වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සුවඳ හමන වස විස දේ දරුවන්ගෙන් ඈත් කර තබන්න
යොවුන් වියේ එළිපත්තට පැමිණෙනවාත් සමඟම චතුරිකාට තම දිවියෙන් සමුගන්නට සිදු වූයේ සෙස්සන් ශෝකාන්තයක ගිල්ලවමිනි. සැර ගන්ධයන් ආශ්වාස කරන්නට ඈ තුළ තිබූ අසාමාන්‍ය රුචිකත්වය මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවන තත්ත්වයකට ම පත් කරන්නට තරම් ඇගේ දෛවය අකාරුණික විය.
පෙට්‍රල් ගැලුමක් විවෘත කර ඉන් පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම මාරයා ඈට අතවනන්නට පැමිණි කාරණාවයි. වෙනදාටත් කපුරු බෝල නහයට තබාගෙන එහි සුවඳ ආඝ්‍රාණය කරන්නට චතුරිකා ඇබ්බැහි වී සිට ඇත.
කොළඹ ජාතික රෝහලේ විස තොරතුරු ඒකකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දී විස ශරීරගත වීම සම්බන්ධයෙන් වන කරුණු කාරණාවලදී ප්‍රතිකාර කිරීම් සම්බන්ධව මෙන්ම එවැනි මොහොතක දී හදිසියේ කළ යුතු ප්‍රතිකාර, රෝහල් ගත වීම් ආදී අවස්ථාවන්වලදී මහජනතාවට සරණක් වෙයි.
චතුරිකා වැනි සැර සුවඳ කෙරෙහි ආසක්ත වූ දරුවන්, වැඩිහිටියන් පිළිබඳ මීට පෙර ද විවිධ අවස්ථාවලදී තොරතුරු අනාවරණය වී තිබේ. නොසිතූ මොහොතක දී විස ශරීරගත වීමක් හෝ සිතාමතා සිදුවන විස ශරීරගත වීමකදී ජාතික රෝහලේ විස තොරතුරු ඒකකය අමතයි. බොහෝවිට එවැනි සිදුවීමක් ළඟම ඇති රෝහලට එය වාර්තා වෙයි. ඔවුන් එසැණින් සම්බන්ධ කරගන්නේ ද ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයයි.
මීට පෙරද දඹුලු ප්‍රදේශයේ හත් හැවිරිදි දරුවෙක් සිහි විසඥව සිට ජීවිතයෙන් සමුගත්තේ යතුරු පැදියක පෙට්‍රල් ටැංකියකට මුහුණ හොවාගෙන සිටිමින් එහි පෙට්‍රල් සුවඳ ආඝ්‍රාණය කරන්නට යෑමේ ප්‍රතිඵලයක් ලෙසයි.
පෙට්‍රල් සුවඳ කපුරු බෝලවල සුවඳ, ගරාජ්වල ටින්කරින් කරද්දී නික්මෙන සුවඳ, වාහනවල දුම ආදී සැර ගන්ධයන් ආඝ්‍රාණය කරන්නට බොහෝ පිරිස් අඩු වැඩි වශයෙන් කැමැත්තක් දක්වයි. මෙය නොදැනුවත්කම නිසාම සිදුවන්නකි. දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා ඒ කෙරෙහි ලොල් බවක් දක්වයි. ඒවායින් නික්මෙන සැර ගන්ධය විස සහිත බව ශරීරගත වුවහොත් ජීවිත තර්ජන ඇති බව පිළිබඳව දැනුම්වත් බවක් නැති තරම් ය.
වාහනවල දුමින් පිටවන්නේ කාබන් මොනොක්සයිඩ් ය. එය ආඝ්‍රාණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වී, කල්පනාව අඩු වේ, මරණය සිදුවේ. කපුරු බෝලවල ඇත්තේ නැප්තලීන් (naphthalene) නමැති රසායනිකයි. සාමාන්‍යයෙන් කපුරු බෝල නිවෙස්වල, අල්මාරිවල තබන්නේ ඇඳුම් පොත්පත්වලට කාවන් ඇතුළු කුඩා කෘමි සතුන්ගෙන් වන හානි වළක්වාලීමටයි. කපුරු බෝලවලින් නික්මෙන සුවඳට ඇතැම් පිරිස් ආසා කරයි. ඒ නිසාම එය ආඝ්‍රාණය කිරීමට පෙලඹෙයි. එසේ ශරීරගත වීම හෝ විස ආඝ්‍රාණය කිරීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු තත්ත්වයකි. කපුරු ආශ්රිත නිෂ්පාදනයක් දරුවන්ගෙන් මෙන්ම විශාදය වැනි තත්ත්තවයන්ගෙන් පෙළෙන අයගෙන් ඈත් කොට තැබිය යුතු වේ.
සැර ගන්ධයන් සහිත මෙවැනි දේ ආඝ්‍රාණය කිරීමෙන් සිදුවන්නේ ඒවා පෙණහලු කරා අවශෝෂණය වීමයි. ඒ පෙණහලුවල ඇති නාළිකා සහ ගර්ත හැකිළීමකට ලක් වේ. එවිට ඇදුම වැනි තත්ත්වයකට පත් වීමට පුළුවනි.
කුඩා මොළයේ ශ්වසනය පාලනය කිරීමට ඇති තැනක් තිබේ. සැර සුවඳ ආඝ්‍රාණයෙන් මෙම ස්ථානයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමට පුළුවනි.
සැර සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් එහි අහිතකර ප්‍රතිඵල කෙසේ වෙතත් ඉන් සතුටක් ලබයි. සුවඳ විලවුන් වලටත් මේ තත්ත්වය යම් තරමකට හෝ බලපායි. සුවඳ පිළිබඳ රුචිකත්වයට නැඹුරු වෙමින් ඒවා සොයා යමින් ආඝ්‍රාණය කරමින් මොහොතකට හෝ සතුටක් ලබන්නට, තෘප්තියක් ලබන්නට සිතයි.
දෙනයනට මුවට මෙන්ම නාසයට ද කැමැති දේ එකතු කරමින් ලබන සතුටින් පිනා ගොස් එය නැවත නැවත කරන්නට පෙලඹේ. මෙහිදී විද්‍යාත්මකව සිදුවන්නේ එවැනි සතුට දනවන කාරණාවලදී මොළයෙන් ඩොපමින් නමැති හෝර්මෝනය ස්රාවය වීමයි. සතුටට දක්වන අසීමිත ලොල් බව නිසා එම ක්‍රියාවේම නැවත නැවත නියැළෙන්නට කැමැත්තක් දක්වයි.
පෙට්‍රල්, භූමිතෙල්, ටර්පන්ටයින්, තීන්ත වැනි දේ තුළත් ඊටම ආවේණික වෙනස් ම වූ සුවඳක් පවතී. ඒ සුවඳට දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ආසා කරයි.
පෙට්‍රල් යනු ඉතාම වාෂ්පශීලි ද්‍රව්‍යයකි. ඒ නිසාම එය ආඝ්‍රාණය කිරීමෙන් ශ්වසන මාර්ගයේ දී අවශෝෂණය වීමත් ඒ හා සමානව ම සිදුවේ. පෙණහලුවල අභ්‍යන්තරය විස්තාරණය කර තබන්නට ඇති ද්‍රව්‍යයන්ට හානි වීමෙන් ශ්වසන ගර්ත සහ ස්වසන නාළ ඇකිළීමකට ලක්වේ. එවිට ස්වසනය අපහසු වේ. මරණයට පත්වන්නේ ඒ අනුවයි.
පසුගිය මාස කිහිපයේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්වල හිඟයක් පැවති නිසාම ඒවා ගබඩා කර තබන්නට පෙලඹිණි. මේවා අවශ්‍යතාව මත පමණක් ගෙන නිසි පරිදි ගබඩා කිරීම කළ යුතුම වේ.
කෘෂි රසායනයන් වැනි දේ මිලදී ගැනීමේ සිට භාවිතයට ගැනීම දක්වාම වූ ක්‍රියාවලිය ඉතාම සැලකිල්ලෙන් යුතුව කළ යුතු දෙයකි. ඒ හා සමානව ම පෙට්‍රල්, භූමිතෙල් වැනි දේත් ගබඩා කිරීම සීරු මාරුවට කළ යුතු දෙයකි.
මේවා අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් ගබඩාකර තබන්නට ඒවා රැගෙන ඒම, ගබඩා කිරීම ආදියේ දී මෙන්ම භාවිත කරන ඇසුරුම සඳහා එකම පෙනුම ඇති බෝතල් යොදා ගැනීමත් වැදගත්.
පෙට්‍රල් බටයක් ඔස්සේ තවත් තැනකට මාරු කරද්දී මුඛයෙන් අදින්නට උත්සාහ කිරීම අතිශය භයානක දෙයක්. එය ශ්වසන මාර්ගයට මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියට ද යෑමට පුළුවනි. ශ්වසන පද්ධතියට හානි වී නියුමෝනියා තත්ත්වයට ද යා හැකියි. එය රසායනයක් හේතුවෙන් වන නිසා Chemical pneumonitis නම් වේ. ආහාර මාර්ගයට ගිය විට බඩේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස්, වමනය, පාචනය වැනි තත්ත්ව ඇති විය හැකියි. වාෂ්පශීලි ගතිය වැඩි නිසා එය ශ්වසන මාර්ගයට යෑමෙන් මාරාන්තික වීමට ද පුළුවනි. වාෂ්පශීලි දේවල් ශ්වසන මාර්ගයට උපරිම බලපෑම් එල්ල කරයි.
හදිසි අවශ්‍යතාවකට තබන පෙට්‍රල් බෝතලයක් කිසිවිටෙක ආහාරපාන ඇති තැන්වල තබන්න එපා. වැරදීමකින් බෙහෙත් බෝතලයක්... මේ ආදී ලෙස සිතා බීමට පුළුවනි. පෙට්‍රල් වාෂ්පශීලි බැවින් වැඩි නිසා ඉක්මනින් ගිනි ගැනීමට පුළුවනි. වාතාශ්‍රය අඩු තැනක තැබුවහොත් වාෂ්ප වී ආඝ්‍රාණය වීමෙන් ඉන් හානියක් වෙන්නත් පුළුවනි.
වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙවැනි දේ නිසා දරුවන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වීම දරාගත නොහැකි දෙයකි.
මේ නිසා නිවෙසේ ඒ ඒ දෑ නියමාකාරයෙන් ගබඩා කිරීම කළ යුතුය.
උපදෙස් -
කොළඹ ජාතික රෝහලේ
විස තොරතුරු ඒකකයේ ප්‍රධානී
විශේෂඥ වෛද්‍ය
රවී ජයවර්ධන