වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නත්තල් සිරිය කැන්දන සරල සැරසිලි
සොඳුරු සැමරුම් ගෙනෙන නත්තල කිතුණුවන්ට පමණක් නොවෙයි අනෙක් අයටත් විශේෂයි. සහජීවනය පිරුණු සමාජයක් දකින්නට පොඩි දරුවන්ට නත්තලේ අසිරිය ගැන කියන්නට ඔබේ නිවෙසත් නත්තලට ලස්සන කළ හැකියි. මේ උත්සව සමය නිසාම මඟ තොටේ දී නත්තල සරසන විවිධ දෑ දැකගන්නත් තියෙනවා. ඒ දේවල්වලින් වගේම ඔබේ නිර්මාණශීලීත්වය එකට එකතුකර නිවෙසට හැඩකාර පෙනුමක් ගෙන දෙන්න ඔබට පුළුවන්.
නත්තල සමරන ඔබේ ආදරණීය කිතුණු මිතුරු මිතුරියන්ට මෙවැනි දෙයක් සකසා කල්තියාම තිළිණ කරන්නත් පුළුවන්. අපේ ආදරණීය ගෘහණියන්ට ඉවත දමන විවිධ මෙවලම් උපයෝගී කරගෙන ලස්සන නිර්මාණ කරන්නට අපූරු හැකියාවක් තියෙනවා. වීදුරු බෝතල්, ජෑම් බෝතල්, වයින් ග්ලාස් වැනි හැඩැති වීදුරු, රවුම් හැඩැති වීදුරු ජොග්ගු ඇතුළට විවිධ වර්ණවත් බෝල යොදා ලයිට් වැල් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ වීදුරු බෝතල් මත තීන්ත ආලේප කරලා මෙහි දැක්වෙන නත්තල් සීයාගේ ඇඳුම් කොටස්, ජෝයි ලෙස සඳහන්ව ඇති ලෙස බෝතල් පාටකර මල් යොදා සරසා ගන්න පුළුවන්. ජෑම් බෝතල් වටේ පාටකර ඇතුළතින් ඉටිපන්දම් තියන්නටත් හැකියි.
වයින් ග්ලාස් මුණීන් අතට නමා උඩින් ඉටිපන්දම් රඳවන්නත් පුළුවනි. එවිට එය ලස්සන ඉටිපන්දම් රඳවනයක්. ඒ වගේම අපිට ඉටිපන්දම් ලස්සනට සරසා ගන්නටත් හැකියි. බලන්න, ෆෙල්ට් රෙදිවලින් හෝ කඩදාසිවලින් සැකසූ පොයින්සෙටියා මල් ඒවා මත අලවන්න පුළුවන්. එහෙම නැත්නම් රිබන්වලින් මල් සකසා අලවන්නට හැකියි.
හිස් බිත්තියකට ලස්සන නත්තල් ගහක් නූල් අලවා සකසා ගත හැකියි. බිත්තිය මත ගසක හැඩයට කුඩා ඇණ ගසා නූල් හැඩයට යවා ගස සකසාගෙන එය හැඩකර ගත හැකියි. නත්තල් ගස වගේම නිවෙසෙ තැනින් තැන එල්ලන්න හිම පියලි වගේ හැඩයට රවුම් කපා නූල් වල්න් හැඩකර රඳවන්ට හැකියි.
මෙහි දැක්වෙන සැරසිලි ඔබේ නිර්මාණශීලීත්වයෙන් තව තවත් ලස්සන කරගන් පුළුවන්.