෙඩි 8,000ක් 10,000ක් වගේ ගන්න පුළුවන්. බලන්න, අක්කරයකට පැළ 100යි. ඒ කියන්නේ, ගෙඩි ලක්ෂ 10ක්. විශාල ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඇත්තට ම කියනවා නම්, උඩරට මනාලිය වගා කර ගත්තොත් දෑවැද්ද ප්‍රශ්නයකුත් නොවෙයි නේද?

 

මේ සඳහා වැඩි විස්තර දැන ගන්න ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීතුමා මුණගැහෙන්න. නැත්තම් 0112877841 අංකයට කතා කරන්න. එහෙමත් නැත්නම් [email protected] යන විnŠŠ´¨l‰‰ ලිපිනයට ලියන්න.

 

 

 

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

 අධ්‍යක්ෂ සංවර්ධන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය