ලැජ්ජා වෙන්නෙ මොකටද ?

ජුනි 19, 2019

ඒක රහසක් නෙවෙයි

මේ අවුරුදු දෙකකට තුනකට උඩදි සිදු වූ සිදුවීමක්. සනීපාරක්ෂක තුවා. අද මම කතාකරන්නේ ඒවා ගැන. සමහර අයට නම කිව්වත් අවුල් වගේ නේද? ඒ තරමට ප්‍රසිද්ධ රහසක්. හැබැයි කතා නොකර බැහැ. ඒ නිසා කතාකරමු. අද. මෙතැනදි. මේ මැජික් එක ගැන.

මෙහෙමයි. අපිට කඩයක් තියෙන නිසා ඕවා කවදාවත් පිටින් ගන්න වුවමනා වෙලාම නැහැ. මොකද කඩේ තියෙන ඔක්කොම තිබුණේ මගෙ අල්මාරියෙ. ඊට අමතරව මගේ බෑග් එකේ නිතර ඕවගෙන් එකක් ආරක්ෂාවට තිබුණ නිසා හදිසියකටවත් කඩෙන් ගන්න වුවමනා වෙලත් නැහැ. ඒත් මම රැකියාව කරන්න බෝඩිමට ගිය කාලය තුළ මට සිදුවුණා අවශ්‍යතාවට අවට කඩයකින් මිලට ගන්න. හිටියෙ මැදිවියේ මුදලාලි කෙනෙක්. මම ගිහින් ඉල්ලනවා.

“මුදලාලි මට .......... පැකට් එකක් දෙන්න”

ඒ විදියට අදාළ තුවා වර්ගයේ නම කිව්වෙම ටිකක් සද්දෙට. අන්කල් මගේ දිහා කන්න වගේ බලලා පත්තරේකිනුත් හොඳට ඔතලා දමලා ගහන සයිස් එකෙන් ඒක මගේ අතේ තිබ්බේ එතැන හිටිය සෙනඟ මැද්දෙම මම ඕක හයියෙන්ම කිව්ව නිසා කියලා පසුකාලීනව මම තේරුම් ගත්තා.

ඉතින් ඔය සිදුවීම මගේ හිතේ තදට පැලපදියම්වෙලා තිබුණා. කතා කරන්න ඕනෙ මාතෘකාවක් කියලා මම තදට හිතන් හිටියා. මම හිතන්නෙ ඒකට සුදුසු මොහොත අද.. ඒ නිසා මම ඇතුළු කාන්තාවන්ට තියෙන මේ පෑඩ් ගැටලුව විවෘතව කතාකරන්න හිතුවා. මේ ප්‍රසිද්ධ රහස ගැන අපි ප්‍රසිද්ධියේම කතා කරමු. මගේ අදහස්වලට සමාන

ප්‍රතිවිරුද්ධ අදහස් ඔබටත් ඇති.

පිරිමි - ගැහැනු දෙපාර්ශ්වයම කතා කරන්න ලැජ්ජ මාතෘකාවක් මේක. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් ද මේක. මට තියෙන ලොකුම ගැටලුව අන්න ඒක. දෙයියනේ මේ ලංකාව ඇතුළෙ ලැජ්ජ වෙන්න ඕනෙ දේවල් කීයක් වෙනවද? සේයා වගේ දරුවො දූෂණයට ලක්වෙනවා. ඔබ මේ ලිපිය කියවන මොහොතෙත් කොහේ හරි තැනෙක අපචාරයක් වෙනවා ඇති. ඡන්ද දායකයො විදිහට අපි අපිව පාලනය කරන්න අමුතුම සෙට් එක තෝරලා යවනවා. රට හදන්න ඉන්බොක්ස් අස්සෙ පණිවුඩ තියනවා. හැබැයි ලැජ්ජ වෙන්න ඕනෙ කාරණා එහෙමට තියෙද්දි අපි ලැජ්ජ වෙනවා පෑඩ් එකක් ඉල්ලන්න. පෑඩ් එකක් සාමාන්‍ය විදිහට දෙන්න.

අපි මේ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී කතාකරන්නේ ජීව විද්‍යාත්මක සාමාන්‍ය කාරණයක් ගැන. කාන්තාවකට මල්වරවීමෙන් පසු මාසයක් පාසා සිදුවන ඔසප් වීම ගැන. කැති, පොලු, මුගුරු අරන් ලියන එකීව හොයන් එන්න හිතෙනවා ඇති. මතක තියාගන්න සංස්කෘතිය බිඳෙන්නෙ, කැඩෙන්නෙ නැහැ සනීපාරක්ෂක තුවායකින්.

එතකොට ඔසප්වීම කියන්නේ ලෝකෙ තියෙන සාපරාධීම ක්‍රියාවද? නැහැ. මම කියන්නෙ ඒක. මේ මොහොතේ මේක ලියන මමත්, කියවන ඔබත් ජීවත් වෙන්න හේතුව ඔසප්වීම කිව්වොත්. ඔසප්වීම කාන්තාවකට නොවෙන්න, මසකට වරක් යුක්තානුවක් පිළිගන්න ගර්භාෂය පිළිසකර නොවෙන්න අපිටත් තිබුණා ඇමීබාවෝ වගේ ද්විඛණ්ඩනයෙන් ජීවීන් බිහි කරන්න.

සෑම දින 28 කට වරක්ම (මෙය පුද්ගලානුබද්ධව වෙනස් විය හැකි) මේ සිදුවීම සිදුවෙනවා. මල්වරවීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමට සෑම මසකට වරක්ම ගර්භාෂය සූදානම් වෙනවා. එතෙක් ගර්භාෂ බිත්ති ඝනකමට වැඩෙනවා. ගැබ් ගැනීමක් නොවන හැම වෙලාවකම ගර්භාෂ බිත්ති කැඩිලා ශරීරයෙන් පිටවෙනවා. මේක මැජික් එකක් කරගන්නෙ ඇයි ඉතින්.

පෘථිවියේ ගැහැනු පිරිමි විදිහට මිනිස්සු බිහි වූ දා පටන්ම මේ ඔසප්වීම පැවත ආවා. කාලෙන් කාලෙට වෙනස් විදිහට වුණත් එකලත් ගැහැනු සනීපාරක්ෂක තුවා භාවිත කළා. ජපානය තුළ කොළ කැබැලිවලින් සකසා ගත් බවටත්, රෝමයේ වූල් වැනි යමකින් සකසාගත් බවටත්, ඊජිප්තුවේ සියුම් පැපිරස් කොළවලින් සකසා ගත් බවටත් සාක්කි හමුවෙලා තිබෙනවා. ඒ වගේම ලංකාව තුළත් අතීතයේ කපු වැනි රෙදිවලින් සකසා ගත් දෑ භාවිත කරලා තියෙනවා. හැබැයි අතීතයෙන් ලංකාව තුළ මෙය හංගා තබාගැනීමෙන් සිදු වුණා කියලා කියන්නෙ අර රෙදි කැබලි පිරිමින්ට ඇහැ නොගැටෙන්න හොර රහසේ සෝදා වේළාගැනීම සිදුවී ඇති නිසා. එහෙනම් වරද අද නෙමේ එදා දක්වා දිව යනවා. එදා ඉඳන්ම මේ ජීව විද්‍යාත්මක කරුණ මැජික් එකක් කරලා. අන්න එතනයි වරද.

ඉතින්’ ෆේස්බුක් පිටුව ඇසුරින්

2019/06/19 තරුණි බලන්න