කැඩුම් බිඳුම් නොසලකා හරින්න

මැයි 1, 2019

 

බොහෝ රෝග පිළිබඳ මාධ්‍යයන් තුළින් නිතර කතාබහ කළත් කැඩුම් බිඳුම් සම්බන්ධව කතා කරන අවස්ථා විරල වීම නිසා ඒ ගැන අපිට ඇත්තේ අඩු දැනුමකි. ඒ නිසාම කැඩුම් බිඳුම් නොසලකා හැරීමෙන් සහ නිසි ප්‍රතිකාරයක් නොකිරීමෙන් සමහර විට ජීවිත කාලයම රෝගී තත්ත්වයෙන් පසුවන්නට සිදුවන අවස්ථා ද බොහෝය. එවැනි අවාසනාවන්ත තත්ත්වයන් අවමකර ගැනීම සඳහා කැඩුම් බිඳුම් පිළිබඳ ඔබ දැනුවත් කරන්නේ කුරුණෑගල ගැට්ටුවාන ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ‘වෛද්‍ය ශාස්ත්‍ර’ (සර්වාංග) උපාධිධාරී, කැඩුම් බිඳුම් රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ඩබ්.එම්. නෙවිල් වීරබාහු මහතායි. ඔහු පාරම්පරික කැඩුම් බිඳුම් හා සර්වාංග වෙද පරපුරක තුන්වැනි පරපුර නියෝජනය කරයි.

 

අනෙකුත් රටවලට වඩා අපේ රටේ මිනිස්සු කැඩුම් බිඳුම් රෝගවලට පමණක් නොවෙයි සර්වාංග රෝගවලටත් සුළුවෙන් හෝ ප්‍රතිකාර දන්නවා. අතීතයේ සිටම ඔවුන්ට මේ ඖෂධ ගැන යම් තරමකින් හෝ දැනුමක් ලබන්න හේතු කිහිපයක් ඉවහල් වුණා. අපේ රටේ ඇති වූ ආක්‍රමණ, කැරලි කෝළාහල නිසා බොහෝ පිරිස් කැඩීම්, බිඳීම්, පිළිස්සීම් වැනි දරුණු තුවාලවලින් පීඩා වින්දා. ඒ කාලයේ රෝහල් සේවය ව්‍යාප්ත වී තිබුණේ නැති නිසා හදිසි අනතුරක් වුණත් බොහෝ විට ප්‍රතිකාර කළේ ගමේ වෙදමහත්තයා. නැත්නම් ඖෂධ පිළිබඳ දැනුමක් ඇති වැඩිහිටියෙක්. ඒ වගේම යුද්ධ කාලයේ දී පිරිමි යුධ පෙරමුණේ සිටිද්දී ගෙවල්වල හිටිය අපේ මවුවරු තමන්ගේ දරුවන්ට වැළඳෙන රෝගවලට වගේම ඔවුන් මුහුණපාන හදිසි අනතුරුවලටත් නිවෙසේදීම අත් බෙහෙත් කරන්න පුරුදු වුණා.

සිංහල ජන සමාජය තුළ කෙරුණු අත් බෙහෙත්, කෙම් ක්‍රම සහ නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැන කා තුළත් සුළුවෙන් හෝ අවබෝධයක් තිබීමට මේ හේතුකාරණා මුල් වුණා.

ඉංගී‍්‍රසි ජාතික ‘රොබට් නොක්ස්’ මහතා ශ්‍රී ලංකාව සහ සිංහල ජාතිය ගැන ලියා තිබෙන ‘එදා හෙළදිව‘ කෘතිය ඉහත කරුණු සනාථ කිරීමට සාක්ෂි දරනවා. ඔහු අපේ කැඩුම් බිඳුම් වෙදකම ගැන ලියා ඇත්තේ මෙසේයි.

‘උගුල් ඇටවීමටත්, හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මේ ලෝකයේම නැත්තේය. ඔවුන්ට බතකුත්, මාළු දෙකකුත් ඉදෙන්නට කලියෙන් පත්තුවක් බැඳ, බිඳුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය.’

