වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
රසින් රස ගෙනෙන නත්තල් කේක්
නත්තලට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නට කේක් එකක් නම් නැතුවම බැහැ. මේ නිසාම නත්තල් කාලේ ළං වෙද්දී රසවත් කේක් වර්ග කීපයක් හදාගන්නට ගෘහිණියන් වඩාත් උනන්දු වෙනවා. නත්තල් කේක් කල් ඇතුව සාදා ගන්නවා නම් රසයත් වැඩියි. ඒ වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්න, නෑ හිත මිතුරන්ට රැගෙන යන්න කේක් අවශ්‍ය වන නිසා වැඩිපුර කේක් ප්‍රමාණයක් සාදාගන්න එක ඔබට වැඩි වාසියක් වේවි. කේක් රසට හදන්න ඔබට පුළුවන් නම් කේක් මිලට ගැනීම සඳහා පිටතට වැයවෙන මුදල් ඉතිරිකර ගන්නට හැකිවීම ඔබට ලැබෙන අගනා වාසියකි. බලන්න, නත්තල වෙනුවෙන්ම සකසා ඇති මෙම කේක් නිර්මාණ ඔබට හොඳ අදහසක් ගෙන දේවි. නත්තලට නැතුවම බැරි යුලොග් කේක් නත්තල් ගතිය හිතට දැනෙන්න නත්තල් කෑම මේසෙට යුලොග් කේක් එකක් තියනවා තරම් තවත් දෙයක් නැති තරම්. එහෙනම් මේ පාර නත්තලට අපිත් හදමු යුලොග් කේක්.
පලතුරු කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
ලුණු රහිත බටර් කෝප්ප 1ක්
දුඹුරු සීනි කෝප්ප 1ක්
විශාල බිත්තර 4ක්
දොඩම් යුෂ කෝප්ප 1/2ක්
වැනිලා මේස හැදි 1ක්
කේක් පිටි කෝප්ප 2ක්
බේකිං පවුඩර් තේ හැඳි 1ක්
කුරුඳු කුඩු තේ හැදි 1ක්
සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්
ලුණු තේ හැඳි 1/2ක්
මිශ්‍ර වියළි පලතුරු වර්ග කීපයක් එකට එකතු කළ කෝප්ප 2ක් (උදා: වියළි මිදි, ගෝල්ඩන් රේසින්, කැන්බෙරි, ස්ට්‍රෝබෙරි, ඇප්රිකොට්, Tutti fruiti වගේ පලතුරු කැබලි )
විවිධ නට් කෝප්ප 1 (උදා: walnuts, almond, cashew)
(එකම සමාන කෝප්පයක් මිනුම් සඳහා ගන්න)
සාදන ක්‍රමය
ඔබේ අවන් එක සෙල්සියස් අංශක 163කට විනාඩි 10-15ක් රත් වෙන්න හරින්න. පාච්මන්ට්/තෙල් කඩදාසි දමා කැමති හැඩයකට කේක් තැටි සූදානම් කරගන්න. (කිලෝ ග්‍රෑම් එකක තැටියක)
මුලින් තෙත් අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න
විශාල භාජනයක් තුළ බටර් සහ දුඹුරු සීනි සිනිඳු ක්‍රීම් එකක්වන තෙක් බීට් කරන්න. බිත්තර එකින් එක එකතු කරන්න. එක් එක් බිත්තරය එකතු කිරීමෙන් පසු හොඳින් බීට් කරන්න. දොඩම් යුෂ සහ වැනිලා කලවම් කරන්න.
වියළි අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න.
වෙනත් භාජනයක් තුළ පිටි, බේකිං පවුඩර්, කුරුඳු, සාදික්කා සහ ලුණු මිශ්‍ර කරන්න.
