වර්ණවත් කඩදාසියෙන් මැවෙන චමත්කාරය

දෙසැම්බර් 13, 2021

ජීවිතයේ විඩා නිවන අපූරු කෙම්බිම සොඳුරු කැදැල්ලයි. ඉතින් මේ කැදැල්ල සුවපහසුබවින් මෙන්ම චමත්කාරයෙන් පිරුණු සුරවිමනක් බවට පත් කරගන්නටයි කාන්තා අපේ වැඩි කැමැත්ත.

බලන්න කාලයේ තාලයට වෙනස්වන විවිධ නිර්මාණ උපයෝගී කරගෙන ඔබේ නිවහනත් හැඩවැඩ කළ හැකියි නේද? මේ සඳහා යොදාගෙන ඇත්තේ වර්ණවත් කඩදාසි යැයි ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.

නිල්, රතු, කහ, කොළ රෝස ආදී දීප්තිමත් වර්ණ සහිත A4 කඩදාසි විවිධ හැඩතල රටා අනුව නවමින්, දිගහරිමින් මෙලෙස හරි අපූරු නිර්මාණ බවට පත්කර ගත හැකියි. සාලය, විසිත්ත කාමරය, නිදන කාමරය, දරුවන්ගේ කාමර ආදී වශයෙන් නිවෙසෙහි විවිධ ස්ථානවලට ගැළපෙන පරිදි මේ නිර්මාණ කළ හැකි අතර ඒවා නිර්මාණාත්මකව රැඳවීම හරහා අපූරු කලඑළියක්, සුන්දරත්වයක් මතු කරගත හැකියි.

ඊට අමතරව ඔබේ පුංචි පැටවුන්ගේ උපන්දිනය හෝ වෙනත් උත්සව අවස්ථාවකට මෙලෙස වර්ණවත් කඩදාසි නිර්මාණ ඔබටම සකසා ගත හැකි අතර එමඟින් උත්සව අවස්ථාවට අපූරු සුන්දරත්වයක් එකතු වේ. එපමණක් නොව විවිධ සැරසිලි සඳහා වැයවන මුදලද පහසුවෙන්ම ඉතිරි කර ගත හැකියි.

සටහන - චම්පා වරුසප්පෙරුම