හිතුමතයට සුදුවෙන්න ගියොත් හම ගැලවිලාම යන්න පුළුවන්

ඔක්තෝබර් 23, 2019

ඡවි කල්‍යාණය යනු ලියක් සුරලියක් කරන පංච කල්‍යාණයෙන් එකකි. මෙය සුවිශේෂී කල්‍යාණයක් වන්නේ රුවට වගේම නිරෝගී සුවයටත් බලපාන නිසයි.

එහෙත් අප වැඩියෙන් අවධානය යොමු කරන්නේ සමේ පැහැය ගැන පමණි. චර්මය නැත්නම් සම අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රියයි. සිරුරේ බාහිර පරිසරයත් අභ්‍යන්තර පරිසරයත් අතර මහා බාධක පවුර මෙන් නැඟී සිටින්නා අපේ චර්මයයි. අපිචර්මයෙන්, චර්මයෙන් සහ මේද ස්තරයකින් සෑදී ඇති මිනිස් සම අභ්‍යන්තර අවයව ආරක්ෂා කරන සුපිරි රැකවලාය.

හිරු එළියේ අහිතකර පාරජම්බුල කිරණවලින්, හානිකර රසායනවලින් සිරුර රැක ගන්නේ සමයි. උදෑසන හිරු එළිය පතිත වී සමේ නිපදවෙන විටමින් ‘ඩී’, නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වා ගැනීමේදී වැදගත් වෙයි. විශේෂයෙන් කාන්තාවන් අස්ථි පද්ධතියේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. ගැබිනි සමයේදී, කිරිදීමේදී, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ අස්ථි දුර්වල වීමට වැඩි ඉඩක් පැවැතීම ඊට හේතුවයි.

ලෝකයේ සෑම කෙනකුගේම සම එක පැහැයක් වූවා නම් කැසීමකදී පලු දැමීමකදී රතු වීමකදී හෝ චර්ම රෝගයකදී හැර අප සම දෙස නෙත් කොනකින්වත් නොබලනු ඇත. එහෙත් සුදු, කළු, දුඹුරු ආදී වශයෙන් සමේ පැහැය විවිධ වීම නිසා සම ගැන කතාකිරීමේදී වැඩිපුරම අවධානය යොමු කෙරෙන්නේ සමේ පැහැයටයි. සමහර පිරිමින්ගේ එකම තෝරා ගැනීම සුදු පැහැති තරුණියන්ය. රූප රාජිනී තරගයකට සහභාගීවීමටත් කළු සමක් තිබිම බාධාවකැයි ඇතැම් තරුණියෝ සිතති. එහෙත් කළු සමක් තිබී ලෝ රූ රැජනන් වූ තරුණියන් නැත්තේ නොවෙයි. කළු තරුණියන්ට සෙනෙහස දක්වන පිරිමි ද සිටිති.

අවශ්‍ය සොබාදමෙන් උරුම වූ සම නිරෝගීව තබා ගැනිම වුවත් සුදු සමකට හිමිකම් කීමේ උන්මාදය නිසා අපේ කාන්තාවෝ හිතුමතයට විවිධ වූ ආලේපන වර්ග මිලදී ගැනීමට පෙලඹී සිටිති.

කළු සමේ වටිනාකම

සමකයට ආසන්න ලංකාව වගේ රටවල කාන්තාවන්ගේ සම කළු, දුඹුරු පැහැයක් ගනී. කළු සමෙන් විටමින් ‘ඩී’ උරා ගැනීම අඩු වුවත් එය වටින්නේ හිරු එළියෙන් වන අධික හානිය වැළැක්විමට හැකියාව තිබෙන්නේ කළු සමට නිසයි. සුදු සමක් හිමි ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් සැලකිය යුතු තරම් විශාල ප්‍රතිශතයක් ඒ සුදු පැහැය නිසාම හිරු එළියේ පාරජම්බුල කිරණ වැදි සමේ පිළිකාවලට ගොදුරු වෙති. නිවර්තන කලාපීය අප සමට කළු පැහැය දෙන මෙලනින් වර්ණකය ඉවත් කිරිම මඟින් කර ගන්නේ සමට හානිකර ගැනීමයි.

ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් සිදුවන දේ.

මෙලනින් වර්ණකය ඉවත් කිරීමට යාම නිසා පාරජම්බුල කිරණ වැනි හානිකර හිරු කිරණ වැදී සමේ පිළිකා සෑදීමේ අවදානම වැඩි වනවා වාගේම සමේ ඇදෙන සුලුබවට (ප්‍රත්‍යස්ථභාවයට) ද හානි සිදුවෙයි. එවිට සමේ රැලි වැටීම් වැඩිවී ඉක්මනින්ම වයෝවෘද්ධ පෙනුමක් ලැබෙයි. ප්‍රමිතියකට නැති සමහර ආලේපනවල රසදිය, ස්ටීරොයිඩ් වර්ගයේ ඔසු ආදිය අඩංගුය. වෛද්‍ය නිර්දේශයකින් තොරව ස්ටීරොයිඩ් ඔසු ගැනීමෙන් කුරුලෑ හට ගැනීම, හිස් කබලේ සමේ තෙල් ගතිය වැඩිවීම. හදවතේ අක්මාවේ ගැටලු ඇතිවීම වැනි සංකූලතා ගණනාවක්ම ඇති විය හැකියි. සම තුනී වී නහර ඉලිප්පී පෙනීමට ඉඩ තිබේ.

රසදිය ශරීරගතවීම කුසෙහි දරුවකු සිටිනවානම් එම දරුවාට පවා හානිකරය. කුඩා රසදිය ප්‍රමාණයක් ශරීර ගත වුවත් ස්නායු පදධතියට, ආහාර ජීර්ණ පද්ධතියට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට, පෙණහලුවලට, වකුගඩුවලට, ඇස්වලට සහ සමට හානිකරව බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මහජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන රසායන දහයෙන් එකක් ලෙස රසදිය නම් කර තිබේ.

වෛද්‍ය නිර්දේශයකින් සම පැහැපත් කරන ඔසුමය ආලේපන, ඖෂධ ගැනීමට සිදුවන්න පුළුවන්.

කුරුලෑ, කැළැල්, දද, පිලිස්සීම් වැනි විවිධ හේතූන් නිසා ඇතිවන දුර්වර්ණවීම්වලට වෛද්‍යවරුන් විවිධ ඔසු ලබා දෙයි. එසේ ආලේප ගල්වන්නේ වෛද්‍ය නිර්දේශයකින් නිසා ගැටලුවක් මතු නොවෙයි.

‘ග්ලූටතයන්’ සම පැහැපත් කිරිමේ අලුත්ම පෙරළිකාරයා ද?

ග්ලූටතයන් කළු සම සුදු කරන ද්‍රව්‍ය අතර පෙරමුණ ගෙන තිබේ. ග්ලූටතයන් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර සමේ මෙලනින් ද මෙයින් අඩුකරයි. වෛද්‍යවරුන් මෙය යොදා ගන්නේ ඔසුවක් ලෙසයි. උදා: අක්මා රෝගවලදී හා පිළිකා නාශක ඔසුවලින් ඇතිවන අතුරු අතුරු ආබාධවලට ප්‍රතිකාර කිරීමේ දී භාවිත කරයි.

 

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ජනක අකරවිට

 

2019/10/23 තරුණි පුවත්පත බලන්න