ක්‍රමයෙන් තෙත් මිශ්‍රණයට වියළි අමුද්‍රව්‍ය එකතු කරන්න, හොඳින් පත්තකින් මිශ්‍ර කරන්න. වියළි පලතුරු සහ නට් වර්ග කොටසක් දමා මිශ්‍ර කරන්න.
බේක් කිරීම:
කේක් මිශ්‍රණය තැටියට වත් කරන්න. ඉතිරි කරගත් වියළි පලතුරු හා නට්වල අනිත් කොටස සැරසීමට උඩින් එකතු කරන්න.
සෙල්සියස් අංශක 163ක උෂ්ණත්වයේ පැයක් බේක් කරන්න. මැදට කූරක් ගසා බැලූ විට එය පිරිසිදුව පිටතට එනවනම් හොඳින් බේක් වෙලා.
සිසිල් කිරීම
පලතුරු කේක් එක අවන් එකෙන් එළියට ගෙන එහෙමම විනාඩි 10 ක් තුළ කේක් තැටියෙම සිසිල් කිරීමට ඉඩ දෙන්න. පසුව සම්පූර්ණයෙන්ම සිසිල් කිරීම සඳහා කේක් තැටියෙන් කම්බි රාක්කයකට මාරු කරන්න.
-------------------
Real christmas cake
මේ නත්තල් කේක් එක ඉස්සර නිතරම හදන කේක් එකක්. විශේෂයෙන් ගෙදරක මේ කේක් එක හදන්නේ දානවලට. ලොකු ට්‍රේවලට හදලා ගෙදර අවන්වල දාන්න බැරි නිසා ගෙවල් ළඟ තියෙන දර පොරණු බේකරියට දීලා තමා බේක් කර ගන්නේ ඔන්න අද අපි ඒ කේක් එක ඔයාටම හදාගන්න පහසු සරලම විදිහ ලබා දුන්නා.
අවශ්‍ය දේවල්-
රුලං ග්‍රෑම් 250ක්
බටර් ග්‍රෑම්250ක්
සීනි ග්‍රෑම් 250ක්
බිත්තර කහමද 6ක්
බිත්තර සුදුමද 3ක්
පිටි ග්‍රෑම් 30ක්
සුල්තාන් ග්‍රෑම් 125ක්
ගර්කින් ග්‍රෑම් 175ක්
කරන්ට් ග්‍රෑම් 100ක්
කජු ග්‍රෑම් 200ක්
චෙරි ග්‍රෑම් 150ක්
පුහුල් දෝසි ග්‍රෑම් 150ක්
ජින්ජර් ප්රිසව් 125ක්
චව්චව් ග්‍රෑම් 150ක්
කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50ක්
මික්ස් පීල් ග්‍රෑම් 50ක්
බ්‍රැන්ඩි කෝප්ප 1/4ක්
ගෝල්ඩන් සිරප් කෝප්ප 1/4ක්
රෝස් එසන්ස්, ආමන්ඩ්, වැනිලා මේස හැඳි එක බැගින්
සූරා ගත් දෙහි ගෙඩියක ලෙලි තේ හැඳි එකයි
ස්ටෝබෙරි ජෑම් මේස හැඳි 2ක්
කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, කුරුඳු කුඩු තේ හැඳි එකයි.
සාදන ආකාරය
පලතුරු සිහිවන්ව කපා ගන්න. පලතුරු සියල්ලම එක බඳුනකට එකතු කරන්න. ඉන්පසු බ්‍රැන්ඩි, ගෝල්ඩන් සිරප්, කුළුබඩු දමා හොඳින් කලවම් කරන්න. රෝස් එසන්ස්, ආමන්ඩ්, වැනිලා දමා නැවත කලවම් කර ගන්න. මෙය පැය කිහිපයක් හෝ දවස් කිහිපයක් තබා ගන්න .වැඩිපුර කාලයක් තබා ගත් තරමට රසයෙන් වැඩියි.
රුලං ටික යන්තම් බැද ගන්න.
