හුදෙකලාවට ජීවිතය ගිනි තියන්න දෙන්න නම් එපා

ජනවාරි 27, 2025

නව යොවුන් වියේ පසුවන දරුවන් තරුණ වියේ දරුවන් කෙරෙහි ඇතැම් විට අසන්නට ලැබෙන්නේ අන් කවරදාකවත් නොඇසුණු ශෝචනීය කතන්දරය.

එය හැම විටම වීඩියෝ ගේම්වලටම බැර කළ නොහැකිය. එයත් එක්තරා කාරණයක් වීමට පුළුවනි.

වර්තමානයෙහි නව යොවුන් දරුවන් බොහෝ විට ගතකරනුයේ බෙහෙවින්ම හුදකලා දිවි පෙවෙතකි. ඔවුන් ප්‍රිය කරන්නේ කරන්නේද එවැනි හුදකලා බවකටයි. සම වයස් දරුවන් ඇසුරු කරමින් භෞතිකව ඔවුන් හා එක්ව කටයුතු කරන්නට පෙලඹෙන්නේ නැති තරම්ය.

පෙර මෙන් නොව මව සහ පියා දෙදෙනාම රාජකාරී කටයුතුවලින් කාර්යබහුල වී තිබේ. පවතින ආර්ථික ගැටලු හමුවේ මවට හුදු ගෘහිණියක්ම වී සිටීමට පමණක් නොහැකි වී තිබේ. රාත්‍රී කෑම මේසයේදී පවුලේ සියල්ලන් එකට එක්ව ආහාර ගැනීම, අදහස් හුවමාරු කරගැනීම, දවසේ විශේෂිත සිදුවීම් හුවමාරු කර ගැනීම ආදිය යහපත් ප්‍රවණතාවක් සේ සැලකුවත් දැන් දැන් දරුවන් එම කාල වේලාව ගත කරන්නේත් ජංගම දුරකථනය සමඟිනි.

ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ නැතිනම් අන්තර්ජාලය ඔස්සේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට ප්‍රියතාවක් දක්වයි. මෙය එතරම් යහපත් ප්‍රවණතාවක් නොවේ. ජංගම දුරකථනයෙන් වුව ඇමතුමක් ගෙන අදහස් බෙදාහදා ගැනීම වෙනුවට කෙටි පණිවිඩ ඔස්සේ සම්බන්ධ වීමට වැඩි කැමැත්තක් දක්වයි. අදහස් සිතුම් පැතුම් බෙදා හදා ගැනීමට එතරම් උනන්දු නොවන නිසා ඒවා තම සිත තුළම රඳවා ගෙන සිටී. ගැටලුවක් ආ විට එය තනියම විසඳගන්නට උත්සාහ කරයි. ජීවිතයේ ලද සීමිත අත්දැකීම් ඔස්සේ යමින් ඇතැම් විට එහි දිගක්, පළලක් බරපතළකමක් නොවැටහීම නිසා අමාරුවේ වැටේ. ඒ වන විට බොහෝ දේ සිදුව අවසන් වීමටද පුළුවනි. සමාජය ඇසුරු කිරීම ඔස්සේ දිනෙන් දින ලබන අත්දැකීම් අපේ ජීවිතයට හොඳ පෙරහුරුවක් ලබාදෙයි. නිවැරදි මඟ පෙන්වීමක් මෙන්ම නිවැරදි ආදර්ශයක්ද අත්‍යවශ්‍ය වේ. සමාජ අත්දැකීම් නිසැකවම ඒ සඳහා මඟ පාදයි. තමන්ට වීරයෙක් සිටිය යුතුය. ඒ වීරයා කාඩ්බෝඩ් වීරයෙක් හෝ ඩිජිටල් වීරයෙක් නොව පරමාදර්ශී චරිතයක් විය යුතුවේ. වර්තමානය වන විට ඔවුන්ට ඇසුරු කරන්නට, අහන්නට දකින්නට අනුගමනය කරන්නට එවැනි අය නැති තරම්ය.

මානසික පීඩනය මීට දශක දෙක තුනකට පෙර සිටි දරුවන්ට වඩා දැන් දරුවන් මානසික පීඩනයෙන් පෙළීම වැඩිවී තිබේ. ඔවුන්ට දිනෙන් දින විභාග පීඩනයද තර්ජනයක් වී තිබෙයි. ඉලක්ක කරා යෑමට ඔවුන්ට බොහෝ දේවල් කැප කිරීමට සිදුව තිබේ. එසේ වී ඇත්තේ අසාමාන්‍ය තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවී ඇති බැවිනි. විභාග කේන්ද්‍රීය වූ අධ්‍යාපනය ක්‍රමයක් නිසා දරුවන්ට කොතැනකදී හෝ හති වැටේ. කටපාඩම් කරමින් විභාග සමත්වීම නම් ජීවිතයට කොහෙත්ම නොවැදගත් වේවි. විභාග යනු ජීවිතයම නොවන බව දරුවන්ට ඒත්තු ගැන්විය යුතුවේ. මවුපියන් බොහෝ විට තම දරුවන් අනෙකුත් දරුවන් සමඟ සංසන්දනය කර ගැනීමට යෑම නිසා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වෙයි. 'එයාට පුළුවන් නම් ඔයාට ඇයි බැරි' ආදී ලෙසින් තවත් සම වයස් දරුවන් සමඟ තමන්ව සංසන්දනය කරනවාට දරුවන් කොහෙත්ම අකැමැති වේ.

ලිංගික අධ්‍යාපනය පවා ඔවුන් ලබා ගන්නේ තනිවමයි. එහි පරාසයන් කොතරම් දුරට විහිදේදැයි මවුපියන් පවා නොදනී. එය පාසලක ගුරුවරුන් විසින් ලබා දෙනුයේ ඉතාම අවම වශයෙනි. සම වයස් දරුවන් ඇසුරින් දරුවන් එවැනි අත්දැකීම් ලබන්නේ ඒ නිසයි. විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා ඔවුන් එම දැනුම එක් එක් තැන්වලින් අහුලාගනියි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය Health line එක ඇරඹියේ 2018 වසරේදීය. එය Call free එකකි. 2019 වසර වන විට අනාවරණය වූයේ වැඩිපුරම ඇමතුම් ලැබී ඇත්තේ අවුරුදු විසිපහට වැඩි අයගෙන් බවයි. ඇමතුම් ගැනීම ඔවුන්ගේ සන්නිවේදන උපාය මාර්ගයක් නොවන බව වටහා ගත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 2020 වසරේදී ඔවුන් වෙනුවෙන්ම කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කරන ලදී. ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවිය යුත්තේ මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හෙවත් 1926 අංකයටයි.

ඒත් සමගින් අවුරුදු 10, 15 දරුවන් පවා කෙටි පණිවිඩ යොමු කරන්නට විය.

0755551926 whats up අංකය ඔස්සේ සම්බන්ධ වීම නව යොවුන් වියේ පසුවන දරුවන්ට වඩාත් සමීප එකක් විය. මේ සඳහා විදෙස් රටවල සිටින ලාංකේය දරුවන්ද තම ගැටලු ඉදිරිපත් කරන්නට විය.

බොහෝ විට පළමු කෙටි පණිවිඩයම ලැබෙන්නේ 'මට මැරෙන්න ඕන' යනුවෙනි. ඔවුන්ට මානසික උපදේශනයන් ලබාදෙමින් සිත සුවපත් කරන්නට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇප කැප වෙයි. දරුවන්ගේ අවසරය ඇතිව අවශ්‍ය නම් ඔවුන්ගේ මවුපියන්ව ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරයි. 'තාත්ත බීල ගෙදර එන්නේ', 'අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා මම බයයි'. මෙවැනි දරුවන්ව බොහෝවිට මවුපියන් සමගින්ම මානසික සෞඛ්‍ය සායන කෙරෙහි යොමු කරන්නට උත්සාහ කරයි.

cyber wireless යනු අලුත්ම ප්‍රවණතාවකි. අන්තර්ජාලය හරහා තමුන්ගේ ඡායාරූප හුවමාරු වීම ඉන් ප්‍රධාන එකකි. 'හිතවතී.Com' වෙබ් අඩවිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටී. ඔවුන්ට ලැබෙන සිද්ධීන්වලදී මානසික සෞඛ්‍ය උපදේශනයන් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සම්බන්ධ කර කර ගන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයයි.

 

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

පුෂ්පා රණසිංහ

 

 

[email protected]