කුළුබඩු කුමරිය ඔබේ ගෙවත්තට

ඔක්තෝබර් 31, 2022

අද අපි ඔබේ ගෙවත්තට කුළුබඩු කුමරිය කැන්දාගෙන එනවා. ඇයව කුළුබඩු ක්ෂේත්‍රයේ අය හඳුන්වන්නේ, princess of spices කියලා. ඒත් එකපාරට ම හිතාගන්න බැරි වුණා නේද? නමුත් ඇගේ සුවඳ ඔබ විඳලා තිබෙන බව මම නම් හොඳට ම දන්නවා. අපි කේක් කනකොට නිරන්තරයෙන් එන සුවඳ ඔබට මතකද? ආ... ඔන්න දැන් මතක් වුණා. වැනිලා සුවඳ කියලා. ලොව නොම්බර ඒකේ සුවඳ කාරකයක් තමයි වැනිලා. වැනිලා ඔබේ ගෙවත්තට පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ගෙදර දොර වැඩපල කරන ගමන්, රැකියාව කරන ගමන් ගෘහිණියක් ලෙස ඔබට අතිරේක ආදායමක් හොයා ගන්න හොඳ ම වගාවක් තමයි වැනිලා කියන්නේ. වැනිලා කිලෝවක මිල ඔබ දන්නවද? නිකමට හොයලා බලන්න. ඔබ පුදුම කරාවි. වැනිලා ගැන ඔබ දන්නේ මොනවද? වැනිලා කියන්නේ ඕකිඩ් බෝගයට අයත් ශාකයක්. ශාකයක් කිවුවට ඒක ඇත්තට ම වැලක්. වැනිලා‌ නිෂ්පාදන විදියට අපි සලකන්නේ, වැනිලා කරල්.

 

වගා කරමු...

 

ඔන්න කලින් ම කිවුවා. වැනිලාවලට මුහුදු හුළං වගේම වියළි කාලගුණය හොඳම නෑ. හොඳ වැස්සක් තිබීම ගොඩක් වැදගත්. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3,000 විතර යනකම් වැනිලා වගා කරන්න පුළුවන්ලු. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයත් අතරමැදි කලාපයේ සමහර පැතිත් මේ වැඩේට හොඳට ම ගැළපෙනවා. මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුරය වැනි දිස්ත්‍රික්කවල වැනිලා වගාව හොඳ හැටි කරන්න පුළුවන්. ඉඩමේ හොඳින් වතුර බැහැල යන තැනක් තමයි මේකට ඕනි. මෙයා සෙවණට බොහොම කැමැති කෙනෙක්. තේරෙන භාෂාවෙන් කිවුවොත් 70%ක් විතර සෙවණක් වැනිලාවලට අවශ්‍ය වෙනවා. හැබැයි රබර් ගස් අතර වැනිලා වගාව නම් අසාර්ථක යි. කොහොම වුණත් හොඳ හෙවණක් උවමනාය කියන එක ඔළුවේ තියාගන්න.

 

වවන්න ගන්නේ මොනවද?...‍

 

අපි මුලින් ම කිවුවා වැනිලා කියන්නේ වැලක් කියලා. ඒ හින්දා අඩි තුනක් පමණ දිග දඬු කැබැලි තමයි, පාවිච්චි කරන්නේ. හැබැයි දඬු කැබැල්ලේ පහළ කෙළවර පුරුකකට ආසන්නව තිබීම අවශ්‍ය යි. පහළ පුරුකත් සමඟ තිබෙන පත්‍ර ටික ඉවත් කර ගත යුතු යි. දැන් දඬු කැබැල්ල අඟල් 8x5 ප්‍රමාණයේ පොලිතින් මලුවලට පස් පුරවලා හිටව ගන්න. ටික දවසක් යනකොට ඔන්න, දඬු කැබැල්ල රිකිලි දාන්න පටන් ගන්නවා. මේ දඬු කැබැල්ල පොළොවේ සිටුවන්න දැන් පුළුවන්.

 

දැන් පොළොව හදමු....

