ඕකිඩ් මලෙන් ජීවිතය මල් කරන්නේ මෙහෙමයි

ජනවාරි 13, 2025

ඔබේ ගෙවත්ත හැඩ කරන උඩවැඩියා කුමාරියන් නිරන්තරයෙන් සිනාසලන්නට නම් ඔවුනට පොහොර, ජලය නොමඳවම ලැබිය යුතුමයි. නිසි කලට වේලාවට ලැබෙනා පෝෂණය හරහා ඔවුන් සැරසාරව වැඩෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් වඩාත් පිරිපුන් උඩවැඩියා කුමාරියන් පොකුරු පිටින් ඔබට තිළිණ කරනවා නිසැකයි.

 

ඒ නිසා අද අපි ඕකිඩ් වගාවට නිසි කලට වේලාවට ජලය, පොහොර යොදන ආකාරය සොයා බලමු.

 

ජලය

 

වෙනත් ශාකවලට මෙන් නොව උඩවැඩියා ශාකයට ක්ලෝරින් මිශ්‍ර ජලය යෙදීම සුදුසු නොවේ. ළිං හෝ වෙනත් වාරි මාර්ගයකින් ලබාගන්නා පිිරිසුදු ජලය එහෙමත් නැතිනම් වැසි ජලය මේ සඳහා භාවිත කළ හැකියි. එසේ නොමැතිව ක්ලෝරින් සහිත ජලය භාවිත කරන්නට සිදු වන්නේ නම් එම ජලය පැය 24ක කාලයක් විවෘත ටැංකියක රඳවා තබා අනතුරුව පැළ සඳහා භාවිත කරන්න.

 

සාමාන්‍යයෙන් උඩවැඩියා වගාවට ජලය යෙදීමේදී වගා බඳුන වියළි තත්ත්වයෙන් පවතී නම් පමණක් ජලය යොදන්න. වැසි සහිත කාලගුණයේ දී වගාවට ජලය අවශ්‍ය නොවේ. සාමාන්‍ය කාලගුණික තත්ත්ව යටතේ දිනකට එක් වරක් ද, වියළි කාලගුණික තත්ත්ව යටතේ දිනකට දෙවරක් ද උදේ, සවස ජලය යෙදීම සුදුසුය. එමෙන්ම වියළි කාලගුණික තත්ත්වයක් සහිත දිනවලදී තවාන් අවට තෙත්ව තබා ගැනීමෙන් වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩිකර ගත හැකියි.

 

පොහොර

 

උඩවැඩියා ශාකවලට පොහොර සැපයීමේදී දියරමය පොහොර පමණක් යෙදිය යුතු වේ. මෙහිදී ශාක පත්‍ර සහ මල් තෙමෙන පරිදි දියර විදිනයකින් ඉසිය යුතුය. එමෙන්ම හොඳින් හිරුඑළිය පවතින දිනයක උදය වරුවේ පමණක් මේ පොහොර යෙදීමට වගබලාගන්න.

උඩවැඩියා ශාකවලට කාබනික සහ ආකාබනික වශයෙන් පොහොර වර්ග 02ක් භාවිත කරයි.

 

කාබනික පොහොර

 

කාබනික පොහොර මඟින් ශාකවලට අත්‍යවශ්‍ය අංශුමාත්‍රික මූලද්‍රව්‍ය ලබාදීම සිදුකරයි. මෙම පොහොර සතියකට එක්වරක් සියලුම වයස්වල පැළ සඳහා භාවිත කළ යුතුයි.

 

අකාබනික පොහොර

 

මේ අකාබනික පොහොර මඟින් ශාකයට අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් ලබාගත හැකියි. මෙය සතියකට දෙවතාවක් ශාකයේ වයස අනුව අනුපාතය වෙනස් කරමින් යොදනු ලැබේ.

 

පැළ කුඩා අවධියේ යොදන පොහොර

 

මෙම පොහොර භාවිත කළ යුතු වන්නේ ශාකවල වර්ධනය අඩු අවස්ථාවලදී පමණකි.

උදා - 30:10: 10 හෝ 20:14:14

 

මධ්‍යම අවධියේ යොදන පොහොර

 

මෙහිදි සමතුලිත පොහොර මිශ්‍රණය භාවිතය සුදුසුයි.

 

උදා - 20:20:20 හෝ 18:18:18

 

එමෙන්ම මෙම කාලයේදී ශාකවල වර්ධනය වැඩි කිරීම සඳහා පොස්පරස් වැනි පොහොර වර්ග ද භාවිත කරයි.

 

උදා - 10:20:30 හෝ 10:30:30

 

මල් පිපෙන අවධියේ යොදන පොහොර

 

මේ සඳහා පොටෑසියම් වැඩි පොහොරක් භාවිත කළ හැකිය. මල් කැපීමෙන් සති දෙකකට පමණ පසු සමාන අනුපාතයක් සහිත පොහොරක් භාවිත කරන්න.

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

[email protected]