ඔබ ප්‍රධාන චරිතයකින් සිනමාගමනය සිදු කරන ෆාදර් හි රඟ දක්වන්නේ ප්‍රධාන චරිතයක්. එය අභියෝගයක් වුණාද?
ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මගේ පළමු සිනමා නිර්මාණයම මේ වගේ දැවැන්ත සිනමා කෘතියක ප්‍රවීණයන් රැසක් සමඟ සිදු කරන්නට සිදු වීම එක්තරා අභියෝගයක්. ඉතින් නවකයෙක් ලෙස ඒ අභියෝගය මෙහි අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ සහයෝගයෙන් සාර්ථකව සිදු කළා කියා මා සිතනවා.
මේ චිත්‍රපටයේ බොහෝ චරිත තවමත් ජීවමානයි. ඔබේ චරිතයත් එවැන්නක්. එහිදී ඔබ ඒ චරිතය ගැන අධ්‍යයනයක් කළාද?
මෙය සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා මෙන් නිෂ්පාදකතුමා අපට හොඳ උපදේශනයක් දුන්නා. මේ සිදුවීම් සිදු වූ කාලයේ අප ඉපදිලාවත් නෑ. ඉතින් මෙහි චරිත නිරූපණය කළ යුතු ආකාරය ගැන ඔවුන් අපට කියා දුන්නා. තවත් මේ සත්‍ය කතාවේ චරිත ජීවමානව සිටින නිසා ඒ චරිතවලට සාධාරණයක් ඉටු කරන්නට මෙහි රංගනයේදී මනා අධ්‍යයනයකින් යුතුව විශාල වෙහෙසක් ගන්නට මට සිදු වුණා.
චරිත නිරූපණයේදී තිබුණු අභියෝග මොනවාද?
මම මෙහි නිරූපණය කළේ සඳලතාගේ චරිතය. ඇය සිය එක කුස උපන් සහෝදරයා වෙනුවෙන් ඔහුගේ සහෝදරිය ලෙස යුක්තිය වෙනුවෙන් පෙනී සිටි චරිතයක්. ඇය විශාල පෞරුෂයක් සහිත නිර්භීත කාන්තාවක්. ඉතින් මේ වාගේ කාස්ට් එකක වැඩ කරන්නට ලැබීමම විශාල අභියෝගයක් වුණා. එය මගේ ජීවිතයේ ලැබුණු එක්තරා ආශීර්වාදයක් ලෙසත් මං සලකනවා. චිත්‍රපටයේ අනෙකුත් ප්‍රවීණයන් සමඟ සඳලතාගේ චරිතය සැබෑ චරිතයට අසාධාරණයක් නොවන අයුරින් නිරූපණය කිරීම අභියෝගයක් වුණා. ඉතින් මේ පිටපත ලැබුණු වෙලාවේ ඉඳන්ම මං ඒ වෙනුවෙන් කැප වුණා.