 

ඒක කරන්නේ, මෙහෙම යි. පොළොව හොඳට ශුද්ධ කරලා කොළරොඩු ඉවත් කර ගන්න. වැලක් හින්දා ආධාරක ශාකයකුත් ඕනේ කියලා ඔබ දන්නවනේ. ඒකට හොඳ ම ජාතිය තමයි, ගිනිසීරියා. ඒත් වැල් සිටුවන්න කලින් අඩුම මාස 6කට වත් කලින් ගිනිසීරියා සිටුවා ගන්න ඕනේ. මොකද නැත්නම් වැල හැදෙන කොට ගිනිසීරියා ශාකයට එය දරා ගන්න බැරි වේවි. ඒ වගේම වැනිලා ශාක කිහිපයක් ඔබ හිටවනවා නම් වළවල් අතර පරතරය අඩි 8කට වෙන්න සකස් කරගන්න. දැන් ආධාරකය තිබුණු තැන ඉඳලා අඩි දෙකක් වටේට පස හොඳට බුරුල් කරන්න. මේක අඟල් හයක්, අටක් විතර ගැඹුරට කරන්න ඕනේ. ඊළඟට කාබනික පෝර කූඩ දෙකක් ඒ වටේට දමන්න. වැනිලා පැළ සිටුවන විදිහ නම් ටිකක් වෙනස්. ආධාරක ශාකයේ ළඟ ඉඳලා අඟල් හතරක් ගැඹුරට කානුවක් සකස් කරගන්න. අඩි තුනක් දිග දඬු කැබැලි ඒ කානුව දිගේ තැන්පත් කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න. ඒකේ ඉදිරිපස කෙළවර සෙ.මී. තුනක් විතර උඩට හිටින විදිහට තමයි, මේ කානුවට දඬු කැබැල්ල යෙදිය යුත්තේ. එම දඬු කැබැල්ලේ, ඉදිරි කොටසේ ඉහළ කෙළවර ආධාරක ශාකයේ ගැට ගහන්න ඕනි. දැන් හොඳින් දඬු කැබැල්ල වැහෙන්න පස් දාන්න.

ඊට පස්සේ අඟල් 7 –10ක් පමණ ඝනකමට දිරා ගිය කොළ රොඩු වැනි කාබනික ද්‍රව්‍යවලින් වැස්මක් යොදන්න. ටික දවසක් යනකොට ඔන්න ආධාරක ශාකය දිගේ වැල ඇදෙන්න පටන් ගන්නවා. ආධාරක ගහේ ඉහළට ම ගිය වැනිලා වැලට පහළට වැටෙන්න ඉඩ දෙන්න.

මල් හටගන්න කාලෙ නම් ටිකක් වියළි වෙන්න ඕනේ. මල් හටගන්නේ සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ. ඒ කාලයට ආධාර ගසේ අතු කපලා අව්ව ටිකක් වැටෙන්න සලස්වන්න. එතකොට ඒ පීඩනයෙන් ම මල් හට ගැනීම ආරම්භ වෙනවා.

 

 

පරාගණය කරමු..

 

වැනිලා වගාවේ විශේෂ ම කාරණය තමයි, මල් ස්වාභාවිකව පරාගණය නොවීම. එහෙමත් නැත්නම් ඉතා අඩුවෙන් තමයි, ස්වාභාවිකව පරාගණය වෙන්නේ. ඒ හින්දා අපි කෘත්‍රිමව ඒක කරන්න ඕනේ. මල් උදේට පිපිලා හවසට පර වෙනවා. ඊට කලින් ඒ කියන්නේ, උදේ 7 - 10 වගේ කාලය ඇතුළත පුංචි පින්සලක් අරන් අතින් මල් පරාගණය කරන්න. මේක පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ, හුරුබුහුටි වැඩක්. ඉතින් ඔබට

මේක කරන්න පුළුවන්.

ඒත් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න ළඟ ම ඉන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔබේ ප්‍රදේශයේ නිලධාරී මහතා හමුවන්න. පරාගණය කරලා මාස කිහිපයක් යනකොට ඔන්න වැනිලා කරල් එන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් එක වැලකින් වැනිලා කරල් 100ක් 150ක් විතර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අමු වැනිලා කරල් කිලෝ‍ හයකින් එක් වියළි වැනිලා කිලෝවක් ගන්න පුළුවන්.

වැනිලා වගාවේ වැදගත් ම දේ තමයි කරල් සැකසීම. මොකද කරල් සැකසුවේ නැත්නම් වැනිලා සුවඳ ලැබෙන්නේ නැහැ. මේක වෙනම ලිපියකින් ඔබට කියලා දෙන්නම්. එහෙම නම් වැඩේ පටන් ගන්න. රටට ඩොලර් හොයන්න වගේම ඔබේ පසුම්බිය තර කර ගන්නත් වැනිලා කියන්නේ, හොඳ ම දෙයක්. වැනිලා කුමරියට ආදරය කළොත් ඔබට වරදින්නේ නෑ..

 

වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න. නැත්නම්,[email protected]යන විද්‍යුටත් ලිපිනයට ලියන්න.

 

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය