සෙම්ප්‍රතිෂ්‍යාව, ෆ්ලූ තත්ත්වයන්ට ගුණදායක නිවෙසේ වෙදැදුරු ඉඟුරු

පෙබරවාරි 19, 2020

* ආහාරවල පෝෂක උරා ගැනීමට, රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට උදරයේ වාතය පිරීම වැළැක්වීමට ඉඟුරුවල සංයෝග උපකාරී වෙයි.

* අමෙරිකාවේ කොලොම්බියා සරසවියේ අධ්‍යයනයන්ට අනුව ද ඉඟුරු තැම්බූ ජලයට අහිතකර මේදය දහනය කළ හැකියි.

* තුවාල සුව කිරීමේ ගුණයක් ද මෙහි පවතියි.

* ඉඟුරු යුෂ සමඟ මී පැණි තේ හැන්දක් ගැනීමෙන් දිගට පවතින කැස්සට සහ උගුරේ ආසාදනයට සහනයක් ලද හැකිය.

* ප්‍රතිශක්තිය සියලු රෝගාබාධවලින් ආරක්ෂා වීමට අවශ්‍ය අතර ඉඟුරු අපේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි.

 

ඉඟුරු රසැති කිරි තේ කෝප්පයක රසට සම කළ හැකි අන් තේ රසක් තිබෙනවාද? බීමට පමණක් නොව කෑමට ද ඉඟුරු රස එක් කරන්නේ කාලයක සිටය. එපමණක් නොව ඉන්දියාව, ලංකාව වැනි රටවලට එය නිවෙසට වෙද මහතකු බඳුය. අජීර්ණයට, උණට, වේදනාවට වමනයට ඔක්කාරයට, ෆ්ලූ තත්ත්වයන්ට සහනයක් ලබා දෙන හොඳම ඔසුව වන්නේ ඉඟුරුය.

මෙතරම් ඔසු ගුණයක් ඉඟුරුවලට ලැබී ඇත්තේ එහි අඩංගු ජින්ජරෝල් නම් ද්‍රව්‍ය නිසයි. මීට අමතරව එහි මැග්නීසියම්, විටමින් සී, විටමින් බී 6, පොස්පරස්, තඹ, යකඩ, කැල්සසියම් අඩංගුය. සින්ක් ද සුළු වශයෙන් තිබේ.

ඉඟුරුවල ඔසු ගුණ මහිමය ප්‍රදාහයන් වළක්වයි

ස්ටීරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ ( නන් - ස්ටීරොයිඩල් ඇන්ටි - ඉන්ෆ්ලැමේටරි ඩ්‍රග් ) ගැන අප අසා තිබේ. සොබා ධර්මයෙන් ද මේ කාණ්ඩයේ ඖෂධවල ගුණය ඇති ඔසුවක් අපට ලබාදී තිබේ. ඒ ඉඟුරුය. බටහිර ඔසුවල මෙන් මේ සොබා ඔසුව ගැනීමෙන් අතුරු ආබාධ ඇති වන්නේ නැත. ෆ්ලූ, හිසරදය, ඔසප් වේදනාව, ඔස්ටියෝආතරයිටිස් වැනි තත්ත්ව ගණනාවකටම මෙමඟින් සහනයක් ලද හැකිය.

සාම්ප්‍රදායික සෙම්ප්‍රතිෂ්‍යා ප්‍රතිකාරය

ආයුර්වේදයට අනුව සෙම්ප්‍රතිෂ්‍යාව, ෆ්ලූ වැනි තත්ත්වයන්ට ඇති හොඳම ප්‍රතිකාරයක් වන්නේ ඉඟුරුය. ආයර්වේද ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන වෛද්‍ය වසන්ත් ලාඩ් ෆ්ලූ, සෙම්ප්‍රතිශ්‍යාව, නව කොරෝනා වැනි තත්ත්ව පවතිද්දී ගත හැකි අත් බෙහෙතක් දක්වා ඇත. ඉඟුරු කොටස් 1, කුරුඳු කොටස් 1 සහ ලෙමන් ග්‍රාස් කොටස් 2 ගෙන උණු වතුර කෝප්පයක මිනිත්තු 10 ක් තැම්බෙන්න තබන්න. ඉන්පසු පානය කරන්න. අවශ්‍ය නම් මී පැණි ද එක් කරගත හැකියි. මේ අත් බෙහෙතෙන් සහනයක් ලබා ගතහැකිය.

සෙම්ප්‍රතිශ්‍යා වැනි තත්ත්වවලින් සහනයක් ලද හැකි තවත් අත් බෙහෙතක් තිබේ. ඊට අවශ්‍ය ඉඟුරු කොටස් 2, කුරුඳු කොටස් 3, කරදමුංගු අතැඟිලි තුඩකට අසුවන සුළු ප්‍රමාණයක් ගෙන තම්බා අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක්කර පානය කරන්න.

වමනය වළක්වයි

ගැබිනි වියේ මුල් මාස ගත කරන මවුවරුන් අතර ඉඟුරු ඉතා ජනපි‍්‍ර‍්‍රයය. ඒ එමඟින් වමනය යාම වළක්වා ගත හැකි නිසයි. සැත්කමකින් පසුව ද පිළිකාවලට දෙන කිමෝතෙරපි ප්‍රතිකර්මයෙන් පසුව ද වමනය, ඔක්කාරය නවත්වා ගැනීමට ඉඟුරු කැබැල්ලක් සපා කෑමෙන් පුළුවන.

ආහාර රුචිය වැඩි කරයි

ආහාර රුචිය නීරෝගි දිවියක් පවත්වා ගෙන යාමේදී ඉතා වැදගත් වෙයි. ආහාර රුචිය නංවාලීමට සෑම කෑම වේලකටම පෙර නැවුම් ඉඟුරු කැබැල්ලක් දෙහි යුෂ බින්දු කිහිපයක් ලුණු ස්වල්පයක් එක්කර කෑමට ගන්න.

 

2020/02/19 තරුණි බලන්න