දරුවන්ගෙන් රෝගය බෝ වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා

පෙබරවාරි 14, 2022

 

1390, 247, 1999 යන දුරකථන අංක තුනෙන් ‍ඕනෑම කෙනකුට වෛද්‍ය උපදෙස් පැතිය හැකියි.

දාදියෙන් ගත වැසී තිබුණත් සොටු දියර ගැලුවත් අම්මලා දරුවන් සිප ගන්නේ කිසිදු නො මනාපයක් නැතිවයි. ඒ අම්මලා ගේ වාගේම තාත්තලා ගේත් ස්වභාවයයි. ඒත් විසබීජ පරදා ජයගන්න සෙනෙහසට හැකියාවක් නැහැ. විසබීජවලට වැඩිහිටියා පුංචි දරුවා කියා වෙනසක් නැති බව තරයේ සිහි තබාගත යුත්තක්.

‍නව කොරෝනා වෛරසය දරුවන්ට අඩුවෙන් බලපෑ නිසා දරුවන්ගෙන් පරෙස්සම් වීම ගැන වැඩි දෙනෙක් සිතුවේ ම නැහැ. ඒත් රෝග ලක්ෂණ නො පෙන්නුවත් රෝගය දරුවාගෙන් බෝවීමේ හැකියාව තිබෙනවා. කෝවිඩ් - 19 වැලඳුණු දරුවන්ගෙන් සියයට අසූවක් අනූවක් පමණ රෝග ලකුණු පෙන්නුම් කළේ නැහැ. ඔමික්‍රෝන් ප්‍රභේදය අනෙක් ප්‍රභේදවලට වඩා තරමක් වෙනස් විදියට දරුවන්ට බලපානවා. අනෙක් ප්‍රභේද ආසාදන වූ විටදී ද වඩා ඔමිකෝන් ප්‍රභේදය වැලඳුණු විට දරුවන් රෝග ලකුණු පෙන්නුම් කරනවා. ඒත් ඒවා එතරම් දරුණු දිගු කල් පවතින රෝග ලකුණු නො වෙයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, අතපය වේදනාව වැනි ලකුණු ඔමික්‍රෝන් ආසාදනයෙන් ඇතිවිය හැකියි. දරුවා දවස්‍ දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් වෙනත් කෙනකුට රෝගය බෝ වීමේ හැකියාව නැති වන්නේ නැහැ. දරුවකු ට රෝගය වැලඳී දින දහයක් පමණ ගතවෙනතුරු වෙන කෙනකුට රෝගය බෝ වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා දරුවා වෙන්කර තැබීම, නිරෝධායනය කිරීම සෞඛ්‍ය නීති අකුරට පිළිපැදීම වැදගත්.

 

කෝවිඩ් එන්නතේ ඇත්ත කතාව

වෙනත් බොහොමයක් එන්නත් ලබා දෙන්නේ රෝග වැලඳීම වළක්වන්නයි. ඒත් කෝවිඩ් - 19 සඳහා එන්නත් ලබා දෙන්නේ රෝගයෙන් දරුණු අතුරු ආබාධ ඇතිවීම වළක්වන්නයි. එන්නතින් සියයට අනූවක්ම වාගේ අතුරු ආබාධ ඇති වීම වළකිනවා. එන්නත් ගැසූ පසු කෝවිඩ් වැලඳීමේ යම් අඩුවක් තිබෙනවා. ඒත් රෝගය වැලඳෙන්න පුළුවන්. විශේෂයෙන් වයස පනහට අඩු පනස් දහසකින් එක් අයකුට ඇස්ට්‍රෙසනිකා වැනි කෝවිඩ් එන්නත්වලින් රුධිර නාලවල ඇතිවන රුධිර කැටි ඇති වීමේ අවදානමක් පවතිනවා. ෆයිසර් එන්නතේ අතුරු පල විපාකයක් ලෙස හෘද මාංස පේශීන්වල ප්‍රදාහ තත්ත්වයක් ඇතිවිය හැකියි. මේ තත්ත්වය ළමයින් හා තරුණ පිරිමින් අතර වැඩියි. මිලියනයක් ෆයිසර් එන්නත ලබා ගත්තොත් පහළොස් දෙනකුට හෘද මාංස පේශීන්වල ප්‍රදාහ තත්ත්වයක් ඇති වන්න පුළුවන්. මෙය හෘදයට දිගු කාලීනව බල නො පාන පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්.

තරුණයන්ට ලිංගික ගැටලු ඇතිවන්නේ නැහැ

තරුණයන්ට ලිංගික ශක්තිය දුර්වල වීමට ලිංගික ගැටලු ඇති වීමට කිසිදු කෝවිඩ් එන්නතක් බලපාන්නේ නැහැ. එය සමාජ ජාලාවල පැතිරෙන මිථ්‍යා මතයක් පමණයි. මේ මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැති නිසා සමාජජාලාවල පැතිරෙන මතවලට රැවටෙන්න එපා.

ගැබ් ගැනීමට ද එන්නතේ බලපෑමක් නැහැ. පිරිමින් ගේ ශුක්‍රාණුවල වෙනසක් ඇති කිරීමට එන්නත බලපාන්නේ නැති බව පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

 

බූස්ටර් එන්නත ලබා  නො ගැනීම තමන් ගේ වළ තමන් විසින් ම කපා ගැනීමක්.

මුල් මාත්‍රා දෙක නො ගත් අය මුල් මාත්‍රා දෙක ලබා ගැනීමත් මුල් මාත්‍රා ගත් අය බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමත් ඉතා වැදගත්. මුල් මාත්‍රා දෙක ලබා ගෙන මාස තුනකට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතුයි. එය අත්‍යාවශ්‍යයි. බූස්ටර් මාත්‍රාව ගැනීමට පෙර කෝවිඩ් - 19 ආසාදනය වුණොත් කෝවිඩ් ආසාදනය වූ දිනයේ සිට මාසයක් ගත වන තුරු බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සුදුසු නැහැ.

 

මේ කාලයේ හැදෙන හැම උණකට ම හේතුව කෝවිඩ් කියලා හිතන්න එපා.

උණ සෑදුණු විට කෝවිඩ් කියා සිතා නිරෝධායනය වී අකාලයේ අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණු ජීවිත කෙතරම්ද ?

වර්තමානයේ ඉන්ෆ්ලුවෙන්සා ෆ්ලූ වෛරස් රෝග තත්ත්වයකුත් ඩෙංගිත් පවතිනවා. රෝග සියල්ලම පටන් ගන්නේ එක වගේ ලකුණුවලින්. ඒ නිසා උණ සෑදුණු විට කෝවිඩ් කියා නිවෙසටවී නිරෝධායනය නොවී උණට හේතුව සොයා බැලීමට වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂණයකට යොමු වෙන්න. රෝග තුනේම සමාන ලකුණු ඇති නිසා තමන්ට වැලඳී ඇත්තේ කුමන උණ ද කියා කාටවත් කියන්න බැහැ.

ඉන්ෆ්ලුවෙන්සා වළක්වන එන්නත් ලංකාවේදීත් ලබා ගන්න පුළුවන්. එය ඉන්ෆ්ලුවෙන්සා උණ පවතින මේ කාලයේ ලබා ගැනීම වැදගත්.

තමන්ට ඇත්තේ කුමන රෝගය ද කියා දැන ගැනීමට වෛද්‍යවරයකු වෙත යන්න ඕන නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 247 දුරකථන අංකය අමතා ගැටලුව පවසන්න. මේ දුරකථනය දවසේ පැය 24 පුරාම විවෘතයි. පිළිතුරු ලබා දෙන්නේ වෛද්‍යවරයකු විසින් මයි.

 

ජ්‍යෙෂ්ඨ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බී. ජේ. සී. පෙරේරා

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව