ප්‍රසූතියෙන් පසු සුවබර හෙළ ඔසු

ඔක්තෝබර් 7, 2024

 

එහිදී කායික හා මානසික නිවී සැනසිල්ල ලැබිය යුතුම වෙයි. මෙම අවස්ථාවේදී තවදුරටත් ගර්භාෂයේ ශේෂව පවතින අපද්‍රව්‍ය රැසක් පිට කිරීමේ අධික ශුල වේදනාව සංසිඳීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර කළ යුතු වේ.

මේ පිළිබඳ අවශ්‍ය කෙම් ක්‍රම කිහිපයක් පෙර ලිපියෙහි ද අප සඳහන් කර තිබේ. එහිදී මෙයට වඩාත් ගැළපෙන තවත් ඖෂධ සුරාවක් මෙවර අපි ඉදිරිපත් කරමු.

බ්‍රැන්ඩි නමැති සුරා බෝතල් භාගයකට තිප්පිලි කලන් දෙකක් පමණ කබලේ බැද කුඩු කර එයට කලවම් කර මේස හැන්දක ප්‍රමාණයක් බීමට දීම ඉතාම යෝග්‍ය බව සාරාර්ථ සංග්‍රහය නමැති අතිඋතුම් වෛද්‍ය ග්‍රන්ථයේ පවා සඳහන්ව ඇත. මෙවැනි ඖෂධ සුරා වර්ග, කැඳ වර්ග, පේයාව වර්ග මාසයක් පමණ දීම ඉතා යෝග්‍ය වේ. සාමාන්‍ය ප්‍රසවයක් සිදු වී සතියක් පමණ ගත වූ පසු මව අසාමාන්‍ය පීඩාවන්ගෙන් තොරව සිටියි නම් ගර්භාෂගත අපද්‍රව්‍ය පිරිසුදුවීම, ක්‍රමානුකූලව බැහැරවීම සිදු වන්නේ නම් සූතිකා අතුරු ආබාධ නොමැත්තේ නම් සූතිකා කායම් හොද්ද නමැති සරල ආහාරය ඉතා සුදුසු වේ.

එම කායම් හොද්ද සකස් කිරීම මෙසේ සිදු කළ යුතු වෙයි. සුදු ලුනු, ගම්මිරිස්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ගොරකා, සියඹලා, රම්පෙ, කරපිංචා, ඉඟුරු, මුරුංගා කොළ අවශ්‍ය ප්‍රමාණයට සම භාගව ගෙන සිහින් වෙන්නට අඹරා කායම් හොද්ද සාදා ගත හැකියි. මෙය ඉතාම කාලෝචිත වූ ආහාරමය හා ඖෂධීය ගුණයෙන් අනූන වූ පහසුවෙන් දිරවිය හැකි ගුණාත්මක ඖෂධීය ආහාරයකි. මෙමඟින් ගර්භාෂ සංකෝචන ගුණය, මලබද්ධය වළකාලන බව විරේචක ගුණය, බඩගින්න හොඳින් ඇතිවීම, ස්නායු උත්තේජක ගුණය, ප්‍රතිශක්තිකරණ ගුණය, ශරීරයේ වේදනා නාශක ගුණය නොඅඩුව ඒකාරාශි වූ ආහාරමය ඖෂධයක් ලෙස මෙම කායම් හොද්ද වැඩිදුරටත් සඳහන් කළ හැකිවේ. එමෙන්ම ඖෂධ චිකිත්සාවේදී ද ජ්‍යොතිෂය ගුප්ත විද්‍යාවේද එක සමානව සඳහන් කර ඇති සූතිකා ස්නානය කොළ තැවිල්ල ද සඳහන් කරමු.

සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් දෙසතියකට පසු කාලයේදී පාවට්ටා කොළ, බෙහෙත් එඬරු කොළ, කොහොඹ කොළ, සියඹලා කොළ, නික කොළ තම්බා එම කොළ පොට්ටනියෙන් වැදූ මවගේ කටී ප්‍රදේශය තැවීම කර එම උණු දියෙන් ඇඟ සෝදා එයට පසු ස්නානය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙය දින 7ක් දරු ප්‍රසවයෙන් දෙවැනි සතියේ සිට සිදු කරයි.

එමෙන්ම මෙම කාලයේදී සූතිකා මවට ඇතිවන තවත් රෝගයක් වන්නේ මෙයට පෙර ද සඳහන් කළ සූතිකා ද්වර අවස්ථාවයි. මෙය යම් ආකාරයකින් ඇති වන්නේ නම් අමු ඉඟුරු, කහ, වියළි ඉඟුරු සම භාගව ගෙන සිහින් වෙන්නට කොටා වණ්ඩුවේ තම්බා පැසෙන වතුරට දමා මිරිකා ගත් ඉස්ම අඬු කෝප්ප භාගයකට සීතාරාම වටී 4ක් කුඩු කර එයට මිශ්‍ර කර මී පැණි ද තේ හැන්දක් දමා දවසට දෙවරක් බීම ඉතා ගුණදායක වෙයි.