ඇත්තෙන්ම එවැනි දක්ෂකම් ඇත්තවුන් අදටත් අපට ගම්වලින් මුණගැහෙනවා. පරම්පරා ගණනක් දැන සිටිය ඒ වෙදකම බටහිර සහ ආයුර්වේද ක්‍රමත් එක්ක අද වෙනස් වෙලා.

කැඩුම් බිඳුම් ක්ෂේත්‍රය කියන්නේ පුළුල් පරාසයකට විහිදී ගිය විෂයයක්. ප්‍රතිකාර කිරීමේදී ද සුළු හෝ අත් වැරැද්දක් සිදු වුණොත් රෝගියාට බරපතළ තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවීම අනිවාර්යයි.

ඒ නිසා යම් අනතුරකින් අස්ථිවලට හානියක් සිදුවී ඇත්නම් ඔබ දන්නා හෝ තව කෙනකු දන්නවා යයි කියන අත් බෙහෙත් හෝ වෙනත් ප්‍රතිකාර කිරීමෙන් වැළකී එදා සිට ගුරුකුලවලින් පැවැත එන දේශීය වෛද්‍යවරයෙක් මුණගැසීම ඉතාම වැදගත්. හේතුව මෙවැනි ආබාධයන්ට කළයුතු නිසි ප්‍රතිකාර ක්‍රමවේද ගැන පුළුල් දැනුමක් මෙන්ම පළපුරුද්දක් හා දක්ෂකම් ඇත්තේ ඔවුන් සතුවයි.

‘උළුක්කුව‘ සහ එයට ප්‍රතිකාර කරන ආකාරය

වැටීමකින් හෝ වැදීමකින් අස්ථියක පැනීමක් සිදුවීම හඳුන්වන්නේ උළුක්කුවක් ලෙසටයි. ‘ඇමැට්ටිය’ නැත්නම් ‘කෙටීම’ කියලා අපේ ජනවහරේ භාවිත වෙන්නේත් උළුක්කු වීමමයි. තවත් මේ ගැන පැහැදිලි කරනවා නම් යම් සංධිස්ථානයක ඛණ්ඩරාවක් හෝ මාංශ පේශීයක් යමක ගැටීමෙන්, හැපීමෙන්, තදවීමෙන්, අක්‍රමවත් ලෙස එබීමෙන් එම සංධිස්ථානවලට සම්බන්ධ අස්ථි පීඩනයට පත්වීම උළුක්කුවීම ලෙසට හඳුන්වනවා. මෙය ඉතාම පීඩාකාරී තත්ත්වයක්.

උළුක්කුවක් වුණාම ඒක අදින්න ඕනේ කියන විශ්වාසයක් අපි අතර තියෙනවා.

ගැමි සමාජය තුළ අදටත් ඒ ක්‍රමය අනුගමනය කරමින් උළුක්කුව සුව කරගන්නවා.

ඒ ක්‍රමයේ වැරැද්දක් නැහැ. ඒත් මං පැහැදිලිවම කියනවා ඒ ක්‍රමය හැම අවස්ථාවකදීම සාර්ථක ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ.

සමහර අවස්ථාවලදී පීඩනයට පත්වෙන අස්ථි පිපිරීමකට හෝ කැඩීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා.

පළපුරුදු දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ බව දැනගන්නවා හැරෙන්න පිටතින් එවැනි අවදානමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ එවැනි අවස්ථාවක්.

‘වන්දනා ගමනක් ගිය අම්මා කෙනෙක් වැටීමකින් කකුල පෙරළිලා.

නඩේ අය කකුල උළුක්කු වුණා කියලා හිතලා බාම් වර්ගයක් ගාලා කකුල ඇදලා.

ටික වෙලාවකින් කකුලේ දිය පට්ටයක් ඇවිත් ඇවිද ගන්න බැරි තරමට කකුල ඉදිමුණ නිසා ප්‍රතිකාර ගන්න මා ළඟට ආවා.

ඒත් දියපට්ටයෙන් ඇතිවී තිබුණු තුවාලය නිසා කකුලේ අභ්‍යන්තර අස්ථි බිඳීමට ප්‍රතිකාර කරලා සුව කරන්න කාලයක් ගියා.

මෙයින්ම පැහැදිලි වෙනවා නේද ශරීරයේ අවයව තුළ ඇතිවී තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳ නිසි දැනීමක් නැතිව ප්‍රතිකාර කිරීමෙන් ඇතිවෙන අවදානම මොනතරම් ද කියලා.

ප්‍රතිකාර ලැබීමේදී එය හරියාකාරව කරගැනීමේ වගකීම තියෙන්නේ රෝගියාටයි. යම් වැටීමක්, පෙරළීමක්, පහර වැදීමක් සිදුවුණාම ඒකෙන් අපේ සිරුරට වේදනාවක් දැනෙන්නෙ නැත්නම් ඒ අනතුර සුළුකොට සිතීම අපේ පුරුද්දක්.

ඒක වේදනාව දැනෙන තරමට වුණු අනතුරක් නම් බටහිර හෝ දේශීය ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඇත්තෙන්ම විය යුත්තේ ද එයයි.

සමහර රෝගීන් කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් හෝ තමා දන්නා හෝ තවත් කෙනෙක් කියන ප්‍රතිකාරයක් කරලා මඳක් සුව අතට හැරෙනකොට ඉතිරිය කාලයට බාරදීලා ප්‍රතිකාර නතර කරනවා.

තවත් කොටසක් එවැනි රෝගී තත්ත්වයක් ඇතිවුණාම ප්‍රතිකාර නොකර ඉබේ සුවවෙන තුරු අපහසුතාවයන් විඳ දරාගෙන ඉන්නවා. එහෙම හිතන පිරිස අඩුයි.

එකිනෙකා අනුගමනය කරන මේ පිළිවෙත් තුළින් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්.

නොලැබී ජීවිත කාලයම විඳවන්නත් පුළුවන්.

මේ විදියට රෝග තත්ත්වයන් නොසලකා හැරීමේ ප්‍රතිඵලයත් ඔබේ දැනගැනීම සඳහා මම සඳහන් කරන්නම්.

 

* චලනය කළ හැකි හන්දි අඩක් චලනය කළ හැකිවීම හෝ කාලයත් සමඟ චලනය කළ නොහැකිවීම

 

* ඉදිමුම කාලයක් පැවතීම හෝ ජීවිත කාලය පුරාවටම පැවැතීම

* දණහිස්වල වතුර පිරීම

* කාටිලේජ අඩුවී අස්ථි බන්ධන තදවීම සහ ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන්ට ලක්වීම

* අවයවවල නියමිත හැඩය වෙනස් වී විකෘති හැඩ ඇතිවීම විකලාංග තත්ත්වයන් ඇතිවීම

* වැදීම්, වැටීම්, තැලීම් නොසලකා හැරීමෙන් පසුකාලීනව එම ස්ථානවල පිළිකා ඇතිවීම

 

මේ හේතූන් මත රෝගියාගේ ඉදිරි ජීවන ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වීමෙන් ඔහු හෝ ඇය මානසික රෝගියකු බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.

ඒ නිසා යම් අනතුරක් සිදුවූ වහාම පිළිගත් වෛද්‍යවරයකු වෙතට රෝගියා රැගෙන යන්න. වෛද්‍ය උපදෙස් පිළිපදිමින් තීන්දු තීරණ ගැනීමෙන් ඔබගේ වටිනා කාලය, ශ්‍රමය, ධනය ඉතිරි වෙනවා පමණක් නොව ඉදිරියේදී ඇතිවිය හැකි බොහෝ ව්‍යසනයන් ද මඟහරවා ගත හැකිවෙයි.

 

2019/05/01 තරුණි බලන්න.