හොඳම එන්නත තෝර තෝරා ඉන්න ගියොත් දන්නෙම නැතිව මරු කටට යාවි

සැප්තැම්බර් 1, 2021

 

විමලාවතී මැගි අක්කා ළඟට ළං වුණේ එන්නත් මධ්‍යස්ථානයේ ලබා දෙනකෝවිඩ් එන්නත ගැන දැන ගන්න. ඇස්ට්‍රසෙනිකා, සයිනොෆාම් එන්නත් දෙකම මෙතැනින් ලබාගත හැකි නිසා විමලාවතීට තමන්‍ට විදින එන්නත ගැන දැන ගැනීමේ පුංචි ආසාවක් ඇති වුණා.

මැගි අක්කා කියන්නේ ගමේ රොයිටර් නෝනා නිසා මේ ගැන හොඳට දන්නවා ඇතැයි ඇය සිතුවා. ඒත් " ඔයා මොන එන්නතද ගන්නෙ ?" ඇහුවම මුහුණු ආවරණයෙන් මැගී ගේ මුව වැසී තිබුණත් ඇස් දෙකෙන් එයාගෙ අසරණකම උතුරලා ගියා. මැගී විතරක් නෙවෙයි එතැනට පැමිණි සිටි සමහරු තමන් ලබාගන්නා එන්නත කුමක්ද කියා දැන සිටියේ නැහැ. එන්නත ලබා ගෙන විමලාවතී පීඑච්අයි මහතා හමු වුණේ එන්නත ගැන අටුවා ටීකා ඇතිව හැම පැටිකිරියක්ම දැන ගන්න. දැන ගෙන මැගී අක්කටත් ඒ ගැන කියලා දෙන්න. මැගී අක්කාට පැවසීම මුළු ගම ම දැනුවත් කිරීමක් වගේ බව ඇය හොඳට ම දන්නවා.

පීඑච්අයි මහත්තයා හෝඩියේ පන්තියෙ දරුවකුට වගේ විමලාවතී ට කෝවිඩ් එන්නත් ගැන 'අ' යන්නේ ඉදලම කියලා දුන්නා.

*අපේ රටේ ලබා දෙන කෝවිඩ් එන්නත් වර්ග මොනවාද ?

ලංකාවේ කෝවිඩ් එන්නත් වර්ග පහක් ලබා දෙනවා. මේ සියල්ලම ලබා දෙන්නේ නො මිලේ. සයිනොෆාම් ( චීන එන්නත ),

ස්පුට්නික් V( රුසියානු එන්නත ), ඇස්ට්‍රසෙනිකා ( කොවිෂීල්ඩ් ), ෆයිසර් බයෝඑන්ටෙක්, මොඩර්නා ඒ එන්නත් වර්ගයි. එන්නත් ලැබෙන විදියට රජයෙන් මේවා මහජනතාවට ලබා දෙනවා. මේ හැම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නව කොරෝනා වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කරන බවට සහතික කළ එන්නත්.

* මේ දිනවල වැඩියෙන් ම කතා බහට ලක්වෙන එන්නත වෙන්නේ සයිනොෆාම් එන්නතයි. ( චීන එන්නතයි. ) අපේ රටට වැඩිපුරම ලැබිලා තියෙන්නෙ මේ එන්නත නිසා වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබා ගැනීමට අවස්ථාව උදා වෙලා. මොකක්ද මේ සයිනොෆාම් එන්නත?

සයිනොෆාම් එන්නතේ භාවිතාකර තිබෙන්නේ අක්‍රීය කරන ලද නව කොරෝනා වෛරසය. අක්‍රීය කරලා තියෙන නිසා සිරුරට ඇතුළු කළාට පස්සෙ ඒ කියන්නේ එන්නත් කළාට පස්සෙ කිසිදු ආකාරයකට බෙදීමකට ලක්වෙන්නේ. ( වර්ධනය වෙන්නේ ) නැහැ. එන්නත නිසා කොරෝනා ආසාදනය වෙනවා කියන අනියත බියක් ඇතිකරගන්න කිසිම හේතුවක් නැහැ. අප ට හොඳින් හුරු පුරුදු පෝලියෝ එන්නත, ජලභීතිකා එන්නත ( රේබීස් වැක්සීන් ) ද අක්‍රීය කරන ලද වෛරස.

මේ එන්නත වයස අවුරුදු 18 ට වැඩි දැඩි අසාත්මිකතාවක් නැති ඕනම කෙනකුට ලබා ගන්න පුළුවන්. ඉදිරියේදී මවු පදවිය ලබන්න සිහින මවන අයට, කිරි දෙන මවුවරුන්ට, ගැබිනි මවුවරුන් ට පවා එන්නත ලබා ගන්න පුළුවන්. එන්නත ගන්න කලින් ගර්භණී ද නැද්ද කියලා බලන්න ඕන නැහැ.

සයිනොෆාම් එන්නත ලබා ගත් අයට නව කොරෝනා වෛරසයෙන් ( කෝවිඩ් - 19 රෝගයෙන් ) සියයට 70 - 80ක රැකවරණයක් ලැබෙනවා.

*ස්පුට්නික් V එන්නතේ තොරතුරු මොනවාද ?

ඇඩිනොවයිරස් නම් වෙනත් වෛරසයක් යොදා ගෙන නව කොරෝනා වෛරසයේ ප්‍රෝටීනය සෑදීමට අවශ්‍ය වෙන ජානමය කොටස් ඇඩිනොවයිරසයට ඇතුළු කරලා එය එන්නත ලෙස ලබා දෙනවා.

වයස අවුරුදු 18 වැඩි නම් එන්නත ගන්න පුළුවන්. ඒත් දැඩි අසාත්මිකතා ඇත්නම්, ගැබිනි නම්, අක්මා - වකුගඩු - ස්නායු ආශ්‍රිත රෝග ඇත්නම්, වලිප්පුව වැලඳෙනවා නම් ස්පුට්නික් V එන්නත ලබා ගන්න බැහැ. ගැබිනි මවුවරුන්ට ලබා ගත නො හැකි එකම එන්නත ස්පුට්නික් - V.කිරි දෙන මවකට එන්නත ගන්න බාධාවක් නැහැ.

එන්නත ලබා ගත් අයට සියයට 92 ක ආරක්ෂාවක් ලැබෙනවා.

* ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතත් දැන් ලංකාවට ලැබී තිබෙනවා. වැඩි දෙනෙක් ගේ කතා බහට ලක්වුණු මේ එන්නත සම්බන්ධ වැදගත් කාරණා මොනවාද ?

මේ එන්නත වයස අවුරුදු 12 ට වැඩි අයට ලබා දෙනවා. ලොව පුරා නව යෞවනයන්ට ලබා දෙන එන්නතක්. දැඩි අසාත්මිකතා ඇති අයට නම් එන්නත ලබා ගන්න බැහැ. සියයට 95 ක රැකවරණයක් ලබා දෙන ෆයිසර් එන්නත සංවර්ධිත රටවල් වැඩි වශයෙන්ම ලබා දෙන එන්නතක්. මේ එන්නතත් අපේ සිරුරේ ජානවලට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ගැබිනි මවකට ඕනෑම මාසයකදී ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන්. කිරි දෙන මවුවරුන්ටත් බිය නැතිව ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන්. බරපතළ නිදන්ගත රෝග ඇත්නම් ( හදවත්, වකුගඩු, අක්මා රෝග, පිළිකා වැනි ) වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ඇස්ට්‍රසෙනිකා ( කොවිෂීල්ඩ් ) පළමු එන්නත ලබා ගෙන දෙවැනි එන්නත නො ලැබුණොත් ඒ අයට දෙවැනි එන්නත ලෙස ලබා ගත හැකි එකම එන්නත ෆයිසර් එන්නතයි.

*මොඩර්නා, ෆයිසර් මෙන්ම ලෝපුරා ජනප්‍රිය තවත් එන්නතක්.

