වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කවදාවත්ම නැතුව මොකද මේ තරම් ඩෙංගු
ඩෙංගු රෝගය වසරකට කිහිපවතාවක්ම හිස ඔසවමින් තිබියදිි දැන් දැන් වසර පුරාවටම ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන තත්ත්වයක් උදා වී තිබේ. මේ වන විට රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වසරේ ගෙවුණු මාස කිහිපයට පමණක් ඩෙංගු රෝගීන් 29000 ක් පමණ වාර්තා වී ඇත. පසුගිය වසර පුරාවටමත් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 76689 කි. ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කර ඇති දත්තයන් අනුව පසුගිය වසරේ ඩෙංගු මරණ 72 ක් වාර්තා වී ඇති අතර මේ වන විට මේ වසරේ මරණ 15 ක් වාර්තා වී තිබේ.
මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතුරින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය සියයට 49 කට ආසන්න අගයකි. මීට අමතරව දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 55 ක් අධි අවදානම් කලාප ලෙස නම්කර තිබේ. ඒ දිස්ත්‍රික්ක අතරට කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, මාතලේ, රත්නපුර අයත් වේ. මේ වනවිට සතියකට රෝගීන් 2000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ. එය ලංකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් බවට පත් විය හැකියි.
පාසල් දරුවන් සහ ශ්‍රම බලකාය
ලංකාවේ ඩෙංගු වැලඳුණු රෝගීන්ගේ ප්‍රතිශතය ගත්කල ඉන් සියයට 25 ක්ම පාසල් දරුවන්ය. සියයට 62 ක්ම අවුරුදු 20 - 55 අතරේ පසුවන ශ්‍රම බලකායයි.
ඒ අනුව දිවා කාලයේදි ඉහත වයස් කාණ්ඩවල පසුවන්නන් සිටින පාසල්, උපකාරක පංති, වැඩ බිම්, රාජකාරී ස්ථාන යනාදියේ සිටින නිසා එම ස්ථානවල මදුරුවන් වැඩි වශයෙන් ගැවසෙන බව මනාව ඔප්පු වේ.
ප්‍රභේද 4ක්
ඩෙංගු වයිරසයේ ප්‍රභේද 4 ක් තිබේ. එක් ප්‍රභේදයක් සෑදුණු කෙනකුට තවත් ප්‍රභේදයක් වැලඳීමට පුළුවනි. දෙවතාවක්, තුන්වතාවක් ඩෙංගු රෝගය වැලඳීමෙන් සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් ශරීරය දුර්වල වීමයි.
ඉදිරියේදී ඇතිවන මෝසම් වර්ෂාපතනය සමග මදුරුවන් බෝ විය හැකි ස්ථාන තවතවත් සක්‍රීය වී මදුරු ඝනත්වය ඉහළ යා හැකියි. එය එසේ සිදු වුවහොත් ඩෙංගු රෝගීන් දෙගුණයක් පමණ වැඩිවීමට පුළුවනි. ප්‍රධාන වශයෙන් ඩෙංගු බෝ කරන මදුරු විශේෂ දෙකක් අපේ රටේ සිටියි. ඒ aedes aegypti සහ Aedes alnbopictus යන මදුරුවන්ය. මොවුන්ගෙන් නාගරික වශයෙන් ඩෙංගු රෝගය බෝ කරන වාහකයා වන්නේ Aedes aegypti යන විශේෂයයි. ප්‍රධානම වාහකයා වන්නේද Aedes aegypti වර්ගයමයි. මෙම මදුරු විශේෂ දෙකම දිවා කාලයේදී මිනිසුන්ගේ රුධිරය උරා බීම සිදු කරයි. මොවුන්ගේ බෝ වීම සිදුවන්නේ පිරිසුදු ජලය සහිත බඳුන්වලයි. ඉවතලන ද්‍රව්‍ය, තාවකාලිකව ඉවත් කර ඇති භාජන, විසිතුරු මල් බඳුන්, ජල ටැංකි, බැරල් , වැහි පීලි , ටයර්, කොන්ක්‍රීට් ස්ලැබ්, භාවිත නොකරන වැසිකිළි කටවල්, ශීතකරණ තැටිය, සින්ක්වල වතුර ලීක් වලට තබා ඇති භාජන ආදියේ බෝ වීම සිදුවේ.
නිවෙස් සහ ගොඩනැගිලි ඇතුළත ඩෙංගු වයිරසය ඇති කරන ප්‍රධාන වාහකයා වන Aedes aegypti යන මදුරුවා නිවෙස් තුළ, ගොඩනැගිලි තුළ ආදී ඇතුළත ප්‍රදේශවල ලේ උරා බීමට සහ විවේක ගැනීමට රුචිකත්වයක් දක්වයි. මිනිසුන් විසින් ම සාදා ගත් ස්ථානවල රැඳෙන පිරිසුදු ජලය ට අමතරව ගස් බෙන වැනි ස්ථානවල රැඳෙන පිරිසුදු ජලයේද ඩෙංගු මදුරුවන් බිත්තර දමයි.
