මේ සින්දුව පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු විප්ලවයක්

සමනලී ෆොන්සේකා
ජුනි 30, 2021

 

25 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ ඩෝරාගේ චරිතයට රංගනයෙන් දායක වූ සමනලී ෆොන්සේකා. සුපුන් රත්නායගේ ආඩෝ ටෙලියේ.. අරවින්දගේත් ඩෝරාගේත් ආදර කතාව ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳගත් නිසයි අඩෝ ටෙලිය හොඳම ටෙලි නාට්‍ය ලෙසද සම්මානයට පාත්‍ර වෙන්නේ. අඩෝ ටෙලියෙන් හොඳම නිළිය වෙද්දී.. බයිසිකලේ, ආකාස කුසුම්, දැවෙන විහඟුන් වැනි සිනමා නිර්මාණ ගණනාවකින් ද ඇය හමුවනවා. මේ කතාබහ සම්මානනීය රංගන ශිල්පිනී සමනලී ෆෝන්සේකා සමඟයි.

 

මේ දිනවල වැඩකටයුතු කොහොම ද?

ටෙලි නාට්‍ය කිහිපයකත්. සිනමා නිර්මාණ කිහිපයකත් රූගත කිරීම් කරගෙන යනවා බොහොම අපහසුතා මැද. කෝවිඩ් වසංගතයත් එක්ක බොහෝ වැඩ කටයුතු කල් දාන්න වෙලා තියෙනවා.

 

ඔබ රංගනයට වගේම ගායනයටත් පිවිසිලා. පසුගිය කාලයේ ඔබ ගීත නිර්මාණයකුත් එළිදැක්වූවා...

එය මගේම ගීත අතරට එකතු වුණු හතරවැනි ගීතය. ‘හාදුව‘ ගීතය එළිදක්වලා මාස කිහිපයක් වෙනවා. සින්දුව ලිව්වෙ සුජීව හෙට්ටිතන්ත්‍රි. සුජීව එක්ක මම කලිනුත් වැඩ කරල තියෙනවා. සින්දුවෙ වචන දිහා බැලුවම මට හරිම ආසා හිතුණා. අරුණ ගුණරත්න තමයි ගීතය සංගීතවත් කළේ. අරුණගෙ සංගීතයයි, සුජීවගෙ වචනයි, මගේ කටහඬයි මේ සින්දුවෙ හොඳමට ගැළපිලා තියෙනවා.

ඇත්තටම මං හිතුවටත් වඩා හාදුව මිනිස්සු වැලඳගෙන තියෙනවා. මං හිතන්නෙ මේ සින්දුව පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු විප්ලවයක් කියලා.

 

ඔබේ ආදරණීය සැමියා ඉන්ද්‍රචාපා එක්ක සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

චාපා සහ මම ගායන අංශයෙන් ඉන්නේ පැති දෙකක. අනිත් අතට මම හිතන්නේ නැහැ ජීවිතය බෙදා ගත්තා කියලා හැමදේම අපි දෙන්නම එකට කළයුතුයි කියලා. අපි දෙන්නටම ස්වාධීන වුණු ගමන් දෙකක් තියෙනවා. බලමු ඉතින්. ඒ මොහොත අපි කොහොම හරි හදනවා කියන තැන අපි දෙන්නම නැහැ. එහෙම නිර්මාණයක් කාලයත් එක්ක ලැබුණොත් අපි නොකර ඉන්න එකකුත් නැහැ.

 

25 වැනි සුමති සම්මාන උළෙලේ දී දක්ෂතම නිළිය වන්නේ ඔබ..

 

මං මගේ ජීවිතයේ ගොඩක් සතුටු වූ අවස්ථාවක් එය. සුමති සම්මාන උළෙලට දක්ෂ රංගන ශිල්පිනියන් නිර්දේශ වෙලා තිබුණා.. ඒ අතරින් හොඳම රංගන ශිල්පිනිය වෙන්න ලැබීමට මට සතුටක්. මං සුපුන් රත්නායක ගැන කියන්නම ඕනේ. අඩෝ ටෙලියේ අධ්‍යක්ෂණය සුපුන් රත්නායකගේ. ඔහු වෙනස්ම විදිහේ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ ටෙලියේ දක්ෂතම නිළිය මම වෙද්දී දක්ෂතම නළුවා වූයෙත් අඩෝ ටෙලියේම රංගන ශිල්පියෙක් ඒ දසුන් පතිරණ.. ඉතිං මේ අරවින්දගෙත් ඩෝරාගේත් ආදර කතාව විශේෂ අවස්ථාවක් වුණා. හොඳම පිටපත, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නළුවා සහ හොඳම ටෙලි නාට්‍ය යන සම්මාන සියල්ලම අඩෝ ලබා ගත්තා. සතුටු හිතෙන අනෙක් කාරණය තමයි මගේ නංගී සෙනාලි ‍ෙෆාන්සේකාට ජනප්‍රිය නිළිය සම්මානය ලැබීම. ඉතිං එකම වේදිකාවක අප දෙදෙනා සම්මාන ලබා ගත්තා.

 

 

රංගනයට යොමු නොවුණා නම් සමනලී කවුරු වෙයිද?

මම පළමුවරට කලාවට සම්බන්ධවුණේ මට අවුරුදු පහේදී. ඉන් පසු 1998 සිට දිගටම රංගනය මගේ වෘත්තිය වුණා.

 

සමනලී කියන්නේ සමාජය එක්ක නොබියව අදහස් ප්‍රකාශ කරන කෙනෙක්. කලාකරුවෙක් විදිහට එසේ අදහස් ප්‍රකාශ කිරීම හානියක් නොවේ ද?

 

මම හිතන්නේ කලාකරුවාගේ සමාජ මැදිහත් වීම විය යුත්තේ එතැනින් කියලා. කලාකරුවා කියන්නේ සමාජය ඉදිරියේ හඬා වැටෙන්න ඕනේ කෙනෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා කරන්න. අපි කලාකරුවන් කියා, කියා ගන්නවා නම් ඒ මැදිහත් වීම දිය යුතුයි. ඒ මැදිහත් වීම දේශපාලනිකයි. සමාජයේ ප්‍රගමනයට, යල් පැන ගිය අදහස්වලට නව අර්ථකථනයක් දෙන්න, අලුතින් කියවන්න, කලාකරුවකුට හැකියාවක් තියෙන්න ඕනේ.

සමාජය තුළ ඉන්නවා පීඩාවට පත්වුණු සුළුතර කොටස්. ඒ කොටස් වෙනුවෙන් කතා කරන්න, මැදිහත් වෙන්න, ඒ වෙනුවෙන් බහුතරයට බලපෑම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජයට ඉතාම ආදරණීයව ආමන්ත්‍රණය කරන්න පුළුවන් අවකාශයක් ලැබිලා තියෙනවා. මිනිස්සු තුළ යම් පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම මම හිතන්නේ වඩා යහපත් දෙයකට යොදවන්න ඕනේ.

 

ජීවිතයේ ඉලක්කයක් තියාගෙනද වැඩ කරන්නේ...

 

මගේ ජීවිතේ ඉලක්ක නෑ. ඒ ඒ අවස්ථාවට උචිත ලෙස වැඩ කරනවා. ඒ අවස්ථාවට හොඳම විදිහට තීරණ ගන්නවා. ඉදිරි වැඩකටයුතුත් ඒ විදිහට සිදු වෙයි.