කිරි වමනය යෑම ගැන බය හිතුණද?

ගුඩු ස් යවන්නේ මෙන්න මෙහෙමයි
ජූලි 8, 2024

 

අලුත උපන් කිරිකැටියාට අමෘතය බඳු මව්කිරෙහි මිහිර විඳ ගැන්මට දීම මවකගේ වගකීමකි, යුතුකමකි. මවක් තම ලෙයින් උපන් කිරිකැටියා කෙරෙහි දක්වන අසීමිත දයාර්ද බවේ සංකේතය තම තනපුඩුවෙන් වෑහෙන කිරි බිඳුවෙන් දරුවා සැනහීමයි.

 

මව්කිරි මෙතරම් වැදගත් වන්නේ ඇයි?

* දරුවාගේ ශරීර වර්ධනයට සේම මොළයේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක සංඝටක අඩංගු ලොව ඇති එකම ආහාරය වේ.

* මිනිස් මොළය හා සිරුර ප්‍රශස්තව වැඩීමට අවැසිවන මේද අම්ල වර්ග 12 ක් හා විවිධ සංයෝග සියයක් පමණ මව්කිරෙහි අඩංගුය. (මොළය හා ස්නායු සෛල වර්ධනයට ඔමේගා 3, ඔමේගා 6, ඇසේ දෘෂ්ටි විතානය හා ස්නායු සෛලවල මයිලින් තැන්පත් වීමට අවශ්‍ය DHA වැනි)

* සෑම විටම නැවුම් සහ නියමිත උෂ්ණත්වයේ පවතී.

* පහසුවෙන් දිරවන සුළු සහ දරුවාගේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාවන් ක්‍රමානුකූල කරයි.

* ආසාදනවලින් ආරක්ෂා කරයි. පාචන රෝග, සෙම් රෝග, සෙම්ප්‍රතිශ්‍යාව(වැඩිහිටි වියේදී) පවා ඇදුම, දියවැඩියා කනේ ආසාදන, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ මුත්‍රා ආසාදනවලට ගොදුරු වීමේ අවධානම අඩුය.

* අධික තරබාරුව ඇතිවීම වළක්වයි.

* දත් දිරායාම අඩුය. මුහුණේ මාංස පේශී සහ මුඛ කුහරය හොඳින් වැඩේ.

* මවත් දරුවාත් අතර ජීවිත කාලය පුරාවට පවතින දැඩි මානසික බැඳීමක් ඇතිවේ.

* සූප්පු බෝතල්වලින් පිටිකිරි බොන දරුවන්ට වඩා මවුකිරි බී වැඩුණු දරුවන්ගේ බුද්ධි ඵලය(IQ අගය) ඒකක අටකින් වැඩිය.(මව්කිරිවල මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ස්නායු සෛලවල සහ අක්ෂි සෛලවල වර්ධනය වඩා හොඳින් සිදු කිරීමත් ඇස උත්තේජනය වීම මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට ප්‍රබල සාධකයක් වීමත් මීට හේතුවක් වන බව සොයාගෙන ඇත.)

* මවට පියයුරු පිළිකා ඩිම්බකෝෂ පිළිකා සෑදීම සහ පසුකාලීනව අස්ථි දුර්වල වීමේ රෝග තත්ත්ව සෑදීමේ අවධානම් අඩු විය මව් සිරුරේ අනවශ්‍ය මේදය දියවී යන නිසා සිරුරේ හැඩය රැක ගැනීමට තරබාරුව අඩු කිරීමට හේතු වෙයි.

පසුව ප්‍රසව මානසික පීඩනය, අසහනය අඩුකරයි. මවට ජීවිතයේ මෙතෙක් නොලද සතුටක් සැනසීමක් සමග මවක වීමේ අභිමානය ලබා දේ.

* පවුලේ වියදමට බලපෑම් නැත. සකසා ගැනීමට කාලය ශ්‍රමය වැය නොවේ.

* දරුවා සමඟ ගමන් යන විට ළදරු ආහාර පිළිබඳ වදවිය යුතු නොවේ.

 

මව්කිරි දිය යුතු නිවැරැදි ආකාරය

* සෑම මවක්ම මව්කිරි දිය යුතු නිවැරැදි ඉරියව් ගැන දැන සිටිය යුතුයි.

* මේ සඳහා වෛද්‍යවරයකු, හෙදියක, පවුල් සෞඛ්‍ය නිලධාරිනියක හෝ වෙනත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු යන අයගෙන් උපදෙස් ලබාගත හැකියි.

* දරුවා නිවැරැදි ලෙස පියයුර වෙත ළංකොට තබා ගැනීමෙන් කිරි සැපයුම ඉක්මන් වන අතර කිරි දීමද පහසු වේ. වේදනාව ඇති කරන, ඉදිමුම සහිත පියයුරු පැළුණු සහ වණ වූ තනපුඩු ඇතිවීමද මෙමඟින් වළක්වා ගත හැකියි.

* තන පුඩුව පමණක් නොව තනපුඩුව වටා ඇති කළු කොටස හෙවත් ඇරියොලාව මුළුමනින්ම හෝ කොටසක් හෝ උරා බීමට දරුවා පොලඹවන්න.‍

 

ගුඩුස් යැවීම හා කිරි වමනය යෑම

කිරි උරා බොන දරුවන් උරා බිව් කිරි අතිරික්තය හෝ පිරුණු වාතය සමඟ කිරි ප්‍රමාණයක් නැවත පිට කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

මව්කිරි උරා බොන දරුවකු නිසි ලෙස පියයුරට සම්බන්ධ නොවූ විට හෝ යම්කිසි ආකාරයකින් කිරි උරාබීමේදී වාතය ස්වල්පයක් ඉබේම පෙවීමට ඉඩ ඇත. මෙලෙස වාතය ළදරු කුසට ඇතුළු වීම ළදරුවාට අපහසුතා ඇති කරයි. මේ නිසා කිරි වේලකින් අනතුරුව දරුවා කෙළින් වඩා ගෙන එම වාතය ඉවත්වීමට ඉඩ සලසයි. මෙය ගුඩුස් ඇරීම නම් වේ. මෙසේ කළ විට වාතය පිට නොවුනාද කියා කලබල විය යුතු නැත.

 

ගුඩුස් යැවීමේ නිවැරැදි ඉරියව්

දරුවා ඉහළට වඩා ගැනීමේ දී දරුවාගේ උදරය මවගේ උරහිසට මඳක් පහළට වන්නට හොඳින් තද වන සේ තිබිය යුතුය. දරුවාගේ හිස සහ දෑත් මවගේ උරහිසේ පිටුපසටත් දරුවාගේ කිහිලි උරහිස උඩටත් තිබෙන සේ දරුවා තබා ගත යුතුය. මෙලෙස තබා ගැනීමෙන් පසු දරුවාගේ පිට පිරිමැදීම සිදුකරන විට ගුඩුස් යන හඬින් වාතය පිටවීම සිදුවේ. නැතහොත් දරුවා ඔබේ උකුළ මත කෙළින් අතට තබාගෙන සිටීමෙන්ද ගුඩුස් යැවීම කළ හැකියි.

 

නාසයෙන් කිරි පිටවීම

නාසයෙන් කිරි පිටවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද සමහර විටෙක පෙණහලුවලට යෑම සිදුවිය හැකියි. මේ නිසා එලෙස කිරි වමනය දමන දරුවන් කිරි බිවූ පසු හොඳින් ගුඩුස් යවා තැබීම අවශ්‍යයි. එලෙස කිරි නාසයෙන් පිටවෙන අවස්ථාවල දරුවා උඩට එසවීම නොකරන්න. හරවා තබන්න.

 

කිරි බොන වාරයක් පාසා කිරි වමනය යෑම හා වැඩිපුර කිරි වමනය යෑම

මෙලෙස කිරි වැඩි ප්‍රමාණයක් ඉවතට යෑම මව්වරුන් බියට පත් කරයි. නමුත් දරුවාගේ බර අඩු නොවේ. යම්කිසි පමණකට මුත්‍රා කරයි නම් එය සාමාන්‍යයි. ප්‍රතිකාර අනවශ්‍යයි.

 

කිරි මැලියම්

මැලියම් ලෙස සුදු පැහැයට දරුවාගේ දිවෙහි බැඳී ඇති නම් පිරිසුදු රෙදි කැබැල්ලක ඇඟිල්ල ඔතා දරුවා නාවන විට ඉතා මෘදුව ප්‍රවේසම්ව පිස දැමීම කළ හැකියි. මෙය අත්‍යවශ්‍ය නොවේ. නමුත් අපිරිසුදු රෙදි කැබැලි හෝ ඇඟිලි හෝ වෙනත් රසායනිකයන් (ග්ලිසරින් වැනි) හෝ භාවිතකර කිරි බොන දරුවන්ගේ මුඛය පිරිසුදු නොකළ යුතුය.

 

කිරි වමනය යෑම

උපතේ සිට අවුරුදු එකහමාරක් පමණ යන තෙක් මව්කිරි බොන දරුවන්ට කිරි වමනය යා හැකියි. මෙය රෝගී තත්ත්වයක් නොවේ. ළදරු උදරය පමණට වඩා පිරීම නිසාත් කිරි උරා බීමෙන් පසු සිදුවන ආමාශ සංකෝචන නිසාත් නොවැඩුණු පේශීන් වැනි විවිධ හේතු නිසා සාමාන්‍යයෙන් කිරි වමනය ඇතිවෙයි.

ආමාශයේ වාතය එකතු වී තිබීමෙන්ද දරුවාට කිරි වමනය යෑමට ඉඩ ඇත. ගුඩුස් යැවීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැකියි. කිරි බීමෙන් අනතුරුව සමහර දරුවන්ගේ කට දිගේ කිරි ටිකක් ගලා ඒමද සාමාන්‍යයි.

කිරි පොවා ගුඩුස් යැවීමෙන් අනතුරුව දරුවා පැත්තකට හරවා නිදි කරවන්න. හදිසියේ කිරි වමනයක් සිදුවුවහොත් ස්වාස නාළයට ගමන් නොකොට පිටතට පෙරීම එමඟින් සිදුවේ. ඈතට විදින ලෙස හෝ කහ, කොළ පැහැයට වමනය යන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් අවශ්‍යයි.

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