පරණ දේට නව මුහුණුවරක්

පරණ ඇඳුම්වලින් ප්‍රයෝජනයක් ගනිමු ද?
මැයි 6, 2020

සොබාදහම ලෝකෙටම නිවාඩුවක් දීලා. හැමෝම ගෙවල්වලට කොටුකරලා. ඒත් නිවෙසට හිරවුණා කියලා අපි නිකම් ඉන්න ඕනෙ නෑනෙ.

අපේ බොහොමයක් ළඳුන් නිර්මාණශීලීයි. ඒ නිර්මාණශීලීත්වය මේ දවස්වල ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

ඔබේ ඇඳුම් අල්මාරිය හිතේ හැටියට අස්කරගන්න මේ දවස්වල අවස්ථාව තියෙනවා. මෙලෙස අස්කරන්න ගත්විට

ඔබ භාවිතයට නොගන්නා ඇඳුම් බොහොමයක් හොයාගන්න පුළුවන්. ඒ පරණ ඇඳුම්වලට ඔබේ නිර්මාණශීලීත්වය එකතුකර අලුත් ඇඳුම්, කුෂන් කවර, කොට්ට උර, ඇඳ රෙදි, අත්පිස්නා, බෑග් ආදිය නිර්මාණය කරගන්න පුළුවන්.

අඳීන්න බැරි ටී ෂර්ට් එකතුකරලා අත් කර ආදී කොටස් ඉවත්කර කොටු හැඩයට කපා ඒවා එකට මූට්ටු කිරීමෙන් ඇඳ රෙදි පොරෝනා වගේම මේස රෙදිත් සකසා ගත හැකියි. එම ටීෂර්ට් කොටස් මඟින් අත් පිස්නා සකස් කරගන්න පුළුවන්.

සැමියාගේ අඳීන්න බැරි කමිස ඕනෙ තරම් ඇති. ඒ කමිස මඟින් පුංචි පුතුට කමිස, පුංචි දෝණිට ගවුම්, ඔබට අඳීන්න බ්ලවුස් සකසා ගන්නට හැකියි. එපමණක් නෙමෙයි කමිස මඟින් කුෂන් කවර නිර්මාණය කරගන්නත් පුළුවන්.

කමිස අත්වලින් කොයින් පර්ස්, පෝන් එක, ඇස් කණ්ණාඩි කුට්ටම දාන්න කවර, හෑන්ඩ් බෑග් ආදිය නිර්මාණය කරගත හැකියි.

ඩෙනිම් කලිසම් මඟින් සාය, බෑග් ආදිය සකසා ගත හැකියි. බලන්න, මෙහි දැක්වෙන පින්තූර ඒ සඳහා ඔබට තවත් අදහස් ගෙනදේවි.