වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
ටැටූවලින් ලෝකයම අල්ලන රූසරා
අපේ රටේ “පච්ච” යැයි කීවාට ලෝකයට එය ටැටූ ය. ඉස්සර “පච්ච සිරාලා, පුෂ්පේ රුබාලා” සිටි යුගයේ ශරීරයේ පච්චයක් කෙටූ අයෙකුට සමාජයේ එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. එකළ පච්චයක් කෙටු අයෙකු එක්කෝ අයි.ආර්.සී කාරයෙකි. නැතිනම් රස්තියාදුකාරයෙකි.
නමුත් දැන් මෙය වෙනමම කලාවකි. කෙසේ හෝ පච්ච යන්නට වඩා ප්‍රභූ ගතියක් පෙනෙන නිසා දැන් බොහෝදෙනෙක් ගසන්නේ ටැටූ ය. හැබැයි පිරිමින්ට පමණක් උරුමයි කියන මේ ටැටූ කලාව, සම්මතයෙන් බැහැරව කාන්තා පාර්ශ්වයේ වැඩි දෙනෙක් වැලඳගෙන අවසන්. මේ කියන්න යන ඇය ලෝකයම දන්න ලංකාවේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක්. රූසරා කිව්වමනම් tiktok ෆ්ලැට්ෆෝම් එකේ ඇයව නොදැන්න කෙනෙක් නැහැ. කෑගල්ල Roosara Tatto studio හි හිමිකාරිය ඇයයි. ටැටූවලින් වැඩ පෙන්වන ඇය ඒ කතාව කියන්න පටන් ගත්තේ මේ විදිහට.
"ගොඩක් මිනිස්සු හිතන්නේ ටැටූ ගහන එක පිරිමින්ගේ රස්සාවක්, පිරිමින්ගේ වැඩක් කියලා. ඒත් ගෑනුන්ටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මම ගොඩක් ටැටූ කරලා තියෙන්නේ තරුණියන්ගෙ කිව්වොත් හරි. ඉස්සර වගෙ නෙමෙයි දැන් ගොඩක් තරුණියෝ තමන්ගෙ අම්ම එක්ක ඇවිල්ලත් ටැටූ ගහගෙන යනවා. ඒක ලොකු වෙනසක්. මොකද සාමාන්‍යයෙන් මව්පියෝ මේ වගේ දේවල්වලට කැමැති නැහැනේ. හැබැයි පිරිමි පාර්ශ්වය කාලයක් තිස්සේ ඉඳලම කොහොමත් ටැටූවලට වැඩි ප්‍රියතාවක් දක්වනවනවා."
කොහොමද මේ රූ සරා කියන නම හැදුණේ?
ඒක ඇත්තටම මමම දාගත්ත නමක්. මට යාළුවෝ හෑමෝම වගේ කතා කරන්නෙ රූ කියලා, ඉතින් මුලින්ම මගෙ පෝට්රේට් ආර්ට්වලට සයින් එකක් විදිහට තමයි රූසරා කියන නම දාගත්තෙ. පස්සෙ මම පේජ් එකක් පටන් ගත්තා ඒකම තමයි ටැටූවලටත් රූසරා කියලාම දාගත්තෙ. දැන් ඉතින් ගොඩක් අය දන්නෙ මාව රූසරා කියලා. මගෙ ඇත්ත නම රුමිනි කෞශල්‍යා.
ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න හිතුවේ ඇයි?
මම මුලින්ම කළේ චිත්‍ර ඇදලා විකුණපු එක. ඒකත් මන් ඉගෙනගෙන කරපු දෙයක් නෙවෙයි. මට පොඩි කාලේ ඉඳලම චිත්‍ර ඇඳීමේ හැකියාව පිහිටලා තිබුණා. විෂයයක් විදිහටවත් චිත්‍ර විෂයය ඉගෙනගෙන නැහැ. උසස් පෙළට පෙනී හිටියෙත් ගණිතය අංශයෙන්. උසස් පෙළින් පස්සේ මම චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒක කරන ගමන් මම ජොබ් එක්කුත් කළා. එකක් නෙවේ දෙක තුනක්ම කළා. ඒත් ඒ කිසිම ජොබ් එකක් මට ගැළපුණේ නෑ. මට ඕනෙ වුණේ මගෙම දෙයක් කරන්න. හැබැයි ටැටූ පටන් ගත්තෙ සල්ලි හොයන්න හිතාගෙන නෙමෙයි ඇත්තටම කීවොත් ආසාවට. පස්සෙ මම ජොබ්වලින් අයින් වෙලා තමයි පොඩියට ශොප් එකක් දාගත්තෙ. මම හිතන්නෙ මේක තමයි මට ගැළපෙන ජොබ් එක. ආසවෙන් කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ගෙන් බලපෑමක් නෑ. ලාභයක් ආවොත් මට, එහෙම නොවී පාඩුවක් වුණොත් ඒකත් මට. මං හිතන්නෙ ඒක හරි නිදහස්.
තනියම ටැටූ ස්ටූඩියෝ කරන එක පහසු නැතුව ඇති..
මං වැඩ කරන තැන දැනට ඉන්නෙ මායි නුවනුයි විතරයි. නුවන් කියන්නේ මම විවාහ වෙන්න ඉන්න කෙනා. ඔහු මට ලොකු සහයෝගයක් දෙනවා. මම එහි හිමිකරු විදිහටයි ඉන්නේ. මෙතනින් එක පාරක් ටැටූ ගහන කෙනෙක් අනිවාර්යෙන්ම ආපහු සැරයක් ටැටූ එකක් ගහන්න එනවා. මොකද මම කරන වැඩේ හරියටම කරනවා කිසිම ඇද පලුද්දක් නැතුව.
හැදෑරිමක් සමඟ ද ටැටූ ගහන්න පටන් ගත්තේ..
මිනිස් හමේ ටැටූ එකක් කරන්න කලින් චිත්‍ර ඇදපු නිසා මේ වැඩේ මට පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබුණා. මම ටැටූ මැෂින් එකක් අරගෙන මුලින්ම ෆේක් ස්කින්වල ටැටූ නිර්මාණ පුරුදු වුණා. එතැනින් තමයි ඒ ගමන පටන් ගත්තේ. මට ඒ තරම් හොඳට ටැටූ ගහන්න උදව් කරපු මගේ ගුරුවරයා වූ චලන රත්නායක අයියවත් මම මතක් කරන්න ඕනේ. ඒවගේම මට ටැටූ නිර්මාණයක් මුලින්ම පෙන්නපු sea of ink හිමිකරු රන්දික අයියා, තමිදු නිර්මාල් සහ ලහිරු චාමර අයියත් දැන් මම හදාරන කෝස් එකේ ආදරණීය ගුරුතුමා සුනිත් සර්වත් මතක් කරන්න ඕනේ.
තරුණියක් ටැටූ ශොප් එකක හිමිකාරියක් වෙනවා කියන්නෙම වෙනස් දෙයක්නේ. ඔයාගේ මේ ආසාවට ගෙදර අයගේ විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?
මට ඉන්නෙ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි. ගෙදර අයගෙන් නම් පොඩිමවත් බලපෑමක් තිබ්බෙ නැහැ. මං පොඩිකාලේ ඉඳලම කොල්ලෙක් වගේ හැදුණු කෙනෙක්. ගෙදර හිටිය හිතුවක්කාරම චරිතෙ මම. හැබැයි ඉතින් මම දෙයක් කරන්න කලින් ගෙදර අයගෙනුත් අහලයි කරන්නේ. ටැටූ ගහන වැඩේට එයාලගේ අකමැත්තක් තිබුණේ නැහැ. මොකද මම වැරදි වැඩක් කරන්නේ නැහැ කියලා එයාලා දන්නවා. මගේ අම්මා, තාත්තා හැමදේකදිම මාව අල්ලගෙන ඉන්නවා.
මේ දවස්වල වැඩි ඉල්ලුමක් තියෙනේ මොනවගේ ටැටූවලට ද?
දැන්නම් ගොඩක් අය බලන්නෙ තමන්ටම ආවේණික කවුරුත් නොකරපු අන්කොමන් ටැටූ එකක් කරන්න තමයි. ගොඩක් අය කැමතිම concept art වලින් යන ටැටූවලට. හැබැයි ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත එක එක විදිහයි. මමත් ටැටූ ගහලා ඉන්න කෙනෙක්. හැබැයි මම ශරීරයේ ටැටූ ගහනවට වඩා මං කැමැති අනිත් අයගේ ටැටූ ගහලා එයාලව ලස්සන කරන්න. මම කරන ගොඩක් ටැටූ මගේ tiktok එකට දානවා. ලංකාවේ අයගෙන් විතරක් නෙවෙයි විදේශිකයන්ගෙන් පවා ඒවාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.