ලස්සන වෙන්න කන කැරට් ලස්සනට කපමු

අගෝස්තු 11, 2021

 ප්‍රණීත රසය නිසා බොහෝ දෙනා විවිධාකාරයේ එළවළු සලාදවලට මෙන්ම ආහාර අලංකාර කිරීම සඳහා යොදා ගනී.

කැරට් සම්බෝලය සඳහා ඉතා සිහින් ලෙස කැරට් ලියා ගත යුතුය.

 

අදත් අපි ඔබට ඔසුකුටියේ දී වැදගත් වන ආහාර කැපීමේ කලාව පිළිබඳ තවත් තොරතුරු ගෙන ආවෙමු. ආහාරය කොතරම් රසවත් වුවත් එහි පෙනුම ආහාරය ගැනීම සඳහා යම් ‍පෙළඹවීමක් නොකරන්නේ නම් එය ප්‍රියමනාප ආහාරයක් නොවේ.

මුලින් ම ආහාරයක් ඇසට හා නාසයට දැනිය යුතුය. ඇසට එහි ප්‍රියමනාප පෙනුම දැක නාසයට එහි සුවඳ දැනුණු විට එම ආහාරය ගැනීමට සිතට කැමැත්තක් ඇතිවේ. මේ නිසා ආහාරයක් සැකසීමේ දී ඒ පිළිබඳ ද ඔබගේ අවධානය යොමු කළ යුතුය.

ඉවුම් පිහුම් කලාවේ දී එළවළු පලතුරු කපන ක්‍රම විවිධාකාර වීමේ එක් හේතුවක් වන්නේ එයයි. එවැනි ක්‍රම ඉගෙනීම මඟින් ඔබගේ සූපවේදී හැකියාව වැඩි දියුණු වේ. මෙය කලාවක් වන්නේ ද එහෙයිනි.

අල වර්ග බොහොමයක් අප විවිධාකාරයෙන් ආහාරය සඳහා එක්කර ගනී. ඉන් ප්‍රධානම අල වර්ගයක් වන අර්තාපල් අල විවිධාකාරයට සැකසීමේ දී කපා ගන්නා ක්‍රම පිළිබඳ පසුගිය සතියේ දී ඉදිරිපත් කෙරිණි. අද තවත් රසවත්, ගුණවත් මෙන්ම සිත් ඇදගන්නා පෙනුමකින් යුතු කැරට් විවිධ ක්‍රමවලට සැකසීමේ දී කපා ගන්නේ කෙසේ දැයි සොයා බලමු.

තැඹිලි පැහැති සිත් ඇදගන්නා සුළු පෙනුමකින් යුත් කැරට්, අමුවෙන් ද ආහාරයට ගත හැකි වීම විශේෂත්වයකි. මෙහි ඇති වර්ණවත් බව නිසා ම ආහාර අලංකරණයේ දී පවා විවිධාකාරයෙන් සුලබව යොදා ගන්නා අල වර්ගයකි. කැරොටීන් අධිකව අඩංගු බැවින් සිරුරට ලබා දෙන පෝෂණ ගුණය ද ඉහළ ය.

* බෘෘනොයිස් කැපුම

බෘෘනොයිස් කැපුම ලෙස හඳුන්වන්නේ කැරට් කුඩා කොටු හැඩයට කපා ගැනීමයි. කුඩා ඝනකයක හැඩය එන ලෙස කපන මේ කැපුම කැරට් කිරට ඉවීමේ දී එළවළු සලාදයට යොදා ගැනීමේ දී කපන ක්‍රමයකි.

* ජුලියන් කැපුම

මේ කැපුම සිහින් දිගටි හැඩයට තීරු ලෙස අලය කපා ගැනීමයි. මෙය අඟලේ අඟල් එකහමාරේ පමණ දිග කැබැලි වේ. කිරට කැරට් ඉවීමේ දී මෙන්ම ඇතැම් සලාදවර්ගවලට, තෙල් දැමීමට

ආදියට මේ ආකාරයට කැරට් කපා ගනී.

* තම්බා ගැනීම සඳහා කැරට් කපා ගන්නා විට අඟල් 1/4 ඝනකමටත් අඟල් 1 1/2 ක් පමණ දිගටත් කපා ගත යුතුය. මෙලෙසින් තම්බා සම්බෝල ආදිය සෑදීමට ද හැකිය.

* කැරට් සම්බෝලය සඳහා ඉතා සිහින් ලෙස කැරට් ලියා ගත යුතුය. දැන් නම් මේ සඳහා කුඩා ග්‍රේටරයක් භාවිත කළ හැකිය. අමුවෙන් කෑමේ දී මෙයින් ලැබෙන ප්‍රණීත රසය නිසා බොහෝ දෙනා විවිධාකාරයේ එළවළු සලාදවලට මෙන්ම ආහාර අලංකාර කිරීම සඳහා යොදා ගනී.

මේ වන විට විවිධ වූ කැපුම් යන්ත්‍ර(කටර්) ඇති බැවින් ආහාර අලංකාර කිරීමේ දී මල් ආකාරයට ආදී ලෙස විවිධ හැඩයන්ට කපාගනී.

* සේවරි බත් සඳහා කැරට් කපා ගැනීමේ දී බෘෘනොයිස් කැපුම මෙන් කොටු හැඩයට කැරට් කැපුවද එතරම් ඝනත්වයක් නොමැතිව සිහින් කොටු ලෙස කපා ගත යුතුය.

* මෙයට අමතරව රවුම් හැඩයට ද කැරට් කපා ගැනීමට හැකියාව ඇත.

වැඩි වශයෙන් කන්ද උඩරට වැවෙන අල වර්ගයක් වන කැරට් දේශීය අල වර්ගයක් නොවේ. මෙහි කොළ ද ආහාරයට ගනී. කැරට්කොළ සම්බෝලය ප්‍රණීත රසයකින් යුතුය. අප දකින විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ කැරට් මෙන්ම ඉතා කුඩා අල ඇති කැරට් විශේෂයක් ද ඇත. ඒවායෙන් කැරට් කොළ මෙන්ම අල ද යොදා රසවත්ව සම්බෝල සකසා ගත හැකිය.