මොඩර්නා එන්නතිනුත් අපේ ජානවලට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. එන්නතින් සියයට 94.1 ක රැකවරණයක් ලැබෙනවා. වයස අවුරුදු 18 ට වැඩි අයට ලබා ගන්න පුළුවන් එන්නතක්.

ගැබිනි වියේ ඕනෑම කාලයක ලබා ගන්න පුළුවන්. කිරි දෙන අම්මලාටත් එන්නතක් ලබා ගන්න පුළුවන්.

  *ඇස්ට්‍රසෙනිකා / කොවිෂීල්ඩ් අපේ රටට මුලින්ම ලබා දුන් එන්නතක්. ගබඩා කිරීමේ පහසුකම් නිසා අපේ රට ට වඩාත් ගැළපෙන එන්නත ලෙස පිළිගැනීමක් ඇති කොවිෂීල්ඩ් මේ වන විට වැඩි දෙනකු ලබා ගෙන තිබෙනවා. එන්නතින් ලැබෙන වාසි මොනවාද?

සිරුරට හානියක් නො වන ලෙසින් නිපදවූ තවත් එන්නතක්. එන්නතේ ඵලදායීතාව සියයට 62 - 90 ක් පමණ වෙනවා. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට ගැබිනි මවුවරුන්ට කිරි දෙන අම්මලාට ලබා ගත හැකි එන්නතක්.

* සෑම කෙනෙක්ම කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකක් අනිවාර්යයෙන් ලබා ගත යුතු ඇයි ?

ලංකාවේ වගේම මුළු ලෝකයේම දත්තවලින් එන්නත් ලබා ගත් අය රෝහල්ගත වන්නේ අඩුවෙන් බව, රෝගය නිසා අසාධ්‍ය වන්නේ සංකූලතා ඇති වන්නේ අඩුවෙන් බව මරණයට පත් වීම ඉතා සීමිත බව වාර්තා වී තිබෙනවා. අගෝස්තු 9 වැනි දින වන විට වාර්තාවූ කෝවිඩ් මරණ 5222 න් 5022 ක් කිසිදු එන්නතක් ලබා ගෙන නැහැ. ඉතිරි දෙසීයෙන් 177 ක් ලබා ගෙන තිබුණේ එක් එන්නත් මාත්‍රාවක් පමණයි.

සියලුම එන්නත්වලින් කරන්නේ සිරුරට නව කොරෝනා වෛරසය ඇතුළත් වුණොත් ඒ වෛරසය හඳුනා ගෙන විනාශ කිරීමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමයි. රෝගය සෑදීමට ප්‍රථම වෛරසය විනාශකර දැමීම සඳහා එන්නත උදව් වෙනවා.

* රෝගය වැලඳී තිබුණත් එන්නත් ලබාගත යුතුද ?

කෝවිඩ් - 19 වැලඳී තිබුණත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුයි. එයින් රෝගයට එරෙහි ප්‍රතිශක්තිය වඩාත් ශක්තිමත් වෙනවා. එන්නත ලබා ගත යුත්තේ කෝවිඩ් - 19 වැලඳී සුවවී සති දෙකකට පසුවයි. රෝග ලකුණු නැතිවී ගිය පසු රෝගය සුවවී ඇති ලෙස සලකනවා.

* එන්නතින් අතුරු ආබාධ ඇති විය හැකිද?

වෙනත් ඕනෑම එන්නතකින් මෙන්ම මේ එන්නතින් ද අතුරු ආබාධ ඇතිවිය හැකියි. එන්නත් කළ තැන ඇතිවන වේදනාව, රතු වීම, උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි ලකුණු ඇති වන්න පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට එන්නත බලපාන ආකාරය වෙනස් වෙනවා. අතුරු ආබාධයක් ඇති නොවුණොත් කලබල වෙන්න එපා. එයින් එන්නතේ ප්‍රතිඵලයක් නැතැයි සිතන්න එපා.

 

 

උපදෙස් -

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන්