අර්තාපල් සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය
අල ග්‍රෑම් 300ක්
ලූනු ග්‍රෑම් 50ක්
පාස්ලි ග්‍රෑම් 20ක්
අමු මිරිස් කරල් 3ක්
මෙයොනීස් හෝ යෝගට් මේස හැඳි 3ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
විනාකිරි ස්වල්පයක්
අවශ්‍ය පමණ ලුණු
සාදාගන්නා ආකාරය
පළමුවෙන්ම අල පොතු හැර කුඩා කැබලිවලට කපාගන්න. ඉන්පසු එය හොඳින් තම්බාගන්න. පසුව ලූනු සිහින්ව කපාගෙන එයට විනාකිරි ස්වල්පයක් එකතු කර පදම් කරගන්න. පසුව පාස්ලි සහ අමු මිරිස් ද සිහින්ව කපාගන්න. ඉන්පසු අල සහ අනෙකුත් ද්‍රව්‍ය ද එකට දමා එයට මෙයොනීස් ද එකතු කර කලවම් කරගන්න. අවසානයේ ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් ඔබේ රස අනුව එකතු කරගන්න. පසුව ශීත කර පිළිගන්වන්න.
අර්තාපල් මේ ලෙස සලාද ආකාරයට කෑම ඔබේ ශරීරයට ඉතාමත් ගුණදායක වේ.
සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දේ: අලවල ගුණදායී කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය ඉක්මනින් ලබා දේ. විශේෂයෙන්ම උදෑසන හෝ ව්‍යායාමයෙන් පසු මෙම අර්තාපල් සලාදය කෑම ඉතාම ගුණදායකයි.
ආහාර ජීර්ණයට උපකාරී වේ: උදුනේ හෝ වාෂ්පයෙන් පිසූ අර්තාපල් සලාද ආකාරයෙන් කෑමෙන් ශරීරයට අවශ්‍ය කරන තන්තු (Dietary Fiber) ලැබේ. එය ඔබේ මලබද්ධය අඩු කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය සාමාන්‍ය කරයි.
හෘද සෞඛ්‍යයට හොඳයි: අර්තාපල්වල පොටෑසියම් (Potassium) ඇත. එනිසා රුධිර පීඩනය පාලනයට උපකාරී වී හෘදය නිසි ලෙස ක්‍රියා කිරීමට කටයුතු කරයි.
විටමින් සහ ඛනිජ ලවණ අඩංගුය: අර්තාපල්වල විටමින් C, B6 මෙන්ම මැග්නීසියම්, පොටෑසියම් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. අර්තාපල්වල ඇති විටමින් C සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර විටමින් B6 මඟින් මස්පිඩු සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.
බර පාලනයට උදවු කරගත හැක: අර්තාපල්වලට තෙල් එකතු නොකර මෙලෙස සලාද ආකාරයෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ කැලරි ප්‍රමාණය අඩු කර ගත හැකිය. වඩාත් ඵලදායී ප්‍රතිඵල සඳහා මෙයොනීස් වෙනුවට යෝගට් සහ දෙහි බිංදු කිහිපයක් එකතු කර ආහාරයට ගත හැකිය.
