වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මේ පෝෂණය ගැන හිතන්න ම ඕන කාලයක්
අපට විවිධ කාලවල නොයෙකුත් අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වනවා. අපේ සමහරු වසංගතය අවසන් කියා සිතුවත් තවමත් වසංගතයත් අවසන් නැහැ. ඒ සියල්ල මැද විදුලි කප්පාදුව, ආර්ථික උද්ධමනය නිසා අප නො සිතන සුව ගැටලුවකට මැදි වෙමින් සිටිනවා. ඒ පෝෂණ ගැටලුයි.
වරින් වර විදුලිය කප්පාදු කරන විට ශීතකරණයේ ආහාරවල ගුණාත්මක භාවයට හානි වෙනවා. චීස්, කිරි වැනි කිරි නිෂ්පාදන, බිත්තර, ඉතිරි වුණු මාංස ආහාර ෆැරන්හයිට් අංශක 37 ක උෂ්ණත්වයක තබා නො ගත්තොත් පහසුවෙන් ම බැක්ටීරියා වර්ධනය වී ආහාර නරක් වෙනවා. විදුලියෙන් තොරව ශිතකරණයේ ආහාර පැය 4 ක් හොඳ තත්ත්වයේ තබාගත හැකියි. එහෙත් ඒ ශීතකරණයේ දොර විවර නො කරන්නේ නම් පමණයි.
ඒ නිසා විදුලිය කප්පාදු වන මේ කාලයේ අපි ශීතකරණයෙන් ආහාර ගැනීමේදී වෙනදාට වඩා විමසිලිමත් විය යුතුයි.
විදුලි කප්පාදුවට අමතරව ගෘහණිය මේ කාලයේ මුහුණ පා සිටින අනෙක් දැවෙන ප්රශ්නය එළවළු, පලතුරු ඇතුළු ආහාරවල මිල අහස උසට ඉහළ යාමයි. අල්ලක් සිටුවා මල්ලක් වැපිරූ පරම්පරාවකින් අප පැවත එන නමුත් අද නම් අපේ ගෘහණියන් පුරුදු වී සිටින්නේ කාට හෝ අත පෑමටය. එසේ නැත්නම් කිසිදු ගුණයක් නැති සීනි, ලුණු, තෙල් අධික ආහාරවලින් කුස පුරවා ගැනීමටයි.
මෑතකදී පොතක් දොරට වැඩීමට පැමිණි මහාචාර්යවරයකු පැවසුවේ ඔහුට කොස් ගසක් දැක නැති දූදරුවන් තිදෙනකු සරසවියේදී හමුවූ බවයි. ගමේ කොස් වාරයට කාන්තාවන් ආරන බවට කතාවක් තිබෙනවා. කොස් කියන්නේ ලාංකික අපට ජාතික ආහාරයක් බඳු දෙයක්. එහෙත් කොස් ගස හඳුනන්නේ නැති දරුවන් සිටින තරමට වත්මන් සමාජය පිරිහිලා.
ආහාර පරිභෝජනය , ආහාර අර්බුදයක් දක්වා දුරදිග යාමට අපේ ජීවන රටාව වෙනස් වීම තදින් ම බලපාලා තියෙනවා.
වියළි දණ්ඩක් විසි කළත් පැළ වෙන මේ සරුසාර බිමේ ආහාරයට ගත නොහැක්කේ මොනවාදැයි සිතෙන තරමට ගස්වැල් පිරී ඉතිරී තිබෙනවා. සෑම පළාතකට ම ආවේණික ආහාර බෝග තිබෙනවා. එහෙත් අඹ වාරයට ගස මුල අඹ කුණු වී යද්දී සුපිරි වෙළෙඳ සලට ගොසින් වටේ ඉටි ගල්වපු විසැති ඇපල් ගෙඩියක් ඉහළ මුදලක් ගෙවා රැගෙන ඒමට තරම් අද අපේ ගෘහණියන් අනුවණ වෙලා. අඹ වාරය, කොස් වාරය, බිලිං වාරය, දෙහි වාරය, රඹුටන් - දූරියන් වාරය ආදී වශයෙන් වසර පුරාම අඩුවක් නැතිව අපට සොබා දම එළවළු, පලතුරු ලබා දෙනවා. ඉන්නල, දන්දිල වැනි අල වර්ග ගලවන කාල වෙන වෙන ම තියෙනවා. අපේ මුතුන් මිත්තන් ඒ ඒ ආහාර වාරවලදී වැඩිපුර ඇති ආහාර වියළා කල් තබා ගත්තා. හොඳම උදාහරණයක් අටු කොස්, වැලි කොස් ඇට. දෙල් වාරයට දෙල් පෙති කපා වියළා සීනි දමා කෑවේ අතුරුපසක් විදියට. අපට නැවතත් අත්තම්මාගෙන් ඒ පාඩම් ඉගෙන ගන්න වෙලා.
වත්තේ පිටියේ ඇති වැල් පෙනෙල වැල, මොනරකුඩුම්බිය - පොල්පලා- තෙබු - කිරි අගුණ කොළ එක් කර රසවත් කලවම් මැල්ලුමක රස බැලුවේ මනා පෝෂණයක් ද ලබමින්. සෑම නිවෙසක ම වාගේ පැෂන් ෆෘට් වැලක්, ජපන් බටු ගහක්, කතුරුමුරුංගා ගහක්, නිවිති වැලක්, මඤ්ඤොක්කා ගසක්, කරපිංචා ගසක්, මුරුංගා ගසක්, මිරිස් පැළයක් තිබුණා. ගොටුකොළ, තම්පලා පාත්ති වැව්වා. අඩු ඉඩක, ජලයේ පවා ශාක වවාගත හැකි තාක්ෂණයන් අද ඕනෑ තරම්. එතරම් පහසුකම් තිබිටදීත් සියල්ල මුදලට ගැනීමට බලා සිටීම මුදල් පසුම්බිය හිස්කර ගැනීමක් පමණක් නො වෙයි අප විසින් ම අප මන්ද පෝෂණ තත්ත්වයට පත්කර ගැනීමක්. බලන්න ඔබේ ගෙවත්තේ කලවම් මැල්ලුමකට ගතහැකි මොනතරම් ශාක වර්ග තිබෙනවාද කියලා.
වයස අවුරුදු පහට අඩු දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට මනා පෝෂණයක් අවශ්‍යයි. වත්තේ පිටියෙන් ම පෝෂණ ඌනතාවක් ඇති වීම පහසුවෙන් ම වළක්වා ගත හැකියි නේද ?
උපදෙස්-
විශේෂඥ වෛද්‍ය
සායනික පෝෂණවේදී
රේණුකා ජයතිස්ස