Monday, June 15, 2026
Epaper
Home Highlightsමතකය අහිමි කරමින් සැදෑ සමය අඳුරු කරන මායාව

මතකය අහිමි කරමින් සැදෑ සමය අඳුරු කරන මායාව

by Shanaka Lakehouse

වර්තමාන ලෝකයේ වැඩිහිටි ජනතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතිනවා. වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 27.6%ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. රටක වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීම ඕනෑම රටක ආර්ථික හා සමාජීය තත්ත්වයට ඝෘජුවම බලපානවා. කලක් රටේ ශ්‍රම බලකායට එක්ව රටේ ආර්ථික සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ලබා දුන් එකී ජනතාව වියපත් වීමත් සමඟ ශ්‍රම බලකායෙන් ඉවත් වෙනවා. ඔවුන් විසින් ලබාදෙන ලද ආර්ථික සහයෝගීතාව වෙනුවට රජයට ඔවුන් රැක බලා ගැනීමේ බර දරන්නට සිදුවෙනවා. වැඩිහිටියන් සඳහා ගෙවිය යුතු විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා, සමාජ සුබසාධන කටයුතු රටේ ආර්ථිකයට විශාල වැයක් මිස ආයෝජනයක් වන්නේ නෑ.

2015 මැයි 21 වැනිදා පවත්වන ලද ජන හා නිවාස සංගණනයේදී ලබාගත් සංඛ්‍යාලේඛන දත්ත අනුව 2012 දී මෙරට වැඩිහිටි ජනගහන වර්ධන වේගය 12.4%ක් වූ අතර 2024 වසර වන විට එය 18.3%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වර්ධන වේගය 2050 වසර වන විට තවදුරටත් වැඩි වෙතැයි අපේක්ෂා කරනවා. එය ලංකාව වැනි රටක ආර්ථිකයට විශාල බරක්.

වැඩිවන වැඩිහිටි ජනගහනය රටට බරක් නොවී තබා ගැනීමට නම් ඔවුන් තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම ඉටුකර ගන්නට හැකි කායික හා මානසික වශයෙන් ප්‍රශස්ත නීරෝගි ජන කොටසක් බවට පත් කර ගත යුතුයි. ස්ථීර විශ්‍රාම වැටුපක් හෝ යැපීමේ මාර්ගයක් නැති වැඩිහිටියන් වුවද කායිකව හා මානසිකව සවිබල ගැන්වූ විට ස්වයං රැකියාවක හෝ සමාජ සේවයක හෝ යෙදෙමින් සමාජයටත් තම පවුලටත් බරක් නොවන පරිදි ජීවත් වනු නිසැකය.

වැඩිහිටි සුබසාධනය අතින් සලකා බලන කල රජයට වැඩිම බරක් දරන්නට වන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය උදෙසාය. වැඩිහිටියනට බහුලවම වැලඳෙන බෝ නොවන රෝග සඳහා දිවි තුරාම ඖෂධ හා ප්‍රතිකාර ලබා දීමට රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. බෝ නොවන රෝග වළක්වා ගැනීමටත්, වැලඳුණු රෝග ඇත්නම් ඒවා උත්සන්න නොවී පාලනය කර ගැනීමත් පිළිබඳව වැඩිහිටියන් දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.

ඩිමෙන්ෂියාව / ඇල්සයිමර්ස්

වැඩිහිටියනට වැලඳෙන බෝ නොවන රෝග අතර ඩිමෙන්ෂියාව, ඇල්සයිමර්ස් රෝග තත්ත්ව මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. වයස්ගත වීමත් සමඟ මොළයේ ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය දුර්වල වීමත්, ක්‍රම ක්‍රමයෙන් ස්නායු සෛල විනාශ වීමත්, ඩිමෙන්ෂියාව හෙවත් අමතක වීමේ රෝගයට හේතු වේ. සාමාන්‍ය වයස අවුරුදු හතළිහ පනහ පසුවන විට ඕනෑම පුද්ගලයකුට ඇතිවන මතක නැතිවීමේ ස්වභාවය සාමාන්‍ය දෙයකැයි නොසලකා හැරීමෙන් කල්ගතවන විට එය ඩිමෙන්ෂියා රෝගය දක්වා වර්ධනය විය හැකිය. ඩිමෙන්ෂියාව මානසික රෝගයකි. එය ස්ථිර වශයෙන් සුවපත් කළ නොහැකිය. ඒත් රෝග ලක්ෂණ කල් ඇතිව හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහොත් රෝගය උත්සන්න නොවී පාලනය කරගෙන අන් අයටත් තමාටත් විශාල බරක් නොවන පරිදි ජීවත් විය හැකිය.

ඩිමෙන්ෂියා රෝගය මුල් අවධිය, දෙවැනි අවධිය හා තෙවැනි අවධිය යනුවෙන් රෝගයේ අඩු වැඩි බව අනුව කොටස් කෙරේ. මුල් අවධියේදීම අමතක වීම සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා වෛද්‍ය උපදෙස් පැතීමෙන් රෝගියාට මෙන්ම රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට ද, රැකබලා ගන්නන්ටද රෝගය පාලනය කරගනිමින් ජීවත් විය හැකිය. දෙවැනි අදියරේදී ඖෂධ ප්‍රතිකාර හා ඇල්සයිමර්ස් හෝ ඩිමෙන්ෂියා රෝගීන්ට තාක්ෂණික උපදෙස් හා සහය සපයන ආයතනයක සේවය ලබා ගැනීම සුදුසුය. තෙවැනි අවධියේ රෝගීන් දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකිය. ඇතැම් විට තමාගේ ජීවිතයටද හානි සිදු කරගන්නට පවා ඉඩ තිබේ. මෙවැනි රෝගීන් රැක බලා ගන්නන්ටද දැඩි මානසික පීඩාවක් ඇතිවන හෙයින් ඔවුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්විය හැකිය. එහෙයින් ඩිමෙන්ෂියා රෝගීන් මෙන්ම ඔවුන් රැක බලා ගන්නන්ද මුල් අවධියේ පටන්ම වෛද්‍ය උපදෙස් හා අවවාද පිළිපැදීම ඉතා වැදගත් වේ.

ඩිමෙන්ෂියා / ඇල්සයිමර්ස් රෝගය ඔබටත් ඇති වේදැයි කල්තියා හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ දහයක් තිබේ. මේ ලක්ෂණ නිතර නිතර දැකිය හැකි නම් ඔබටත් ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ මූලික ලක්ෂණ ඇතැයි සැක කළ හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් වී ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත හෝ ළඟම පිහිටි රෝහලේ වැඩිහිටි සෞඛ්‍ය සායනයට හෝ ඔබ සාමාන්‍යයෙන් යන රෝහල් සායනයක වෛද්‍යවරයාට ඒ බව පවසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

කල්තියා හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ වන්නේ

අමතක වීම

කෙටි කාලීන මතකය අමතක වීම (නම්, ගම් ආදිය).

එදිනෙදා කාර්යයන් සිදුකිරීමේ අපහසුතා

උදා – දත් මැද ගැනීම, රැවුල කැපීම, අතු ගෑම වැනි සුපුරුදු කාර්යයන්.

භාෂා හැසිරවීමේ ගැටලු

වචන පැටලීම, ලිවීමේ අපහසුතා, ගිලීමේ අපහසුතා, අදාළ වචනය අමතක වීම.

කාලය සහ ස්ථානය පිළිබඳ පැටලිලි ගතිය

උදේ, සවස, දිවා, රෑ පැටලීම.

තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම හා නොහැකියාව.

පසු විපරම් කිරීමේ හැකියාව දුර්වල වීම.

තමන් සතු දෑ තිබූ තැන අමතක වීම

කණ්ණාඩිය පැලඳගෙන එය සෙවීම.

මනෝභාවයේ සහ හැසිරීමේ වෙනස් බව.

දෘෂ්‍ය සහ අවකාශයේ තොරතුරු අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා

වම දකුණ මාරුවීම, මාර්ග සංඥා හඳුනා ගත නොහැකි වීම.

රාජකාරී හෝ සාමාජීය කටයුතුවලින් බැහැරවීම

තනිව සිටීම, මුලුගැන්වීමට කැමැත්ත.

මෙම රෝග ලක්ෂණ එකක් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් ඔබට නිතර දැනේ නම් ඒ ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ විය හැකිය. ඉහත සඳහන් කළ පරිදි ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත හෝ රෝහල වෙත යෑම වැදගත්ය.

ආසියාතික රටවල ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ මුල් අවධියේදී එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද වර්තමානය වන විට ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. ආසියානු රටවල් බොහොමයක් මුලින් අවධානය යොමු කළේ සෙසු බෝ නොවන රෝග පාලනය කෙරෙහිය. ඒත් අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග ද ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමට හේතුවක් වන බව හඳුනාගත් පසුව රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන පාලනය කර ගැනීම සඳහා රෝගීන්ට විශේෂයෙන් උපදෙස් දෙනු ලැබේ.

මුල් අවධියේදී ඩිමෙන්ෂියාව වැලඳෙන්නේ වයස අවුරුදු හැට පැනපු වැඩිහිටියනට යැයි සමාජයේ පැවැති මතය වැරදිය. වර්තමානය වන විට වයස අවුරුදු හතළිහෙන් පසු වුවද ඉහත ලක්ෂණ පහළ වේ නම් එය ඩිමෙන්ෂියාවේ පූර්ව ලක්ෂණයක් යැයි සැලකිලිමත් වන ලෙස ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස් දෙති. ඩිමෙන්ෂියා රෝගයට මුල් වන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ මොළයේ ස්නායු සෛලවල ප්‍රෝටීන්, මේද වැනි දේ මැලියම් ලෙස තැන්පත් වී ස්නායු සෛලවලට හානි වී ඒවා මිය යෑමය. ਰੋඒ සඳහා ඇති ප්‍රධාන අවදානම් සාධකය වන්නේ වයසය. වයසට යත්ම ඩිමෙන්ෂියාවට ගොදුරු වීමේ අවදානම වැඩි වේ. ජානමය බලපෑම් තවත් හේතුවකි. ඔබේ මව, පියා හෝ සමීප ඥාතියකු ඩිමෙන්ෂියාවෙන් පීඩා වින්දේ නම් මුලින් කී ලක්ෂණ පහළ වූ මුල් කාලයේම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. හිසට කිසියම් බරපතළ තුවාලයක් වීම හෝ පහරක් වැදීම, අධික මානසික වෙහෙස වැනි කරුණු ද ඩිමෙන්ෂියා රෝගයට හේතු විය හැකිය.

රෝගයෙන් වැළකීමට නම් පාලනය කළ හැකි සහ නොහැකි යනුවෙන් හේතු කොටස් කර දැක්විය හැකිය. පාලනය කළ නොහැකි හේතු වන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජානමය සාධක වේ. ස්ත්‍රීන්ට ඩිමෙන්ෂියා රෝග අවදානම වැඩිවීමට වැඩි ආයු කාලය, තයිරොක්සින් ඌනතාව වැනි ආර්තවහරණයෙන් පසුව ඇතිවන හෝමෝනවල වෙනස්කම්වල බලපෑම වැනි කරුණු හේතු වේ. කාන්තාවන් වියපත් වීම හෝ විශ්‍රාමයෙන් පසුව පූර්ණකාලීනව නිවෙස් ගතවීම, සමාජ ආශ්‍රයෙන් ඈත්වීම, වශයෙන් ආර්ථිකමය දුර්වලවීම, පවුලේ වගකීම්වලින් ඉවත්වීමෙන් මානසික අවපීඩනයට පත්වීම, දුක, වේදනාව බෙදා හදාගන්නට කෙනකු නැතිවීම වැනි බොහෝ කරුණු හේතු විය හැකියි.

පාලනය කළ හැකි හේතු වන්නේ

අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම, දියවැඩියාව වැනි රෝග පාලනය කර ගැනීම.

වයස අවුරුදු හතළිහෙන් පසුව ඇතිවන ශ්‍රවණ ඌනතා සහ පෙනීමේ ඌනතා ගැන සැලකිලිමත් වී ප්‍රතිකාර ගැනීම.

කායිකව අක්‍රිය නොවී සිටීම.

මනසට දැඩි පීඩනයක් දෙන ක්‍රියාකාරකම්වල නොයෙදීම.

තරුණ අවධියේදී හිසට තදබල පහරක් හෝ හානි සිදුවීමට ඉඩ නොතැබීම (හෙල්මට් වැනි ආරක්ෂිත උපකරණ අවශ්‍ය වෙලාවට පැලඳීම).

අධික වායු දූෂිත ප්‍රදේශවල ජීවත් නොවීම.

රෝගය වළක්වා ගැනීමට මෙන්ම පාලනය කර ගැනීමට ද වයස අවුරුදු හතළිහෙන් පසු සෑම පුද්ගලයකුම උනන්දු විය යුතුය.

ඒ සඳහා හැකි සෑම අවස්ථාවේදීම සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ගැනීම.

කායිකව සක්‍රිය වීම: ප්‍රමාණවත් තරම් ව්‍යායාම කිරීම, දිනකට මිනිත්තු තිහක්වත් ඇවිදීම, යෝග වැනි ක්‍රියාවල නිරත වීම.

මනසට අභියෝග වන ක්‍රියාවල නිරත වීම: උදා – ප්‍රහේලිකා පිරවීම, චිත්‍ර ඇඳීම, පාට කිරීම, මැහුම් ගෙතුම්, වතු වගාව, මල් වගාව, සාත්තු කිරීම.

මොළයේ සෛල උද්දීපනය වන ක්‍රියාකාරකම්වල යෙදීම. සින්දු කීම, සතුටු සාමීචි, සුහද හමු ආදියට සහභාගි වීම.

රාත්‍රියට පැය අටක් පමණ සුවදායි නින්දක් ලැබීම.

භාවනා, ආගමික කටයුතු ආදියෙහි නිරත වීම.

තමා වටා ඇති සමාජ සම්බන්ධතා වර්ධනය කර ගැනීම සහ තම ශක්තියට සරිලන පරිදි වගකීම් භාර ගැනීම.

තමාටත් පවුලටත් ඵලදායි වන ලෙස කටයුතු කිරීම.

ඇල්සයිමර්ස් යනු ඩිමෙන්ෂියා වර්ගයක් හඳුන්වනු ලබන නමය. 1906 වර්ෂයේදී ජර්මන් ජාතික මනෝ වෛද්‍ය හා ව්‍යාධිවේදියකු වන ඇලොයිස් ඇල්සයිමර් විසින් මෙම රෝගය හඳුනා ගත් හෙයින් ඩිමෙන්ෂියාව ඇල්සයිමර්ස් රෝගය ලෙස නම් කරනු ලැබීය. ලෝක ඇල්සයිමර්ස් සංගමය එම රෝගය වැළැක්වීම හා පාලනය පිළිබඳ ලෝක මට්ටමින් ක්‍රියාත්මක වේ. මෙරට ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ රජයේ රෝහල් හැරුණු විට ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ද ඩිමෙන්ෂියා රෝග පාලනයට හා එම රෝගීනට මෙන්ම රෝගීන් රැක බලා ගන්නන්ටද සුවිශේෂී සේවා රැසක් නොමිලේ සපයයි. ඔබට ඩිමෙන්ෂියාව ඇත්දැයි හඳුනා ගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ මතක පරීක්ෂණයක් සිදු කිරීමය. එය ඔබේ රෝහලේ වැඩිහිටි සායනයෙන්, පවුලේ වෛද්‍යවරයා විසින් හෝ ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් කරගැනීමට පුළුවන. වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුත්තේ මතක පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් අනතුරුවය.

ජාතික ඇල්සයිමර්ස් පදනම 110, කැටවලමුල්ල පටුමඟ, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටා තිබෙයි. එහි උපකාරක සේවා ලබා ගැනීමට 094 112667080, 076 0827080 යන අංක ද සාමාන්‍ය ඇමතුම් සඳහා 094 11 2667822 / 2667084 යන අංක ද ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට හැකිවේ.

තොරතුරු

ලංකා ඇල්සයිමර්ස් පදනමේ වැඩසටහන් නිලධාරි

ඩිලාන් සඳනුවන්

 

 

TEXT – සාගරිකා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?