දරුවන් අතරේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා A, B, පැරා ඉන්ෆ්ලුවන්සා

ජුනි 20, 2022

 

 වැඩිහිටියනුත් ප්‍රවේසම් වන්න

 මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍යයි

 දරුවන් පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා!

පුංචි දරුවන් අසනීපවෙද්දී අම්මලා කලබලයට පත්වීම අරුමයක් නොවේ. මේ දිනවල ක්ෂණිකවම පැතිර යන ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් නිසා දරුවන්ව හැකි පමණින් ආරක්ෂා කරගත යුතුව ඇත. එමෙන්ම දැඩි ඖෂධ හිඟයක් ද තිබෙන බැවින් මෙවන් වකවානුවක රෝ දුක් පීඩාවන්ගෙන් හැකි තරම් ඈත් ව සිටීමට පියවර ගත යුතුයි.

 

මෙලෙස දරුවන් අතර වැඩි වශයෙනුත් වැඩිහිටියන් අතරත් දක්නට ලැබෙනුයේ ඉන්ෆ්ලුවන්සා A, B, පැරා ඉන්ෆ්ලුවන්සා යන රෝගී තත්ත්වයි. මෙය සීතල කාලවල දී සීතල දේශගුණයක් සහිත රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි. පසුගිය දිනවල අපේ රටේ ඇති වූ වර්ෂාපතනයත් සමඟින් මේ තත්ත්වය පැතිර යන්නට පටන් ගෙන ඇතැයි වෛද්‍යවරු අනුමාන කරයි. ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් වන මෙය බෝ වීම වඩාත් පහසු කරයි.

රෝග ලක්ෂණ

 කැස්ස

 හෙම්බිරිස්සාව

 උණ

 නාසය සිරවීම

 හුස්ම ගැනීමේ අපහසුතාව

 ඇතැම් විට පපුවේ වේදනාව

 වමනය

 

මුඛ ආවරණ

සාමාන්‍යයෙන් දින හතරක පමණ කාලයක් මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය පවතී. කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ යම් අඩුවක් දක්නට ඇති නිසා මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දුන්න ද ඉහත කී රෝග ලක්ෂණ ඇති බාල මහලු කොයි කවුරුත් තවදුරටත් මුඛ ආවරණ පැලඳ සිටීම අත්‍යවශ්‍ය වේ.

මේ රෝග ලක්ෂණ ඇති දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල් නොයවා සිටීමට ආදරණීය මවුවරුන්, පියවරුන් වගබලා ගත යුතුවේ. වැඩිහිටියන් රැකියා ස්ථාන බලා පිටත්ව යන්නේ නම් ආවට ගියාට නොව සැලකිල්ලෙන් මුඛ ආවරණ පලඳින්න.

 

වැඩිහිටියන් අතරත්

කාලයක් තිස්සේ පවතින දියවැඩියාව, ස්වසන රෝග, පිළිකා තත්ත්ව, ප්‍රතිශක්තිකරණය අඩු අය, ගර්භණී මව්වරුන්ට මෙය තරමක් භයානක තත්ත්වයක් වීමට පුළුවනි. දරුවන් අතර පමණක් නොව ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිහිටියන් අතර ද පැතිර යන බව හොඳින් මතක තබා ගන්න.

කළ යුතු වන්නේ හැකි තරම් රෝගය පැතිරීම වළක්වා ගැනීමයි. එසේ නො වුණහොත් මේ ඉන්ෆ්ලූවන්සා තත්ත්ව යටතේ ඇතිවන සංකූලතා අතුරු ආබාධ වළක්වා ගත නො හැකි වේවි. මෙසේ සංකූලතා ලෙස නියුමෝනියාව, ද්විතීයීක බැක්ටීරියා ආසාදන ඇතිවීමට ඉඩ තිබේ. සංකූලතා උග්‍ර වී කලාතුරකින් මරණය පවා ඇතිවිය හැකියි.

 

ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ

හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම්, වමනය දිගටම ඇතිවිට විජලන තත්ත්වයක් දක්නට ලැබේ නම් නිසැකවම රෝහලක් කරා යෑමට සිදුවේ. කැස්ස, හෙම්බිරිස්සාව, උණ සාමාන්‍ය තත්ත්වයට ඇත්නම් අදාළ මාත්‍රාව අනුගමනය කරමින් පැරසිටමෝල් ලබාගත යුතුවේ.

 

පෝෂණීය ආහාර වේලක්

පවතින ආර්ථික අර්බුදයන් හමුවී පෝෂ්‍යදායී ආහාර වේලක් වැඩිහිටියන් කෙරෙන් පමණක් නොව දරුවන් කෙරෙන් පවා ක්‍රමයෙන් ඈත් වෙමින් පවතී. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇති දරුවන් වැඩිහිටියන් සියල්ල ම හැකි තරම් කෑමෙන් බීමෙන් සන්නද්ධ වී සිටිය යුතුයි. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නොවී තබා ගැනීමටයි.

 

පුංචි දරුවන් නෑවීම

හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් පමණක් නෑමෙන් වැළකී ඇඟපත සේදීම පමණක් කළ හැකියි. එසේ නොවේ නම් දරුවන් නෑවීමේ වරදක් නොමැත.

 

විදෙස් රටවල තත්ත්වය

සාමාන්‍යයෙන් විදෙස් රටවල ඉන්ෆ්ලූවන්සා තත්ත්ව සඳහා වසරකට වරක් එන්නතක් ලබාදීම සිදුවේ. මේ සඳහා ඉලක්ක ගත කණ්ඩායම වන්නේ කාලයක් තිස්සේ පෙනහලු රෝග ඇති අය, ගර්භණී මාතාවන්, සෞඛ්‍ය සේවකයන්, අවුරුදු 60ට වැඩි අය හා ප්‍රතිශක්තිකරණය අඩු අයයි. අපේ රටේ තවමත් එවැනි තත්ත්වයක් නොමැති නිසා හැකි තරම් උත්සාහ ගත යුතු වන්නේ රෝගය පැතිරීම වළක්වා ගැනීමටයි. වයිරස් තත්ත්වයක් නිසා එතරම් ගණන් නො ගෙන සිටීමට කෙනකු පෙලඹේවි. එහෙත් ද්වීතීයීක බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකි නිසා කිසිසේත්ම මේ ඉන්ෆ්ලූවන්සා තත්ත්වය සුළු කොට තැකිය නොහැකි බව සිතට ගත යුතුයි.

 

උපදෙස් - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ

වෛද්‍ය දීපාල් පෙරේරා