සුදුමද වෙනම බීටි කර ගන්න. බටර් සහ සීනි හොඳින් බීට් කර ගන්න. මේවා ඉතාමත් හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරන්න ඕනෙ. බිත්තර කහමද වරකට එක බැගින් දමමින් බීට් කරන්න. රුලං ටික නිවෙන්නට තබා ටිකින් ටික එකතු කර ගන්න. පාන් පිටි ටික ද පලතුරුවලට දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට දැන් ජෑම් ටික ද එකතු කරන්න. දෙහි පොතු ටික බීට් කර ගත් මිශ්‍රණයට එකතු කරන්න. ඉතාමත් හොඳින් කලවම් කරන්න. අවන් එක සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයට ප්‍රී හීට් කර ගන්න. අවසානයට සියල්ල එකට එකතු කර බිත්තර සුදුමද ද දමා කලවම් කරන්න.
දැන් කේක් මිශ්‍රණය සම්පූර්ණයි. මතක තියාගන්න මෙය සාමාන්‍ය කේක් එකකට වඩා වෙනස්. මේ කේක් එක පැය එකහමාරක් හෝ දෙකක් පමණ බේක් කරන්නට වෙනවා. ඒ නිසා කේක් මිශ්‍රණය පාච්මන්ට් කොළවල අතුරන්නට කලින් ඊට යටින් ඝනකම කඩදාසි තට්ටුවක් අතුරන්නට වෙනවා. නැත්තම් කේක් එකේ අඩිය පිලිස්සෙන්නට පුළුවන්. වටේටත් එලෙසම කඩදාසි කිහිපයක්ම අතුරා ඝනකමට සකස් කරගන්නට වෙනවා. දැන් ඊට උඩින් පාච්මන්ට් පේපර් එක දමා එයට කේක් මිශ්‍රණය අතුරා සූදානම් කර ගන්න. අංශක 160ක උෂ්ණත්වයට පැය භාගයක් කේක් එක බේක් වූ පසු අංශක 130 උෂ්ණත්වයේ පැය එකහමාරක් හෝ දෙකක් බේක් කර ගන්න. කේක් එක එම වේලාවෙන් පසු එළියට ගෙන ටූත් පික් එකක් ගසා කේක් එක බේක් වී ඇත් දැයි හරියට බලන්න. නිවෙන්නට ටික වේලාවක් පමණ තබන්න. ඔබ කැමති ලෙස විසිතුරු අසුරනවලින් අසුරන්නට දැන් පුළුවන්.
------------------
බෘදර් බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය -
ඩෝ එකට
පාන්පිටි ග්‍රෑම් 200ක්
ඊස්ට් තේ හැඳි 1ක්
උණුසුම් කිරි කෝප්ප 1ක්
සීනි තේ හැඳි 2ක්
ලුණු ස්වල්පයක්
බැටර් එකට
අවශ්‍ය ද්‍රව්‍ය-
සීනි ග්‍රෑම් 100ක්
බටර් ග්‍රෑම් 100ක්
බිත්තර 2ක්
සුල්තානා ග්‍රෑම් 50ක්
චෙරීස් ග්‍රෑම් 50ක්
ග්ලේස් අයිසිං එකට
අවශ්‍ය ද්‍රව්‍ය -
අයිසිං සීනි මේස හැඳි 2ක්
වතුර ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
සාදන ක්‍රමය
මුලින්ම ඩෝ එක සෑදීමට ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් කලවම් කරලා පිපෙන්න තියන්න. පාන්පිටිවලට ලුණු දාලා කිරි මිශ්‍රණයෙන් ටික ටික දාලා අනලා ඩෝ එක හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණයක් වෙනකල් තියන්න. වෙනම බෝල් එකකට බටර්, සීනි හා බිත්තර හොඳට බීට් කරලා පිටි මෝලියට කලවම් කරන්න. මේකට පලතුරු සියල්ලම දාගන්න. බටර් ගාගත් මෝල්ඩ් එකකට දාල තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් බේක් කර ගන්න. අයිසිං සීනිවලට වතුර ටිකක් හා දෙහි යුෂ දාලා තරමක් ඝන අයිසිං එකක් හදාගන්න. බෲදර් එක නිවුණාට පස්සෙ මේ ග්ලේස් අයිසිං එක වක්කරගන්න.
-----------------
ක්‍රිස්මස් බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
කජු ග්‍රෑම් 100ක්
චෙරි ග්‍රෑම් 100ක්
සුල්තානා ග්‍රෑම් 100ක්
කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 100ක්
දෙහි ලෙලි තේ හැඳි 1ක්
බටර් ග්‍රෑම් 175ක්
සීනි තේ හැඳි 8ක්
බිත්තර 1ක්
පාන් පිටි ග්‍රෑම් 500ක්
ලුණු ස්වල්පයක්
ඊස්ට් තේ හැඳි 4ක්
උණු වතුර ටිකක්
සරසා ගැනීමට අයිසිං ෂුගර් තේ හැඳි 8ක්
සාදන ක්‍රමය -
මුලින්ම ඊස්ට්වලට උණු වතුර මේස හැඳි 6ක් හා සීනි තේ හැඳි 2ක් දාලා කලවම් කරලා වහලා තියන්න. විනාඩි 10කින් වගේ ඊස්ට් ටික හොඳට පිපිලා ආවම පාන් පිටි, ඉතිරි සීනි සහ ලුණු එකතු කරලා අනාගන්න.
බිත්තරයක් එකතු කරලා ඩෝ එක හදන ගමන් ළා රස්නේ වතුර ටිකකුත් දාලා බටර් ටිකත් එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේකට දෙහි ලෙලි ඇතුළු කපාගත් පලතුරු ටික එකතු කරන්න.
ට්‍රේ එකකට බටර් තවරා ඩෝ එක දමා පිපෙන්න මිනිත්තු 20ක් වගේ තියාගන්න. දැන් මේක සෙල්සියස් අංශක 140° උෂ්ණාත්වයෙන් විනාඩි 30ක් බේක් කරන්න.
නිවුණු පසු අයිසිං සීනිවලින් සරසාගන්න.
-----------------------------
යු ලොග් කේක්
නත්තල් ගතිය හිතට දැනෙන්න නත්තල් කෑම මේසෙට යු ලොග් කේක් එකක් තියනවා තරම් තවත් දෙයක් නැති තරම්. එහෙනම් මේ පාර නත්තලට අපිත් හදමු යු ලොග් කේක්.
අවශ්‍ය ද්‍රව්‍ය: -
චොකලට් කේක් එක සඳහා
බිත්තර - 04ක්
සීනි - ග්‍රෑම් 100ක්
වැනිලා - තේ හැඳි 01ක්
පාන් පිටි - ග්‍රෑම් 30ක්
කොකෝවා පවුඩර් - ග්‍රෑම් 30ක්
බේකිං පවුඩර් - තේ හැඳි 1/4ක්
ලුණු - තේ හැඳි 1/4ක්
අවශ්‍ය ද්‍රව්‍ය:
මැදට දැමීම සඳහා
විපින් ක්‍රීම් - මිලි ලීටර් 125ක්
සීනි - ග්‍රෑම් 40ක්
අවශ්‍ය ද්‍රව්‍ය:
චොකලට් කෑලි සඳහා
චොකලට් - ග්‍රෑම් 120ක්
පොඩි චොකලට් කෑලි - ග්‍රෑම් 40ක්
උඩට ඉසීම සඳහා
අයිසිං සීනි
සාදන ක්‍රමය:
මුලින්ම බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න. සීනිවලින් ග්‍රෑම් 50ක් දමා තව ටිකක් වෙලා බීට් කරන්න.
වෙනමම බෝල් එකක බිත්තර කහමද ටිකයි ඉතුරු සීනි ග්‍රෑම් 50ක් දාලා ටිකක් ඝනකමට ක්‍රීම් ගතියට එනකම් බීට් කරන්න.
දැන් මෙයට වැනිලා ටික දාගන්න.
ඊළඟට පිටි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර් ටිකයි, ලුණුයි එකට පෙනේරයේ හලලා බිත්තර කහමද මිශ්‍රණයට දා ගන්න.
මේ කහමද මිශ්‍රණයට කලින් බීට් කරලා හදාගත්ත බිත්තර සුදුමද ටික දා ගන්න. බිත්තර සුදුමද ටික දැම්මාට පස්සේ ගොඩක් තදට කලවම් කරන්න එපා.
දැන් මේ මිශ්‍රණය අඟල් 12 x 16 සයිස් එකේ බේකිං ට්‍රේ එකකට දාගෙන හොඳට මිශ්‍රණය සමතලා කර ගන්න. දැන් මේ කේක් එක විනාඩි 10 - 12ක් විතර සෙල්සියස් අංශක 180ට රත් කරගත් අවන් එකක බේක් කර ගන්න.
කේක් එක බේක් වූවාට පසු වෙනමම බේකිං ෂීට් එකකට අයිසිං සීනි ටිකක් දමා ලෑස්ති කර ගන්න.
බේක් කර ගත්ත කේක් එක කළින් ලෑස්ති කර ගත්ත බේකිං ෂීට් උඩට දමා කේක් එක බේක් කරන්න දාපු බේකිං ෂීට් එක ගලවලා අයින් කරන්න.
ඊළගට කේක් එක රස්නේ තියෙද්දීම බේකිං ෂීට් එකත් එක්කම රෝල් කරල කේක් එක හොඳටම නිවෙනතුරු පැත්තකින් තියලා තියන්න. දැන් කේක් එක මැදට දාන මිශ්‍රණය හදා ගන්න. විපින් ක්‍රීම් ටික බෝල් එකකට දමා ඒ ටික හොඳට බීට් කරන්න. විපින් ක්‍රීම් ටික ටිකක් වෙලා බීට් වුණාට පස්සේ එයට සීනි ටික දා ගෙන තවත් හොඳට බීට් කරන්න.
කේක් එක හොඳටම නිවුණාට පසු කේක් එක දිග ඇර හදා ගත්ත විපින් ක්‍රීම් ටික කේක් එක උඩින් හැම තැනටම දමා හොඳට සමතලා කර ගන්න.
දැන් ආයෙත් මේ කේක් එක රෝල් කර හොඳට සෙට් වෙනකම් පැය 2-3ක් විතර ශිතකරණයේ තියන්න.
චොකලට් කෑලි ටික හදා ගන්නට පොඩි බෝල් එකකට චොකලට් ටික දමා දිය කර ගන්න.
දිය කර ගත්ත චොකලට් ටික බේකිං ශීට් එකක් උඩට දමා හොඳට තුනීව සමතලා කර ගන්න. දැන් බේකිං ශීට් එකත් එක්කම රෝල් කර හොඳට සෙට් වෙනකම් විනාඩි 30-40ක් විතර ශීතකරණයේ තියන්න. චොකලට් ටික හොඳටම සෙට් වුණාට බේකිං ශීට් එකෙන් ගලවා අයින් කර ගන්න.
චොකලට් කෑලිවල දිය කර ගත්ත චොකලට් ටිකක් ගා කේක් එකේ හැම තැනටම අලවා ගන්න. මේ ඔක්කොම ටික හොඳට සෙට් වෙන්න තවත් ටිකක් වෙලා ශිතකරණයේ තියන්න. දැන් මේ කේක් එක උඩින් හිම වැටිලා වගේ පේන්න අයිසිං සීනි ටිකක් ඉහගන්න.