නත්තල සරසන අත්කම්

දෙසැම්බර් 6, 2021

 

 

සැම සිත් සතුටින් පුරවාලන නත්තලේ ඔබ වෙනුවෙන් ගෙන එන අත්කම් විශේෂාංග තිළිණයයි මේ. අපි මෙවැනි හැඩැති අත්කම් මේ මාසය පුරාවටම ඔබට තිළිණ කරන අතර අපත් සමඟ රැඳී හිඳිමින් මේ නිර්මාණ ඔබත් කරන්න. මෙය ඔබට කාලයේ තාලයට ගැළපෙන ස්වයං රැකියාවකටත් මඟ කියාවි.

 

 

නත්තලට සුබ පතන්න සුබ පැතුම් පත්

 

නත්තල කිතුනුවන්ට සුවිශේෂයි. විශේෂයෙන්ම පොඩිත්තන්ට එය සතුට ගෙන දෙන අවස්ථාවක්. හැමෝම වටකරගෙන නත්තල් ගස් සරසලා සතුටෙන් ඉන්නවා නම් පොඩිත්තන්ගේ සතුට උතුරා යනවා. ඒ වගේම නත්තල් සුබ පැතුම් පත් ලැබෙන එකත් අසීමිත සතුට ගෙන දෙන දෙයක්.

මේ තියෙන්නේ ඔබට පහසුවෙන් සකසා ගත හැකි සුබපැතුම් පත් කිහිපයකි. මේවා හැඩකර තිබෙන්නේ පේපර් කුවිලිං ක්‍රමයටයි.

 

අවශ්‍ය දේවල්

 

සුදු පාට GSM 250 කාඩ් හෝ කැමැති කාඩ් වර්ගයක්

වර්ණවත් A4 කොළ

කුවිලිං ටූල් එක

ගම්

කතුර

පාට ප්ලැටිග්නම් හෝ පාට පැන්සල්

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

 

අඟල් 12x6 ප්‍රමාණයට සුදු පාටින් කාඩ් කොටසක් කපාගන්න. එම කාඩ් එක දෙකට නමන්න. දැන් අඟල් 6x6 කොටසක් දැකගත හැකියි. එම අඟල් 6x6 කොටසේ හතර පැත්තෙන් හරි මැද ලකුණු කර ඒවා යාකර කොටුවක් අඳින්න. එම කොටුවේ දිගට පාට වර්ග දෙකකින් A4 කොළවලින් කොටු දෙකක් කපන්න. සාමාන්‍යයෙන් එහි පැත්තක දිග අඟල් 4.25ක් පමණ වේ.

දැන් සුදු කොටුව මත එක කොටුවක් මෙහි දැක්වෙන ලෙස අලවන්න. අනෙක් කොටුව ගෙන අවශ්‍ය නිර්මාණයට පැන්සලකින් දළ සටහනක් අඳින්න. එයට අවශ්‍ය හැඩතල, අවශ්‍ය වර්ණවලින් අඟල් 1/8 පළලට අවශ්‍ය දිගට පටි කපා ටයිට් හා ලූස් කොයිල් සාදා ඒවායින් මාකිස්, ෂේප්ඩ් මාකිස්, ටියර් ඩ්‍රොප්, ත්‍රිකෝණ, කොටු ආදී හැඩතල සකසා ගන්න. 12w2

පසුබිමේ හැඩතල පාට පැන්සල් මඟින් හෝ ප්ලැටිග්නම් මඟින් වර්ණ ගන්වන්න. අවශ්‍ය නම් පාට කොළවලින් හැඩතල කපා අලවන්න. නත්තල් සීයා, මුවන්, හිම මිනිසා ආදී රූප මත මෙහි දැක්වෙන සේ සාදාගත් කුවිලිං හැඩතල අලවන්න. Merry Christmas, Happy New Year යන්න ප්ලැටිග්නම්වලින් ලියන්න.

 

 

-------------------------

 

හුරුබුහුටි ටේබල් මැට්

හෝලි කොළ හැඩය ඇප්ලික් කළ මේ හුරුබුහුටි ටේබල් මැට් ඔබටත් පහසුවෙන් මසාගත හැකියි.

 

අවශ්‍ය දේවල්

 

සුදු පැහැති ලිනන් රෙදි හෝ අමු රෙදි

කොළ පැහැති මුද්‍රිත රෙදි

රතු පැහැති රෙදි

අඟල් කාල පළ පැඩිං

රතු පාට බයස් පටි

කාඩ්බෝඩ්, කතුර, අඩිරූල, පැන්සලක්

සුදු‍, රතු හා කොළ පාට නූල්

 

නිර්මාණය කිරීම

 

මේ සඳහා අඟල් 6x6 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් හා පැඩිං කොටසක් කපාගන්න. අප දී ඇති දළ සටහන අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගෙන කාඩ්බෝඩ් කොටසක හෝලි කොළයක් හා රතු පාට රවුම ඇඳගෙන පතරොම් දෙකක් සාදාගන්න. එම පතරොම් භාවිතකර කොළ දෙකක් හා රතු රවුමක් කපාගන්න. රෙදි කැපීමේ දී අවශ්‍ය නම් මැහුම් වාසි තබාගන්න. ෆෙල්ට් රෙදිවලින් කපන්නේ නම් මැහුම් වාසි අවශ්‍ය නොවේ. දැන් සුදු පාට රෙදි කොටසක් ගෙන එහි කොළ දෙක තබා කොළ පැහැති නූල්වලින් මසාගන්න. රතු රවුම ද තබා රතු නූලෙන් මසන්න. මැසීමේ දී කට් මාක් යොදා මැහුම් වාසි ඇතුළට නමා මසාගන්න. පසුව පැඩිං කොටස හා ලයිනිං කොටස තබා අල්පෙනෙති ගසා අතේ නූල් ඇදගන්න. දැන් සුදු නූල් භාවිතකර රටාවකට කුවීල්ට් කරගන්න. අවසන් වශයෙන් වටේට රතු පාට බයස් පටි තබා රතු නූලෙන් මසාගන්න. මෙවැනි ටේබල් මැට් හයක් සාදා නත්තලේ තිළිණ කරන්නත් පුළුවනි. මේස රෙද්දට, ටේබල් රනර් එකට ද මෙලෙස කොළ හා රතු රවුම් ඇප්ලික් කර නිර්මාණය කරගත හැකියි.

------------------------

හැඳි හා ගෑරුප්පු රඳවනය

නත්තල් දා කෑම මේසයේ හැඩට සැරසිල්ලක් ලෙස භාවිත කළ හැකි මෙය හැඳි හා ගෑරුප්පු රඳවනයකි. ෆෙල්ට් හෝ වෙනත් රෙදි වර්ගයක් භාවිතකර මෙය මසාගත හැකියි.

දී ඇති රූප සටහන අනුව ඔබට කැමැති හැඩයකට නත්තල් ගහ ඇඳගන්න. පසුව පතරොමක් සදා රෙදි කොටස් දෙකක් හා පැඩිං කොටසක් කපාගන්න. පැඩිං කොටස මැදිවන සේ රෙදි කොටස් දෙක දෙපසින් තබා මසා මැදින් කපා ගත් තැන් ද ඇතුළට කර මසා මෙය සකසා ගන්න. මෙවැන්නක් මෙහි දැන්වෙන ලෙස ගනකම් බෝඩ් වර්ගයකිත් වුව කපාගත හැකියි. එය පිඟාන මතින් තබා හැන්ද හා ගෑරුප්පුව රඳවාගන්න.