පුංචි මල් කැකුළු බිලිගන්නට සැරසෙන අලුත් ම මාරයා

කෝවිඩ්වලින් පසු දරුවන් ට වැලඳෙන බහුවිධ ඉන්ද්‍රීයය ආසාදන
ජුනි 30, 2021

 

 

(Multi System Inflammatory Syndrome)

 

 

කෝවිඩ් වසංගතයේ අලුත් තතුවල නිමක් නැහැ. දැන් දැන් කෝවිඩ් පමණක් ම නොව එහි අතුරුඵල පිළිබඳත් ඇසෙන්නට පටන් අරන්. මේ දරුවන් බිලිගත් එවැනි කෝවිඩ් අතුරුඵලයක්.

පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු බිලිගන්නට සැරසෙන මාරයා කවුද? ඒ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය හෙවත් Multisystem Inflammatory Syndrome ය.

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට දරුවන් 6ක්

මෙම තත්ත්වයේ දරුවන් හයදෙනකු දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

 

මොකක්ද මේ රෝගය

කෝවිඩ් වැලඳී දින 14ක් පමණ ගතවූ පසු (සති 2 - 6 කාලය අතර) දින 4ක් පමණ තද උණ තත්ත්වයකින් පවතින්නකි. මෙහිදී කෝවිඩ් වැලඳී ඇති බව දැන හෝ ඇතැම් විට කෝවිඩ් වැලදී ඇති බව නොදැන ම හටගන්නා තත්ත්වයකි. බොහෝවිට කෝවිඩ් වැලඳී ඇති බව නොදැනම මෙම තත්ත්වය හටගනියි.

 

කෝවිඩ් සුව වූ පසු අප සිරුරේ ප්‍රතිදේහ (Antibody) හට ගනියි. එම ප්‍රතිදේහ අපේ ශරීරයේම ඉන්ද්‍රීයයන්ට විරුද්ධව ක්‍රියා කරයි.

මොනවද මේ බහුවිධ ඉන්ද්‍රීයයන්

මොළය, ඇස්වල, පෙනහලු, අක්මාව, හෘදය වස්තුව, වකුගඩු වැනි ඉන්ද්‍රීයයන්වලට ‍ෙම් රෝගය බලපෑම් එල්ල කරයි.

 

රෝග ලක්ෂණ නම්...

* දින හතරක් පමණ පවතින උණ.

* ඇස් රතුවීම.

* තොල්, දිව රතුවීම.

* බෙල්ලේ වසා ගැටිති ඇතිවීම.

* සමේ රතු ලප ඇතිවීම.

* දරුවා බෙහෙවින් ම අප්‍රාණික වීම.

 

එක් එක් ඉන්ද්‍රීයයන් සඳහා කරන බලපෑම.

* පෙනහලුවලට බලපෑමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ.

* හෘදය වස්තුවට බලපෑමෙන් රුධිර පීඩනය අඩුවිය හැකියි. කිරීටක ධමනිවල වෙනස්කම් ඇතිවේ. මෙය ඉතාම භයානකය. බොහෝ විට දරුවන් දැඩි සත්කාර ඒකකවල රඳවන්නට සිදුවනුයේ හෘදය වස්තුවට කරනා විවිධ බලපෑම් හේතුවෙනි.

* මොළයට බලපෑමෙන් වලිප්පුව වැනි තත්ත්ව ඇතිවේ.

* ඇස්වලට බලපෑමෙන් ඇස් රතුවේ.

* අක්මාවට බලපෑම නිසා වන්නේ අක්මාව විශාලවීමයි. ඒ නිසාම ඇස් කහපැහැ වීමට පුළුවන. උදරය පිම්බී ඒමට පුළුවන.

* වකුගඩු සඳහා කරනා බලපෑම නිසා මුත්‍රා පහවීම අඩුවීම, මුත්‍රා රතුපැහැයට හුරු ස්වභාවයෙන් පිටවීම එනම් මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රා දැවිල්ල.

* මීට අමතරව ආහාර අරුචිය, වමනය, පාචනය, හිසරදය ද ඇතිවේ.

බහුවිධ ඉන්ද්‍රීයයන් සඳහා කරනා බලපෑම එක්වරකට අවයව එකකට වැඩි ප්‍රමාණයකට කිරීම සුවිශේෂි වේ. නමේ අරුතින්ම එය ‍ෙම් රෝගයටම විශේෂිත වූවකි.

 

මුලින්ම හඳුනා ගැනීම.

මෙම රෝගය බරපතළ තත්ත්වයන් කරා නොඑන්නට නම් කළ යුතු එකම දේ වේලාසනින් රෝග ලක්ෂණ අනුව රෝග තත්ත්වය හඳුනා ගැනීමයි. බොහෝවිට මෙවැනි දරුවන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර සඳහා යොමුකරන්නේ ඉන්ද්‍රීයයන් කිහිපයකට එකවර කරනා බලපෑම දරුවාගේ ජීවිතයට තර්ජනයක් නොවන ලෙස ක්‍රියා කිරීමටයි.

 

වහාම රෝහලක් කරා

ඉහත කී රෝග ලක්ෂණ දරුවන් වෙතින් දිස් වේ නම් කිසිසේත්ම පමා වන්නට එපා. කෝවිඩ් වසංගතය නිසා රෝහල්වල අපහසුතා විඳින්නට වේවි යැයි සිතා අත් බෙහෙත් කරමින්, සුළු සුළු ප්‍රතිකාර කරමින් දරුවා නිවෙසේ රඳවා ගන්නට උත්සහ කරන්න එපා. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ඒ හරහා හෝ සෘජුවම විශේෂයෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිටින රෝහලක් වෙත කඩිනමින් යොමුවීම අතිශය වැදගත් වේ.

ඉක්මනින් රෝහලක් කරා යොමුවුවහොත් මේ රෝගය යැයි සැක සිතෙන දරුවන් කඩිනමින් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරීමට අවස්ථාව වෛද්‍යවරුන්ට සලසා ගත හැකි වේවි.

 

ඉලක්කගත වයස් කාණ්ඩය

මේ රෝගය සඳහා බොහෝ විට ගොදුරුවනුයේ අවුරුදු 5ත් 15ත් අතර වයස් කාණ්ඩයයි. අවුරුදු 5ට අඩු පුංචිම දරුවන් අතර එතරම් දක්නට නොමැත.

 

පළමුව වාර්තා වූයේ

අපේ රටට මෙය අලුත් අත්දැකීමක් වුවත් පසුගිය වසරේ එංගලන්තය වැනි රටවල දරුවන් අතර බහුවිධ ඉන්ද්‍රීය ආසාදන රෝගය පැතිර තිබුණි.

එදා මේ පැතිර යන්නේ කවසාකි රෝගය යැයි පූර්ව නිගමනයකට යොමු වුවත් මෙයත් කවසාකි වැනි තත්ත්වයකි.

 

මිය ගිය දරුවන්

විදෙස් රටවලින් බහුවිධ ඉන්ද්‍රිය ආසාදනය නිසා ජීවිතයෙන් සමුගත් දරුවන් ද සිටි බව නොකැමැත්තෙන් වුවද කියන්නට සිදුවේ.

 

පසුගිය සතියේ පටන්

ලංකාවේ දරුවන් අතර පසුගිය සතියේ පටන් තරමක් වැඩියෙන් මේ තත්ත්වය වාර්තා වූ අතර ඉදිරියේ දී එය වැඩිවීමට පුළුවන. කෝවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වාම බහුවිධ ඉන්ද්‍රීය ආසාදන රෝගී තත්ත්වය ඇතිවීම ඇත්තෙන්ම ඛේදවාචකයකි.

 

කෝවිඩ් පොසිටිව් වී තිබීම

දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ බහුවිධ ඉන්ද්‍රීයය ආසාදනයවීමේ රෝගී තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් හය දෙනාම කෝවිඩ් පොසිටිව් වූ අයයි.

ඒ අනුව

* රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කලින් පොසිටිව් වී මේ අවස්ථාව වන විට නෙගටිව් වීමට පුළුවන.

* එසේ වන්නේ කෝවිඩ් ඇන්ටි බොඩි හෙවත් ප්‍රතිදේහ පොසිටිව් ව තිබෙන නිසායි. ඒ නිසා කෝවිඩ් සුව වුවත් ඇන්ටිබොඩි පොසිටිව් වේ.

* PCR මාස තුනක් පමණ පොසිටිව් වී තිබීමට පුළුවන.

කෝවිඩ් රෝග ලක්ෂණ මුලින් නොපෙන්වා සිටීම මේ සියල්ලටම හේතු වේ.

කෝවිඩ්වලට පසු සංකූලතා කිහිපයක්ම දැකගත හැකි විය. නියුමෝනියාව, රුධිර කැටි ගැසීම හා ඒ ආශ්‍රිත රෝග තත්ත්ව, කවසාකි වැනි රෝග ලක්ෂණ ඇති බහුවිධ ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය දැකගත හැකි වූයේ ඉන්පසුවයි. කවසාකි තත්ත්වය පුංචිම දරුවන්ට සෑදුණත් කෝවිඩ් පසුපසින් එන බහුවිධ ඉන්ද්‍රිය ආසාදන තත්ත්වය අවුරුදු පහට අඩු දරුවන් වෙතින් වාර්තා වී නැති තරම්ය.

 

 

 

උපදෙස්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා