හීන පාට වෙද්දී හරි ලස්සනයි

සැප්තැම්බර් 16, 2024

හිතෙන් මනසින් දකින හීන දවසක "මම ඒ දේ කරනවා, මට ඒ තැනට යන්න ඕනේ" කියන සුන්දර සිතුවිල්ල යථාර්ථයක් වෙන දවසට ඔයාගේ හිතේ උතුරන සතුට විඳින්න පුළුවන් නම් එතැන ඔයා ජිවිතේ යම් තැනක් දිනලා ඉවරයි.

පහුගිය කාලය ගැන තැවිලා දුක්වෙලා ඇත්තටම වැඩක් නෑ කියලා තේරුම් ගන්න නම් මඟ හැරුණ හීනවලට පණ දෙන්න. එතකොට තේරෙයි විඳින වර්තමානය ගෙවුණ අතීතයට වඩා කොයිතරම් වටිනවද කියලා.

ඔයාගේ හීන එකින් එක හැබෑ වෙද්දී කලින් ඉඳපු පිරිසම ඔයා ළඟ නැති වෙන්න පුළුවන්. ඒත් ඉතුරු වෙන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්ද , ඔවුන්ව ආදරෙන් වැළඳ ගන්න. ඒ තමා ඔයාගේ දිනුම පිටුපස අවංකව සතුටු වෙන ඔයාට හයියක් වෙන අය. සමහර විට කවුරුත් නැති වෙන්නත් පුළුවන්, මතක තියා ගන්න, ඔයාගේ ලොකුම රසිකයා, ඔයාගේ හොඳම අභිප්‍රේරකයා ඔයයි. ඉතින් ඔයා වෙනුවෙන් ඔයා අත්පුඩි ගහන්න.

හිතේ තියෙන ලස්සන හීන හැබෑකර ගන්න ඔයාට පුළුවන් ළමයෝ. අඩියෙන් අඩිය ඉස්සරහට යන්න, දරා ගන්න, ඉවසන්න, ඉගෙන ගන්න ඔයාගේ ගමන නවත්තන්න කාටත් බැහැ. ඔයාට පුළුවන් ඔයාව විශ්වාස කරන්න.

ඔන්න අද ඔයාගේ හීන පාට කරන්න තවත් පියවරක් කියා දෙනවා.

 

රෙද්දක් මත අප ඇඳ ගන්නා මෝස්තරය විවිධ වර්ණ මඟින් - Fabric Paint (Acrylic Color) පින්තාරු රෙදි පින්තාරු කලාව ලෙස හඳුන්වා දිය හැකියි.

අද පාඩමේ දී අප ඉගෙන ගනු ලබන්නේ රෙදි පින්තාරු කලාවේදී වැදගත්වන කරුණු සහ සාමාන්‍ය ආකාරයට රෙද්දක් මත පින්තාරුකර ගන්නා ආකාරයයි.

රෙදි පින්තාරු කිරීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු ලෙස,

*පළමුව අප ගන්නා රෙද්ද සෝදා හොඳින් වේළා මැද පිරිසුදුකර ගත යුතුය. (විශේෂයෙන් අමු රෙදි)

*අප ගන්නා fabric paint බෝතල්වල මූඩිය හොඳින් වසා අනිත් පැත්ත (මූඩිය යටට) තැබිය යුතුය. එයට හේතුව fabric paint වාෂ්ප වීමේ ප්‍රවණතාව මඟ හරවා ගැනීම සහ fabric paint ඝන වීම වළක්වා ගැනීමයි.

*පින්සල් තෝරා ගැනීමේදී හොඳ තත්ත්වයේ පින්සල් තෝරා ගැනීමට වග බලා ගත යුතු අතර පින්සල් භාවිත කිරීමේදී ද පින්සල පළමුව සෝදා හොඳින් පිස ගත යුතුය. එසේම පින්සල භාවිත කිරිමෙන් අනතුරුව ද හොදින් සෝදා පිස දැමිය යුතුය .

ඔබ භාවිත කරන පින්සල් හොඳින් සෝදා එහි වර්ණ ඉවත්කර ගත නොගත හොත් පින්සල කෙඳි ඝන වේ.

*එසේම පින්තාරු කරන විට පින්සල සේදීමට ගන්නා වතුර භාජනය නැවත නැවත අලුත්කර ගනිමින් ගත යුතුය. නැතිනම් වර්ණ මිශ්‍ර වී ඇති නිසා පින්සලේ වර්ණ ඉවත් නොවේ.

*පින්තාරු කර ගත් රෙදි මැද ගැනීමේදී රෙදි කොටසේ කණපිට පැත්ත හරවා මැදීම අනිවාර්ය වේ.

*වර්ණ ගළපීමේදී fabric paint මිශ්‍ර කර ගනිමින් වර්ණ සකසා ගැනීමේ හැකියාව ද ඇත.

*පින්තාරු කළ පසු වේළා ගැනීම සඳහා පැය 24ක් තැබිය යුතු වේ.

* පින්සල භාවිත කිරීමේදී එකම පින්සල් භාවිත නොකර පින්සල් කිහිපයක් භාවිත කිරීම සුදුසු වේ.

* එමෙන්ම fabric paint තෝරා ගැනීමේදී ඉතා හොඳ තත්ත්වයේ fabric paint තෝරා ගැනීම වැදගත් වේ. එසේ නොමැති වුවහොත් වර්ණවල ගුණාත්මකභාවය අඩු වේ. කල් පැවැත්මට ද එය බලපානු ඇත.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඊ.ඒ. සඳමාලි නවෝදිකා

 

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර