ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා තරම්ම දුෂ්ටයාටද හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. දුෂ්ටයෙක් නොමැතිව වීරයෙක් බිහි වන්නේ නැති හෙයින් වීරයාගේ වීරත්වය ඉස්මතු වන්නට දුෂ්ටයාගේ රංගනය චිත්‍රපටයට මනා අාලෝකයක් වෙයි. මේ චිත්‍රපටයේ එක් අන්තයකින් බිමල් ජයකොඩි දුෂ්ටයාට පණ පොවද්දී තවත් අන්තයෙන් දුෂ්ටයාගේ තරුණ අවදියේ භූමිකාවට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණයි. මේ ඔහු අප සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් දැක්වූ අදහස්.
ඔබ දායක වූ චිත්‍රපටවලින් ෆාදර් වෙනස් වෙන්නේ කොහොමද?
හැම චිත්‍රපටයක්ම අපට විශේෂයි. අපි භාර ගන්න ඕනෑම නිර්මාණයක් අපට අලුත් අත්දැකීමක් වෙනවා. මෙහිදීත් ඒ විශේෂත්වය මට දැනුණා. මං චිත්‍රපටයක විලන් රෝල් එකක් කරන්නේ පළමු වතාවට. ඉතින් එය වෙනස් අත්දැකීමක්. ඒ වෙනස නිසාම ඒ චරිතය ගැන සිතන්නට සහ සූදානම් වන්නට සිදු වුණේ වෙනස් ආකාරයකටයි. ඉතින් ඒ ගැන තීරණය කිරීම ප්‍රේක්ෂකයාට භාර කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දැන් රංගන ජීවිතයට කාලය බෙදා ගෙන තිබෙනවාද?
නෑ. මේ චිත්‍රපටය පවා බොහෝ කලකට පෙර රූගත කළ නිර්මාණයක්නේ. ඉතින් දැන් පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නියැළෙනවා හැර රංගනයට කාලය බෙදා ගෙන නෑ.