පෘෂ්ටයේ බිත්තර අලවන ඩෙංගු මදුරුවා ඩෙංගු මදුරුවන්ගේ ඇති විශේෂත්වය වන්නේ සෘජුවම වතුරට බිත්තර නොදැමීමයි. වතුර සහිත පෘෂ්ඨයක බිත්තර අලවයි. එම භාජනයේ වතුර ඉවත් කළත් මාස 6 ක පමණ කාලයක් වුවත් එම බිත්තර තිබේවි.
ඇළ දොළ , කාණු ආදියේ ඩෙංගු මදුරුවන් සිටී යැයි මිනිසුන් අතර මතයක් ගොඩනැඟී තිබේ. ඩෙංගු මදුරුවන් බෝවන්නේ පිරිසුදු ජලයේම පමණි.
රාත්‍රී කාලයේ මදුරුදැලකින් ආවරණය වී නින්දට ගියත් ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා විය නොහැකිවන්නේ මොවුන් දහවල් කාලයේ දෂ්ට කරන නිසයි.
සක්‍රිය කාලය
ප්‍රධාන වශයෙන් උදේ 6.00 සිට 10.00 දක්වාත් සවස 3.00 සිට 6.00 දක්වාත් ඩෙංගු මදුරුවන් සක්‍රිය වී සිටිමින් දෂ්ට කරයි.
දැනට වැලදී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් පාසල් යන වයසේ ළමුන් සහ ශ්‍රම බලකාය වේ. එම නිසා පාසල්, පෞද්ගලික උපකාරක පංති, රාජ්‍ය ආයතන, කර්මාන්තශාලා ,වැඩබිම් ආශ්‍රිතව මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතුය .
ඩෙංගු මර්ධනය සඳහා නිවැරැදි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම මෙලෙස වසරින් වසර මෙම රෝගය මෙසේ වර්ධනය වීමට ප්‍රධානම හේතුවයි.
ඩෙංගු මදුරුවන්ගේ බෝවීම පිළිබඳ පර්යේෂණ සිදු කරන්නේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින් විසිනි. යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය වැඩිවනවාද නැද්ද යන්න පිළිබඳ මාසයකට පමණ පෙරදී මේ නිලධාරින්ට කිව හැකියි. එසේ නම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තත්ත්වය පාලනය කළ හැකියි. වර්තමානයේ මෙම වැඩසටහන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් දක්වා තත්ත්වය භයානක වී තිබේ.
මීට අමතරව කීට විද්‍යා සමීක්ෂණ දත්ත නිසි ආකාරයට භාවිත නොකිරීම, එම සමීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම, ඒවා සඳහා නිවැරැදි වැඩපිළිවෙළක් සකස් නොකිරීම සහ ඒ නිලධාරීන් සදහා අවශ්‍ය කරන වැඩිදුර පුහුණු පහසුකම් ලබා නොදීමද බලපා ඇත.
ධූමායනය සීමාසහිත කිරීම ද මෙයට හේතුවකි. රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කොට ඩෙංගු මර්ධනය කිරීමේ උත්සාහයක නියැළෙයි.එය සාර්ථක නැත. ධූමායනය පරිසරයට අහිතකර වුවත් වෙනත් විකල්ප කරා යා යුතුවන්නේ අත්හදා බලමින් පියවරෙන් පියවරටයි.
ඕනෑම දුමකට මදුරුවන් විකර්ශණය වේ. කොහොඹ කොළ, පොල් කටු, පොල් ලෙලි පිළිස්සීමෙන් මදුරුවන් විකර්ශණය වුවත් එය තාවකාලික ප්‍රතිකර්මයකි. එහෙත් ධූමායනයෙන් ඩෙංගු මදුරුවන් මිය යයි.
ධූමායනය කරන විටදී නිවෙස්වල ජනෙල්, දොරවල් හොඳින් විවෘත කර තැබිය යුතුයි. නිවෙස් ඇතුළත ධූමායනය කළ නොහැකියි. ඒ ඊට යොදා ගන්නා උපකරණ ගිනි ඇවිලෙන සුළු ඒවා නිසයි. විදෙස් රටවල සීත ධූමායනයන් පවතී.එහි දුමක් නැත. වතුරට සමාන දෙයක් ඉසියි. පර්යේෂණ කරමින් එවැනි ක්‍රමවලට යා යුතු කාලය එළැඹ තිබේ.
උපදෙස් :
සෞඛ්‍ය කීට විද්‍යඥ දිස්නක දිසානායක
(ජාතික සංවිධායක සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය)