සුවඳ හමන මැජික් කූරෙන් නිධානයක් මතුකර ගන්න

මැයි 22, 2023

තමුන්ගේම ව්‍යාපාරයක් බොහෝ දෙනකුගේ සිහිනයක්. රැකියාවක් තිබුණත් ඒ රැකියාවට අමතරව අතට අමතර මුදලක් සොයාගන්න සෑම කෙනෙක්ම සිහින දකිනවා. විශේෂයෙන් කාන්තාවක් තමයි මෙවැනි අමතර මුදලක් සො

යා ගන්න වැඩියෙන්ම උනන්දු වෙන්නේ. නිවෙසක සිටින ගෘහණියකට අතට අමතර මුදලක් ලැබෙන පුංචි ව්‍යාපාරයක්, වගාවක් හෝ කර්මාන්තයක් පටන්ගැනීම ගැන මේ දිනවල බොහෝ දෙනෙක් උනන්දුයි. සමහරුන්ට මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න උනන්දුව හා ආසාව තිබුණට ප්‍රවේශවීමේ මුල් පියවර නවන්න බැරිව ලතවෙන බොහෝ ගෘහණියෝ අපට හමු වෙනවා. මෙලෙස සිහින දකිමින් තමුන්ගේම කර්මාන්තයක් ආරම්භ කරන්න පසුබිම සකසා ගන්න නොහැකි ගෘහණියන්ට අප සතිපතා මඟපෙන්වීම ලබාදෙන ලිපි රාශියක් පළකළා. ඒ පළකළ ලිපි සඳහා ඔබගෙන් නිරතුරුවම අප වෙත ප්‍රතිචාර ගලාගෙන එනවා. ඔබේ ඇති උනන්දුව නිසාම මෙවරත් අප කාන්තා ඔබට ගැළපෙන කර්මාන්තයක් ආරම්භ කරන්න මඟ පෙන්වීම ලබා දෙන්නේ හරිම සතුටින්.

 

හඳුන්කූරු නිෂ්පාදනය කියන්නේ අපේ රටේ හොඳ ඉල්ලුමක් ඇති කර්මාන්තයක්. හැබැයි මේ ඉල්ලුමට සරිලන හඳුන්කූරු නිෂ්පාදනයේදී අපේ රටේ තිබුණු තාක්ෂණික ක්‍රමවේදයක් සරලයි. ඒ නිසා විදේශ රටවලින් අප රටට ආනයනය කරන හඳුන්කූරුවලට තමයි වැඩි ඉල්ලුමක් තිබුණේ. හැබැයි මේ තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙලා අපේ දේශීය හඳුන්කූරු නිෂ්පාදන සඳහා ඉල්ලුමක් පවතිනවා. මේ ඉල්ලුමට සරිලන හඳුන්කූරු නිෂ්පාදනය අපේ රටට ගැළපෙන අයුරින් දේශීය වෙළෙඳපොළ හඳුනාගෙන ඒ ඉල්ලුමට ගැළපෙන නිර්මාණාත්ම අලුත් හඳුන්කූරක් නිෂ්පාදනය කළොත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් නිරායාසයෙන්ම හැදෙනවා.

සාමාන්‍යයෙන් හඳුන්කූරු නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා හඳුන්කූරු සාදන යන්ත්‍රයක් අවශ්‍යයි. එසේ නොමැතිව මේ ව්‍යාපාරය ආරම්භ කරනවා නම් මුලින්ම තමුන්ගේ අතින් සෑදීම හඳුන්කූරු නිෂ්පාදනය ආරම්භ කරන්නත් පුළුවන්. මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර ඒ ගැන අත්දැකීමක් ලබා ගැනීම සඳහා මුලින්ම අතින් සෑදීම ආරම්භ කිරීම තමා හොඳම ක්‍රමය. ඔබ එයින් ලබන මූලික අත්දැකීම අනුව නිෂ්පාදන වෙළෙඳපොළ හා අලෙවිය ගැන අත්දැකීමක් ලබා ගනිමින් හඳුන්කූරු නිෂ්පාදනය කරන යන්ත්‍රයක් මිලදී ගැනීම තමයි ඊළඟ පියවර.

 

ඊළඟට හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය මිලදී ගත යුතුයි. කලු කුඩු, ලී කුඩු, පට්ට කුඩු, උණ ඉරටු, හිස් පෙට්ටි, කූරු දමන කවර, සුවඳ වර්ග, කලවම් ඔයිල් වර්ග, කලවම් කුඩු වර්ග අවශ්‍යයි. මේ අමුද්‍රව්‍ය අතුරින් කලු කුඩු තමයි හුන්කූරු නිෂ්පාදනයේදී වැඩි වශයෙන්ම යොදා ගන්නේ. කලු කුඩු හදන්නේ පොල් කටු අඟුරු හා ශාක වර්ගවලින්. සෑම ශාකයක්ම අඹරා මේ කුඩු සාදා ගැනීම අපට අපහසුයි. ඒ නිසා තමයි අපට මේ කුඩු වෙළෙඳ පොළෙන්ම මිලදී ගන්න සිද්ධ වෙන්නේ. මේ කුඩු භාවිතයට පෙර අතීතයේ යොදා ගත්තේ ගවයන්ගෙන් ලබාගන්නා ගොමය. මෙයට අමතර ලී කුඩු මෙයට එක්කළ යුතුයි. සමහරු මේ ලී කුඩු නයිස් පවුඩර් ලෙසින් හඳුන්වයි. පට්ට කුඩු ද හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍යම අමුද්‍රව්‍යකි. එය වියට්නාම් රටෙන් ගෙනෙන කුඩු වර්ගයකි. තවද මේ හඳුන්කූරු සෑදීමට උණ ඉරටු යොදා ගනියි. මේ ඉරටු කැපීමට සකස් කරගත් ඉරටු යන්ත්‍රයකින් සාදා ගත යුතුයි. එසේ නැති නම් වෙළඳපොළෙන් මිල දී ගෙන කපා ගන්න.

 

විවිධ දිග ප්‍රමාණයෙන් මේ ඉරටු වෙළෙඳපොළේ පවතී. මෙලෙස මිලදී ගත් කුඩු වර්ගවලට විශේෂිත සුවඳ වර්ග හා තෙල් වර්ග කළවම් කරගත් පසු හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මුල් පියවර සම්පූර්ණය. දැන් ඔබගේ නිර්මාණාත්මක හැකියාව හා තාක්ෂණ දැනුම උපයෝගිකරගෙන හඳුන්කූරු සෑදීම සිදු කරගත හැකි වනු ඇත. මෙහිදී ඔබ සකස් කරන මිශ්‍රණය සඳහා යොදා ගන්නා සුවඳ වර්ගය අනුව එහි තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා සෑම විටම එකම ප්‍රමාණයෙන් අමුද්‍රව්‍ය යොදා ගන්න. ඒ අනුව ඔබගේ නිෂ්පාදන හඳුන්කූරුවල තත්ත්වය දිගටම පවත්වාගෙන යෑම හා එහි ඇති අඩුපාඩු ඔබට තීරණය කිරීමට හැකිවනු ඇත.

 

මෙලෙසින් සකස් කරගත් හඳුන්කූරු වියලා ගැනීම ඊළඟ පියවරයි. එය මද අව්වේ ක්‍රමානුකූලව සිදුකළ යුතු කටයුත්තකි. එලෙස වියලා ගත් හඳුන්කූරු ඇසුරුම් කිරීම හා වෙළෙඳ පොළට ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීම ඔබ විසින් තීරණය කර සැලසුම්කර ගත යුතු පියවරකි. මෙහිදී ඔබට හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස් ලබා දෙන රජයේ ආයතන කිහිපයක්ම පවතී. එසේම හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය උපකරණත් අවශ්‍ය අමුද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කරන ආයතනත් රැසක්ම තිබේ. එම නිෂ්පාදන ආයතන හා අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ඔබට අවශ්‍ය නම් ඒ සඳහා මගපෙන්වීමක් ලබා දෙන්න අප සූදානම්. ඔබ අපගේ 011 2429592 දුරකතන අංකය අමතා ඔබගේ Whats App අංකයක් ලබා දෙන්න. අවශ්‍ය විස්තර සියල්ල අපි ඔබගේ එම අංකය වෙත ලබා දෙන්නෙමු.